සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 02 කොළඹ (LNW):රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කළ බව සඳහන් වේ.
විනිසුරු මඩුල්ල සදහන් කළේ, එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බවයි.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 31 ක් ගොනු කර තිබූ අතර ඒවා දින හයක් පුරා විභාගයට ගැනුණු අතර, එම පෙත්සම් විභාගය අද අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබද තම රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.
පෙත්සම් විභාගයට ගැනුණේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ඒ එච් එම් ඩී නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මෙරිල් ප්‍රනාන්දු මහතා වැඩිදුර කරුණු ඉදිරිපත් කළා. මෙය ජාත්‍යන්තරව පිළිගත් සම්මුති හා ප්‍රඥප්තීන්ට අනුකූලව ඉදිරිපත් කර ඇති බවත් එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සදහන් කළ අතර, පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදය පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධනවල පිටපත් ද ඒ මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.
විනිසුරු මඩුල්ල නියෝග කළේ, මේ සම්බන්ධයෙන් වන ලිඛිත දේශන තිබේ නම් හෙට පෙරවරු දොළහට පෙර ගොනු කරන ලෙසයි.
