*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

අම්මා – ජීවන උයන් තෙරේ…

ගී ඇසුර 23

ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ගායක ගායිකාවන් අතර චන්ද්‍රසේන හෙට්ටිආරච්චිට හිමි වෙන්නේ ප්‍රමුඛස්ථානක්. යොවුන් ගී කණ්ඩායමෙන් මතු වී පසුව ස්වාධීන ගායකයකු විදියට ගී​ත ක්ෂේත්‍රය දිග්විජය කළත් ඔහුගේ ජීවන ගමන් මඟ වැටිල තිබුණෙ නම් අතිශය අමිහිරි, කටුක, රළු ගිරිදුර්ග මැදින්.

චන්ද්‍රසේනගෙ තාත්තා මේසන් බාස් කෙනෙක්. එක දවසක් ඔහු වැඩට ගිහින් ගෝලය එක්ක ආපහු එද්දි කැලණි ගඟට බැස ගඟ හරහා මෙතෙර වෙමින් හිටියෙ වටේ යන දිගු මඟ මගහැර ලහි ලහියේ ගෙදර එන අභිලාෂයෙන්. හිතුවට වඩා ගඟේ දිය කඳ සැඩ වී තිබුණා. ගෝලය අඩිය තියපු තැන එරෙන වැල්ල කඩාගෙන ගිහින් ඔහු ගලන ගඟට වැටිල ගඟ දිගේ ගහගෙන යන්නට පටන් ගත්තේ අනපේක්ෂිතවයි. චන්ද්‍රසේනගෙ තාත්තා අතේ තිබුණ ආයුධ මල්ල විසි කරල ගඟට පැන්නා ගෝලයා බේර ගන්නට. එයා බේරුණා. ආයුධ ටික නැති වුණා. ඒ එක්කම ඔහු ඔත්පල වුණා. එතැනින් ඔබ්බට ඒ මනුස්සයා කවදාවත් මේසන් රස්සාවට ගියේ නැහැ.

ගෙදර දොරේ අගහිඟකම් ගෙල මිරිකද්දි චන්ද්‍රසේනගෙ අම්මා රස්සාවක් ඉල්ලගෙන වත්තට ගියා. කැලණි ගං මිටියාවතේ යටියන්තොට, ගරාගොඩ, දෙගල්අස්ස වතුයායෙ ඇයට රස්සාව ලැබුණා. රබර් ගස් වටේ පිල්ලු කඩලා සුද්ද කරන එක තමයි ඇයට පැවරුණු රාජකාරිය. ඒ කාලේ කුණකටුවෙක් කාල අම්මට හරියට අමාරු වුණා. ඊට පස්සෙ වත්තෙ මහත්තය ඇය යෙදෙව්වෙ රබර් පැක්ටරියෙ රබර් අඹරන වැඩ වලට. ඒවයෙ ඇසිඩ් වැටිල ඇගේ කකුල් දෙකේම ඇඟිලි කරු වණ වෙලයි තිබුණෙ. පුංචි චන්ද්‍රසේන අම්මව එක්කගෙන එන්න හවස් යාමෙ පැක්ටරියට යනව. හැන්දෑ අඳුර ගලන වෙලාවෙ සෙහොන් පිටියක් අතරින් තමයි කිලෝමීටරයක විතර දුර යන්න තියෙන්නෙ. ඔහු ඉතිපිසෝ ගාථාව කිය කිය එතැනින් දුවනවා පැක්ටරියට. සමහර දවස්වල වැඩ අහවර වෙන්නෙ රෑ මැදියමේ. වැඩමුරේ ඉවර වෙනකල් ඔහු පැක්ටරිය පිටිපස්සෙ තියෙන මේසෙ නිදියනවා. එතකොට ඔහුගේ වයස යන්තම් අවුරුදු 10ක් 11ක් විතර ඇති.

