යුද්ධයකින් කිසිදාක වීරයන් බිහි නොවේ. ලෝකයේ කොතැනක කුමන පදනමකින් යුද්ධයක් ඇරඹුනය එය සාධාරන නොවේ. මේ වන විට යුක්රේන යුද්ධය ඇරඹී එළැඹෙන පෙබරවාරි 24වන දිනට වසරක් පිරීමට නියමිතය. වසරක් ගිය තැන නොවිසුඳුනු යුද්ධයක් වෙනුවෙන් බලපෑ හේතු සාධක තත්ව හා බලවේග පිළිබඳ මෙහිදී විමසා බැලේ.
එක් තැනක ඇරඹෙන යුද්ධයක් වෙනුවෙන් ලෝකයේ තවත් තැනක ඇතිවන්නේ කුසගින්නයි. දරිද්‍රතාවයයි. අසමතුලිතතාවයයි. අප අනෙකා වෙනුවෙන් යොමු කරන පතරොම් පෙරළා අප වෙත එන බව කිසිවකුත් මෙහිදී නොසිතීම අවාසනාවට කරුණකි. සියලුම දෙනා ලකුණු දාගැනීම වෙනුවෙන් යුක්රේනයට ආවඩමින් ඇත.
යුද්ධයේ ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී රාජ්‍යතාන්ත‍්‍රික අත්දැකීම් අඩු, දේශපාලනයේ නවකයකු වන යුක්රේන ජනාධිපතිවරයා මෙම අර්බුදය කළමනාකරණය කළ ආකාරය කොතෙක් දුරට නිවැරදිද යන ප‍්‍රශ්නය මෙහිලා මතුවන්නේය. එපමණක් නොව, ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් හිතාමතාම යුක්රේනය උගුලක පැටලූවේද යන කරුණද සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකිය.
යුක්රේන-රුසියානු සබඳතාවලට වසර දහසකට වැඩි ඉතිහාසයක් ඇත්තේය. යුක්රේනය හා රුසියාව අතීතයේ සිටම පැවතියේ රටවල් දෙකක් වශයෙන් නොව එක් එටක කොටස් දෙකක් වශයෙනි. 7 වැනි සියවසේ සිට, යුක්රේනය කෙමෙන් රුසියානු සාර් අධිරාජ්‍යයට නතුවන්නට පටන් ගත් අතර, පාසල්වල ඉගැන්වීම් තනිකරම රුසියානු භාෂාවට පමණක් සීමා විය. 1917 ඔක්තෝබර් විප්ලවය වනතෙක් මෙම තත්ත්වය පැවති අතර, විප්ලවයෙන් පසුව යුක්රේනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. පසුව 1922 දී, යුක්රේනය හා රුසියාව එක්ව සෝවියට් සමූහාණ්ඩු සංගමය පිහිටුවනු ලැබීය.
මෙම තත්වය 1991 දෙසැම්බරයේ සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳවැටීමෙන් පසු තත්වය වෙනස් වූ අතර නව නිදහස් යුක්රේනය වේගයෙන් බටහිර දෙසට ඇදීයන්නට පටන් ගත් අතර, යුක්රේනයේ මෙම නව ප‍්‍රවණතාවය රුසියාවේ අමනාපයට හේතු වූයේය. වසර ගණනාවක් තිස්සේ, විශේෂයෙන් සෝවියට් පාලන සමය තුළ, යුක්රේනය හා රුසියාව අතර පැවති දැඩි සබඳතා බිඳී යන විට, විවිධ අර්බුද මතුවන්නට පටන් ගත්තේය. සමාජාර්ථික මෙන්ම දේශපාලන අර්බුද ද මතුවන්නට පටන් ගත්තේය.
මෙලෙස ක්‍රමයෙන් වර්ධනය වූ නොසන්සුන්තාව පසුව යුද්ධයක් දක්වා පරිවර්තනය ව ඇති අතර එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් සුපුරුදු පරිදි, සිය දේශපාලන ක‍්‍රීඩාවේ පොරපිටියක් බවට යුක්රේනය පත්කර ගත්තේද යන කරුණ ද බැහැර කළ නොහැකිය.
යුක්රේන යුද්ධයේදී රුසියාව හුදකලා කරමින් නේටෝවේ මැදිහත් වීම සුළුපටු කාරනාවක් නොවේ.