චන්ද්‍රසේන ගෙදරදි නම් නිදාගන්නෙ අම්මත් එක්ක. ඇගේ රෙද්දක් පොරවගෙන. එක දවසක් අම්මගෙ වණ වුණු ඇඟිලි කරු දිහා බල බල දුක වාවගන්න බැරුව කකුල් දෙක අල්ලන් ඔහු එළිවෙනකල්ම ඇඬුවා.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිට කලා හැකියාවන් පිහිටල තිබුණෙ උපතින්මයි. ඔහුට උත්තේජනයක් වුණේ ඔහුගේම තාත්තා. ඒත් තාත්තා මේසන් බාස් කෙනෙක් නිසා පොරබදපු ජීවන අරගලය ඇතුළෙ කලා හැකියාවන් සැඟවිලයි තිබුණෙ. ඔහුට ගායන හැකියාවක් ඇති බව චන්ද්‍රසේනල දැන උන්නෙත් නෑ. ඔහුගෙ වයස අවුරුදු තුනේදි විතර එක දවසක් තාත්තා අමුතු උපකරණයක් ගෙදරට ගෙනාවා. ඈතට දැක්කම චන්ද්‍රසේන වුණත් හිතල තියෙන්නෙ ලොකු පාන් ගෙඩියක් අරන් එනව කියලයි. ගෙදර ගෙනාපු උපකරණයේ වැස්ම පැදුරක් උඩින් තියල ලිහුවම තමයි එයාල දැනගත්තෙ ඒක ජපන් මැන්ඩලීනයක් කියල. තාත්තා එදා ඒක වයමින් ගී ගැයුවා. ඒ වික්‍රමය දැක්කම චන්ද්‍රසේනට හිතුණෙ තාත්තා මාර විරයෙක් කියලයි. පස්සෙ තමයි දැනගත්තෙ ඔහු මේසන් වැඩ වලට ගියාම යාළුවො එක්ක සින්දු කියනව කියල. චන්ද්‍රසේනලගෙ ගෙදර නම් රේඩියෝ එකක් තිබුණෙ නැහැ. සින්දු අහන්න යන්න වුණේ ගෙවල් ළඟ තිබුණු කඩපිලට.

ඉතින්, පුංචි සන්දියෙදි චන්ද්‍රසේනට එයාගෙ තාත්තා දන්න විදියට මැන්ඩලීනය පුරුදු කළා. ටික කලකින් සර්පිනාව වයන්නත් පුහුණුවක් ලැබුවා. වැඩි කලක් යන්න මත්තෙන් ඕනෑම ගීයක් ගයන්නට අවශ්‍ය පරිචය ඔහුට ලැබුණා. ඔය අතරෙ 1979 යෞවන සම්මාන උළෙලෙ තරගෙට චන්ද්‍රසේන නිකමට වගේ දේශාභිමාන ගීයක් ලිව්ව. ඒකෙ තනුව දැම්මෙත්, ගායනා කළෙත් ඔහුමයි. අරුමෙ කියන්නෙ ඒ අවුරුද්දෙ ගීත රචනය තනු නිර්මාණය සහ ගායනය යන අංශ තුනෙන්ම චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සම්මානයට පාත්‍ර වුණා.

චන්ද්‍රසේනට අයිය කෙනෙක්, අක්ක කෙනෙක් සහ නංගිල තුන්දෙනෙක් හිටිය. ගෙදර දොර වියදම් දරන්න අම්මට බැහැ. 1978-79 කාල වකවානුවෙ ඔහු ගියා මහවැලි සංවර්ධන මණ්ඩලයේ කැලෑ කපන රස්සාවට. මාසෙ පඩිය අරන් මූලික වියහියදම් කළාම රු. 75ක් ඉතුරුයි. ඔහු පිටකොටුවට ගිහින් ඒ මුදල් වලින් ප්ලාස්ටික් බඩු ගත්තා. ඒව ගෙවල් ගානෙ ගිහින් වික්කම අතේ තරමක මුදලක් ඉතිරි වුණා. චන්ද්‍රසේන ටික ටික දියුණු වුණේ ඒ විදියට.

ඔය කාලෙ තමයි යොවුන් ගී කණ්ඩායමට සාමාජිකයන් බඳවගත්තෙ. චන්ද්‍රසේනත් අයදුම්පතක් දැම්මා. ඔහු යෞවන සම්මාන දිනල තිබුණට යොවුන් ගී කණ්ඩායමට තේරුණේ නැහැ. කෑගලු බාලිකා විදුහලේ තිබුණු දිස්ත්‍රික් තරගවලින් දිනපු ඔහුට සමස්ත ලංකා තරගවලට හුණුපිටිය ගංගාරාමෙ ජිනරතන පුහුණු මධ්‍යස්ථානයට එන්න කියල ලියුමක් ඇවිත් තිබුණ. ඔහු ඊටත් සහභාගි වුණා.