නේටෝ (North Atlantic Treaty Organisation/NATO) හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ආරක්ෂක හමුදා සන්ධානයකි. එය පිහිටුවන්නේ 1949 දී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ප්‍රංශය ඇතුළු රටවල් 12ක සහයෝගීත්වයෙනි. නේටෝ සංවිධානය පිහිටුවීමේ පරමාර්ථය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ රුසියානු ව්‍යාප්තියට අභියෝග කිරීමයි. 1991 දී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, වෝර්සෝ ගිවිසුමේ රුසියාවේ සහචරයින් වූ නැගෙනහිර යුරෝපීය රටවල් බොහොමයකට නේටෝ සාමාජිකත්වය ලබා දෙන ලදී. මෙහි කුමන යම් හෝ සාමාජික රටක් සන්නද්ධ ප්‍රහාරයකට ලක් වුවහොත් එකිනෙකාට උපකාර කිරීමට සාමාජිකයින් එකඟ වේ. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම, නේටෝව සිය වසර 73ක ඉතිහාසය තුළ මුහුණ දුන් විශාලතම අභියෝගයකි.
කෙසේ නමුත් මේ වන විට නේටෝ රටවල් විසින් රුසියානු මිසයිල වලින් ආරක්ෂා වීමට ඩොලර් මිලියන ගණනක් වටිනා ගුවන් ආරක්ෂක පද්ධති යුක්රේනයට පොරොන්දු වී ඇත. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී යුක්රේනයේ ජෙනරාල් Valerii Zaluzhnyi කියා සිටියේ යුක්රේනයට මේ වසරේ ඔහුගේ සැලසුම් සහගත ප්‍රහාරය සඳහා අමතර යුද ටැංකි 300ක්, පාබල සටන් වාහන 700ක් සහ හොවිට්සර් 500ක් අවශ්‍ය බවයි.
ජර්මනිය සිය ගුවන් යානා, කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා බිම හෙළිය හැකි සිය Iris-T වායු අධෝරක්ත මාර්ගෝපදේශක ගුවන් ආරක්ෂක පද්ධතියේ ඒකක යවමින් සිටින අතර ඔවුන්ගෙන් පළමු හතර දැනටමත් යුක්රේනයට පැමිණ ඇති බව පවසයි. ගුවන් යානා, කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා ද බිම හෙළීමට හැකි NASAMS පද්ධතිය යැවීමට එක්සත් ජනපදය ප්‍රතිඥා දී ඇත. ඒ අනුව යමින් එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය ද ගුවන් ආරක්ෂක පද්ධති යවනු ඇත.
එමෙන්ම දිගු දුර Himars පද්ධතිය, Javelin ටැංකි නාශක මිසයිල, Howitzers සහ Switchblade “kamikaze” ඩ්‍රෝන ඇතුළු ඩොලර් බිලියන 15 (£bn 13.5bn) ට වඩා වටිනා ආයුධ එක්සත් ජනපදය යුක්රේනයට ලබා දී ඇත. පෝලන්තය සිය ප්‍රහාරක ජෙට් යානා සඳහා T-72 යුද ටැංකි සහ මිසයිල ඇතුළු යුක්රේනයේ ආයුධවලින් හතරෙන් එකක් පමණ විදේශයෙන් සපයයි. එය ලබා දී ඇති සමහර සෝවියට් යුගයේ උපකරණ වඩා හොඳ කාර්ය සාධනයක් සඳහා වැඩිදියුණු කර ඇත. එක්සත් රාජධානිය විසින් එවන ලද උපකරණවලට NLAW ටැංකි නාශක අවි සහ MLRS දිගු දුර මිසයිල පද්ධති ඇතුළත් වේ. ජර්මනියේ ආයුධ අතර ස්වයං ප්‍රචලිත ගුවන් යානා නාශක තුවක්කු සහ අතේ ගෙන යා හැකි මතුපිට සිට ගුවනට මිසයිල ඇතුළත් වේ.
ජර්මනිය Leopard 2 ටැංකි යවන බව පැවසූ අතර එක්සත් ජනපදය M1 Abrams යුධ ටැංකි ලබා දෙන බවට පොරොන්දු වී ඇත. එක්සත් රාජධානිය සහ පෝලන්තය යන දෙකම දැනටමත් ස්ථිර ප්‍රතිඥා ලබා දී ඇති අතර අනෙකුත් ජාතීන් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක්සත් රාජධානිය යුක්රේනයට චැලෙන්ජර් ටැංකි 14 ක් පමණක් නොව, හමුදා රැගෙන යාමට සහ ආරක්ෂා කිරීමට කාලතුවක්කු ස්වයංක්‍රීයව ධාවනය වන තුවක්කු සහ සන්නද්ධ වාහන 30 ක් යැවීමට නියමිතය. එම නව මිලිටරි ආධාර පැකේජයට බිම් බෝම්බ කැඩීම සහ පාලම් තැබීමේ වාහනද ඇතුළත් වන බව කියැවේ.
එක්සත් ජනපදය යුක්රේනයට බ්‍රැඩ්ලි සහ ස්ට්‍රයිකර් සන්නද්ධ වාහන 100කට වැඩි ප්‍රමාණයක් ද ජර්මනියට එහි මාඩර් පාබල හමුදා ප්‍රහාරක වාහනයේ 40ක් ද සපයයි. Challenger 2, Leopard 2 සහ M1 Abrams රුසියාවේ නිෂ්පාදිත බොහෝ ටැංකි වලට වඩා වේගවත් වන අතර රළු භූමි ප්‍රදේශවල පැයට සැතපුම් 25 (පැයට කිලෝමීටර් 40) වැඩි වේගයක් ඇත.
මේ වන විට යුක්රේන යුද්ධය හුදෙක් රුසියාව හා යුක්රේනය අතර පමණක් නොව ලෝකයේම සාමාජිකත්වය අඩු වැඩි වශයෙන් සිදුව ඇති යුද්ධයක් බවට පත්ව ඇත.
නේටෝ සාමාජික රටවල් ද යුක්රේන හමුදා සඳහා පුළුල් පුහුණුවක් ලබා දෙනමුත් ලිතුවේනියාව සහ පෝලන්තය හැරුණු විට කිසිදු රටක් යුක්රේන යුධ භූමියට සිය හමුදාව යොදවා නොමැත. නේටෝ ප්‍රඥප්තියේ 5 වැනි වගන්තිය ප්‍රහාරයක් එල්ල වුවහොත් සෙසු නේටෝ සාමාජිකයකුගේ ආරක්ෂාවට පැමිණීමට රටවල් බැඳී සිටින නමුත් යුක්රේනය නේටෝවේ කොටසක් නොවන බැවින් එහි සාමාජික රටවල් තම භූමියට හමුදා යැවීම නතර කර ඇත. යුක්රේනය නෝටෝවේ හවුල්කාර රටක් පමණක් වන අතර සාමාජික රටක් නොවේ. එක්සත් ජනපදය වැනි ප්‍රමුඛ නේටෝ රටවල් බිය වන්නේ එසේ කිරීමෙන් තමන් රුසියාව සමඟ සෘජු ගැටුමක් ඇති කර, පුලුල් යුද්ධයකට මග පාදන බවයි.
රජාට පිස්සු හැදුනත්, පිස්සෙක් රජ වුනත් එකයි යනුවෙන් පවසන්නේ නිකමට නොවේ. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පන්න පන්නා අනෙක් රටවලින් ඉල්ලා සිටින්නේ සිය යුද්ධයට මැදිහත්වන ලෙසයි. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඇතිවූ විශාලතම යුද්ධය බවට මෙය පත් කර ගැනීමටත් ලෝක පූජිත වීමටත් සෙලෙන්ස්කිට ඇත්තේ ලේසි පහසු අවශ්‍යතාවයක් නොවේ. ඔහු සිය ජනතාව ඇපයට තබා හෝ රුසියාවට දිගින් දිගටම අභියෝග කරමින් සිටියි. දෙවැනි ලෝක යුද්ධයට පසුව යුරෝපයේ ඇතිවූ විශාලතම සරණාගත අර්බුදය ඇති කළ මෙම ආක්‍රමණය නිසා යුක්‍රේන ජාතිකයින් ලක්ෂ 43 කට රට හැරදා යාමට සිදු වූ අතර, ජනගහනයෙන් හතරෙන් එකක් පමණ අවතැන්ව ඇත.
නිව් ජර්සිහි Rutgers විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥයන් විසින් යුක්රේනයේ යුද්ධයේ සන්දර්භය සම්බන්ධයෙන් කරන ලද සමාලෝචන අධ්‍යයනයකින් තහවුරු වූයේ කුමන හේතුවක් මත හෝ එක්සත් ජනපදය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් බිලියන පහකට අධික ජනතාවක් කුසගින්නෙන් මිය යනු ඇති බවයි.
මේ නව විටත්, යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයෙන් කොටු වී ඇති ධාන්‍ය අවහිර කිරීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් සාගතයට මුහුණ දී ඇත. මේ වන විට සෝමාලියාව සහ කෙන්යාව සමඟ ඉතියෝපියාව, අප්‍රිකාවේ දශක හතරකට පසු දරුණුතම නියඟයට මුහුණ දී තිබේ. මේ වසරේ කලාපය පුරා මිනිසුන් දස දහස් ගණනක් කුසගින්නෙන් හා අසනීපයෙන් මිය ගොස් ඇත. මෙම ප්‍රදේශවල ආහාර හා ආධාර අවශ්‍යතා පවතින්නේ වාර්තාගත මට්ටම්වලය.
COVID-19 වසංගතය හේතුවෙන් 2020 හි ලෝක සාගින්න මට්ටම ඉහළ යාමට සාපේක්ෂව යුක්රේන යුද්ධය සහ දේශගුණික විපර්යාස සමඟ දැන් සාගින්න ප්‍රබල තර්ජනයක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ආයතන පවසයි. පසුගියදා එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වාර්තාවේ 2022 සංස්කරණයට අනුව පසුගිය වසරේ මිලියන 828ක් හෙවත් ලෝක ජනගහනයෙන් සියයට 10ක් පමණ සාගින්නෙන් පීඩාවට පත්ව තිබේ. රුසියාව ලෝකයේ තුන්වන විශාලතම ධාන්‍ය අපනයන කරුවා වන අතර ප්‍රධාන ඉන්ධන සහ පොහොර ද අපනයනකරුවෙකි. යුක්රේනය ලොව සිව්වනියට විශාලතම ධාන්‍ය අපනයනකරුවා වේ. දෙරට අතර පවතින යුද්ධය ඔවුන්ගේ අපනයන කඩා කප්පල් කර ලෝක ආහාර මිල වාර්තාගත ලෙස ඉහළට ඇද දමා තිබේ.
ලෝක ආහාර වැඩසටහනෙහි (WFP) විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බීස්ලි පැවසුවේ යුක්රේන යුද්ධය හේතුවෙන් පැන නගින ආහාර, ඉන්ධන සහ පොහොරවල මිල ඉහළ යාම රටවල් සාගතයකට තල්ලු කිරීමේ තර්ජනයක් ඇති හෙයින් ඉදිරි මාස කිහිපය තුළ මෙම සංඛ්‍යා තවත් ඉහළ යාමේ සැබෑ අනතුරක් ඇති බවයි. මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ ගෝලීය අස්ථාවරත්වය, කුසගින්න සහ පෙර නොවූ විරූ පරිමාණයෙන් මහා සංක්‍රමණ සිදු වනු ඇති බවයි.
77 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී (UNGA)එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ලෝක නායකයන් අමතා ප්‍රකාශ කර තිබුණේ යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝකයම අංශභාග තත්වයකට පත් වෙමින් ඇති බවයි. මෙහිදී ලෝක ආහාර අර්බුදයක් අතර ලෝක බලවතුන්ගේ විරසකබව සම්බන්ධයෙන් ද මහලේකම්වරයා අදහස් දක්වා තිබිණ. මෙහිදී ගෝලීය සාමය පවත්වා ගැනීමට ඇති එකම මාර්ගය සහයෝගීතාවය සහ සංවාදය බව ඔහු අවධාරණය කර ඇත.
අවසාන වශයෙන් දේශපාලන වශයෙන් පරිණත නොවූ රුසියාවෙන් ගේම ඉල්ලන සෙලෙන්ස්කි නම් දේශපාලන නොදරුවාට කීමට ඇත්තේ අතීසාරයට අඹුඩ ගැසීමෙන් පලක් නොවන බවයි.
සශිකලා මධුෂාණී_OBT