යෞවන සම්මාන සමස්ත ලංකා ත්‍යාග ප්‍රදානෝත්සවය තිබ්බෙ ජෝන් ද සිල්වා සමරු රඟහලේ. ඒ උළෙලෙදි ඔහු ජයග්‍රහණය කළ ගීතය වේදිකාවෙදි ගයන්න වරම් ලැබුණ. චන්ද්‍රසේනගෙ හැකියාව හැමෝම දැක්ක. තමන්ගෙ අංගය අවසන් කරල තෑගිත් අරන් වේදිකාවෙන් බහිද්දි ඔහු අසලට ආවෙ ශ්‍රියා දනන්සූරිය. ඔහු තමයි බෙල්වුඩ් සංස්කෘතික කණ්ඩායම් භාර නිලධාරියා.

“චන්ද්‍රසේන, අපි යොවුන් ගී කණ්ඩායමක් පටන් ගන්නව. සභාපතිතුමා කීව ඔයා කැමති නම් ඒකට බැඳෙන්න පුළුවන් කියල.”

“වැඩක් නෑ සර්. ඕකට මම ඉන්ටවිව් ගියත් තේරුණේ නෑ”

“නෑ නෑ. ඔයාව තෝරගෙන තියෙන්නෙ. කැමතිද කියන්න.”

“කැමතියි”

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි එහෙම කිව්වට මොකුත් හිතාගන්න බැරුව තත්පර ගාණක් වික්ෂිප්තව බලාගෙන හිටිය.

ඒ වෙනකොට ජාතික තරුණ සේවා සභාවෙ සභාපතිවරයා වුණේ චරිත රත්වත්ත.

චන්ද්‍රසේනට වරම් ලැබුණා 1980 යොවුන් ගී කණ්ඩායමට බැඳෙන්න. චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, තේජා දමයන්ති, ධම්මිකා කරුණාරත්න, මාෂල් ජනතා වගේ සහෝදර ශිල්පීන් පිරිසක් ඒ වෙනකොටත් කණ්ඩායමට ඇතුළත් වෙලයි හිටියෙ. ෂර්ලි වෛජයන්ත තමයි උපදේශක. වාදක මණ්ඩලයට ජයන්ත දිසානායක, රංජිත අබේනන්ද වගේ අයත් එකතු වෙලා හිටි​යා.

ඉතින් ටික කාලයක් අවිස්සාවේල්ල බටංගල පුහුණු මධ්‍යස්ථානයෙ පුහුණුව ලබල 1980 අගදි වගේ තමයි මේ කණ්ඩායම බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයට ගියේ. බටංගල ඉන්නකොට නම් කොහොම හරි සතියට වරක් අම්මා බලන්න යන එක ඔහු පුරුද්දක් කරන් හිටිය. බෙල්වුඩ් ගියාම එහෙම යන්න බැරිවුණා. එතකොටත් චන්ද්‍රසේන රෑට නිදා ගත්තෙ අම්මගෙ අර චීත්තෙ පොරවන්.

බෙල්වුඩ් කියන්නෙ හරිම සුන්දර නිසංසල පරිසරයක් ඇති පරිශ්‍රයක්. වටේටම කඳු පන්තිය. එහෙ ඉන්න කාලෙ අම්මත් ළඟ නැති නිසා ඔහු හිටියෙ තරමක සාංකාවකින් වගේ. එහෙම දවසක චන්ද්‍රසේන තේ වත්තක් මැදින් ඔහේ ඇවිදගෙන ගියා. ගිහින් රූස්ස ගස්වලින් හෙවණ වුණු ගල් තලාවක ඉද ගත්තා. ගල් තලාවෙන් එහා පැත්තෙ දිය කඳුරක් කඩා හැලෙනවා.

අර සාංකාවත් එක්ක ඔහුට එක පාරටම අම්මා සිහිපත් වුණා. එතකොටම හයියෙන් කෑ ගැහුණ “අම්මා…” කියල. ඒක ඈත කඳුයායෙ හැපිල දෝංකාර දුන්නා.

අපේ මේ කතාවට ප්‍රස්තුත “අම්මා” ගීතයේ ඇඩ්ලිබ් එක හැදුණෙ එහෙම. ඔහු දුවගෙන ගියා සංගීත කාමරයට. ආපු හැඟීම කොල කෑල්ලක ලිව්වා ගීතයක් විදිහට. ඒ වචනවලට අදාළ තනුවත් එහෙමම සටහන් කළා. ඒක අරන් නේවාසිකාගාරයට ගිහිං සෝමසිරි මැදගෙදරටත් පෙන්නුව.

“සෝමසිරි අයියේ මං අම්මා ගැන සින්දුවක් ලිව්වා. අහමු නේද?”

“ෂා ! මරුනෙ…”

ඔහු සතුට පළ කළා. සෙසු මිතුරන්ටත් කතා කළා.

“අලුත් සිංදුවක්. වරෙල්ලා වරෙල්ලා.”

අර පිරිවර ගිටාර්, තබ්ලා, ඩොලැක්ක අරන් චන්ද්‍රසේනගෙ ඇඳට ගොඩවුණා.

ඔහු සර්පිනාව හඬවමින් ක්ෂණිකව ලියවුණු ගීතය ගායනා කළා.

අම්මා…
ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ…

නේවාසිකාගාරෙ සේරම ළමයි චන්ද්‍රසේන වටේ එකතු වුණා. අලුත් ගීතය ගැන හැමෝටම සතුටුයි. ඔවුන් සුබ පැතුවෙ හෘදයාංගමවයි.

ගීතයේ අන්තිම කොටස ලියල තිබුණෙ මෙහෙම

කඳුළින් ඉපදී කඳුළෙන්ම මියැදෙන
රණ මඬලේ මිණි පහනක් වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුලට ගෙන සදා රකිනු මැන

බෙල්වුඩ් කණ්ඩායමේ නිවේදකයෙක් හිටිය සුදන්ත බී. පෙරේරා කියල. ඔහු පස්සෙ කාලෙ අවාසනාවන්ත විදිහට දියේ ගිලිල මිය ගියා.

සුදන්ත චන්ද්‍රසේනට යෝජනාවක් කළා.
“හෙට්ටි අයියේ, මා තුරුලට ගෙන සදා රකිනු මැන කියනවට වඩා නිබඳ සරනු මැන කියල දැම්මොත් කොහොමද?”

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඉතා නිහතමානීව ඒ සංශෝධනය සිය පදමාලාවට එකතු කර ගත්තා.

දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුළට ගෙන නිබඳ සරනු මැන

ඒ වෙනකොට චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙ තවලම් අපි යනවා, සීත කඳු යායේ, සැඳෑ සමයයි ජීවිතේ වගේ ගීත ජනප්‍රියයි. ඒ කාලේ හැම ගමකම තිබුණු තරුණ උත්සවවල යොවුන් ගී ප්‍රසංග තිබුණා. ඒවයෙදි තමයි අර ගීත ගායනා කළේ. චන්ද්‍රසේන “අම්මා” ගීතයත් අර ගී පෙළටම ඈඳ ගත්තා. ඒ විතරක් නෙවෙයි, තරුණ සේවා සභාවෙ අනුග්‍රහයෙන් ජාතික ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණු අඩ පැයක වැඩ සටහනක් වූ “බදාදා පිළිසඳරින්” ඔය ගීය රසික සහෘදයන්ට හඳුන්වා දුන්නා.

යොවුන් ගී කැසට් පට පෙළටත් ඒ වෙනකොට හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය වෙලයි තිබුණෙ. “යොවුන් ගී 11 – තවලම” කැසට් පටයට චන්ද්‍රසේන ගැයූ කෙලෙසක කීවත්, ටික කලක සිටන් කියන ගීත එක්කම “අම්මා – ජීවන උයන් තෙරේ” ගීයත් ඇතුළත් වුණා. ඒක පොදු ජනතාවගේ ගීයක් වුණේ එතැනින් එහාටයි. අසීමිත මාතෘ ප්‍රේමය පිළිබඳ හැඟීමත් එක්ක මේ ගීයට සවන් දෙන රසිකයන්ගෙ දෑස් තෙත් නොවුණෙ එහෙමත් අවස්ථාවක විතරයි.

© නිලාර් එන්. කාසිම්

පෙර ලිපි:

සිල්ප සොඳින් දැනගන්න ගිහින්

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

ඇය යන්න ගියා මැකිලා

පුන්සඳ රෑට

ගමේ කෝපි කඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan