ලිපියේ අරමුණ
මෙම ලිපියේ අරමුණ වනුයේ, නව ලිබරල්වාදී යැයි හඳුන්වන ආර්ථික විද්‍යා ගුරුකුලයක් විසින් ආර්ථිකය, දේශපාලනය සහ සදාචාරාත්මක වටිනාකම් එකිනෙකට වෙන් කොට ඉදිරිපත් කෙරෙන නව ලිබරල් ආර්ථික කළමනාකරණ මොඩලයක් හේතු කොට රටවල රාජ්‍ය පාලනය සහ මානව සංවර්ධනය අඩාල වීමේ සහ වින්දිත වීමේ දැඩි අවදානමක් හට ගෙන ඇති බවට අදහසක් ඉදිරිපත් කිරීම යි. මෙම මොඩලයෙන් වඩාත්ම වින්දිත භාවයට පත් වී ඇත්තේ, ඩොලරය මත රඳා පවතින ශ්‍රී ලංකාව වැනි ගෝලීය ආර්ථිකය හරහා මෑත දී දියුණු වීම ආරම්භ වී ඇති රටවල් ය.
දේශපාලනික, ආර්ථික සහ සදාචාර වටිනාකම් ඒකාබද්ධතාවය
ආර්ථික විද්‍යා සංකල්පයන් බිහි වූයේ, දේශපාලනික ආර්ථික විද්‍යාව වශයෙනි. එම ආර්ථික අදහස් හුදෙක් කලින් කලට රාජ්‍ය පාලනයේ කොටසක් ලෙස ඉදිරිපත් වූ මානව දර්ශන වේදීන්ගේ අදහස් විය. එනම්, රටක ආර්ථික ක්‍රියාකාරකම් සිදු වන රාමුව රාජ්‍ය පාලනයෙන් තීරණය කෙරෙන පරිසරයක ය. උදාහරණ ලෙස වෙළෙඳපොළවල්, වත්කම් අයිතිය, වෙළෙඳ ගිවිසුම්, බුන්වත් භාවය සහ බදු යනාදිය දේශපාලනය විසින් පනවන නීති පද්ධතිය දැක්විය හැකිය. දේශපාලනය හුදෙක් රටවල පිළි ගැනෙන සදාචාරාත්මක වටිනාකම් පද්ධතිය මත ක්‍රියාත්මක වී ඇත. එබැවින්, දේශපාලනය, සදාචාරාත්මක වටිනාකම් සහ ආර්ථිකය එකිනෙකට බැඳී විකාශය වී ඇත. ඒ බව, රටවල් අතර පවතින සමාජ ආර්ථික වෙනස්කම් දෙස බලන විට මනාව පැහැදිළි වෙයි.
නූතන ආර්ථික විද්‍යා විග්‍රහයන් හුදෙක් ආදායම, වියදම, ඉතුරුම් සහ ණය ක්‍රියාකාරකම් ආශ්‍රිතව ඉදිරිපත් වී ඇත. එහෙත්, මෙම ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ ව ආදී කාලීන ශාස්තෘවරුන් විසින් පවා ඒ ඒ සමාජ පරිසරයන්ට අනුව පුද්ගල සහ සමාජ සංවර්ධනයට යෝග්‍ය යැයි සැලකෙන හොඳ පුරුදු දේශනා කොට ඇත. ඒ බව වත්මන් ආගමික විශ්වාසයන් තුළින් දැකිය හැකිය.
ඒ අනුව, සමාජවල ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි රාජ්‍ය හෝ දේශපාලනික මැදිහත්වීම ක්‍රමානුකූලව විකාශය වී ඇත. එය හුදෙක් සම්පත්වලින් රට තුළ වඩා හොඳ මානව සංවර්ධනයක් බිහි කිරීම අරමුණ මත සිදු වී ඇත. රටවල් අතර යුද්ධයන් හට ගැනීම පවා මෙම දේශපාලනික අරමුණ මත සිදු වී ඇත. සියළු යුද්ධවල අරමුණ රටවල සම්පත් සහ ආදායම් වර්ධනය යි.
නූතන ආර්ථික දාර්ශණික පදනම:
ඇඩම් ස්මිත්, කාල් මාක්ස් සහ කේන්ස්
නූතන ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවීමේ දී අනුගමනය කෙරෙන අදහස් බොහොමයක් ඇඩම් ස්මිත්, කාල් මාක්ස් සහ කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද දර්ශණයන් මත පදනම් වී ඇත.
- ඇඩම් ස්මිත්ට (1776 – The Wealth of Nations) අනුව නිදහස් වෙළෙඳපොළ මගින් ආර්ථික සුබසාදනය උපරිම වන අතර රජය ඊට මැදිහත් නොවී හුදෙක් නීතිය සහ සාමය රැකීමේ කාර්යයෙහි පමණක් නිරත විය යුතුය. මෙය ස්වාර්ථය පතා පුද්ගල තරඟකාරීත්වය තුළින් ආර්ථික සංවර්ධනය පිළිබඳ ආරම්භක ලිබරල්වාදී දර්ශනයකි.
- කාල් මාක්ස්ට (1867 – Das Kapital) අනුව නිෂ්පාදනයෙන් ජනිත වන ආදායමින් බහුතරය ප්‍රාග්ධන හිමියන් විසින් අත් කර ගන්නා බැවින් ශ්‍රමය අසාධාරණ ලෙස සුරාකෑමට ලක් වනු ඇත. එබැවින්, මෙම අසාධාරණ නිෂ්පාදන ක්‍රමය බිඳ වැටි, ශ්‍රමයට සාධාරණ ආදායම් ලැබෙන ක්‍රමයක් අනාගතයේ දී බිහි වනු ඇත. මෙය ආර්ථිකයෙහි පවතින අසාධාරණ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ දර්ශනයකි. මෙහි රාජ්‍ය මැදිහත්වීම නිර්දේශ නොකළ ද, ලෝකය පුරා රජයන් විසින් ඒ සඳහා විවිධාකාරයෙන් ආර්ථිකය කෙරෙහි මැදිහත් වෙයි.
- කේන්ස්ට (1936 – The General Theory of Employment, Interest and Money) අනුව ආර්ථික පසුබැසීම් සහ අවපාත කාලවල රජය විසින් අයවැය හිඟය හරහා වැඩියෙන් වියදම් කිරීම තුළින් නිෂ්පාදනය ඉහළ නංවා, සේවා වියුක්තිය පහළ දමා, ආදායම ඉහළ නැංවිය හැකිය. මෙය, කඩිනම් ආර්ථික ස්ථායිකරණය සඳහා රාජ්‍ය වියදම සහ ණය හරහා දේශපාලනික මැදිහත්වීමේ අවශ්‍යතාවය ඉදිරිපත් කළ දර්ශනයකි. එසේම, එය නූතනයේ පවා සෑම රටකම ආර්ථික ස්ථායිකරණ ප්‍රතිපත්තිවල පදනම ලෙස භාවිතා කෙරෙන ප්‍රචලිත දර්ශනයකි.
නූතන ලිබරල් ආර්ථික විද්‍යාඥ විසාදිය
පසුකාලීනව ගණිත සහ සංඛ්‍යාන ආකෘතීන් හරහා ආර්ථික විද්‍යාව ලෙස විශ්ව විද්‍යාල විෂය ධාරාවක් විකාශය වූ අතර දේශපාලනික ආර්ථික විද්‍යා නාමය අභාවයට ගොස් ඇත. මෙහි නවතම අත්හදා බැලීම වන්නේ, නව ආර්ථික විද්‍යාඥයන් විසින් දේශපාලනයෙන් සහ සදාචාර වටිනාකම් පද්ධතියෙන් ආර්ථිකය වෙන් කිරීමට ගන්නා උත්සාහය යි. මෙය නව ලිබරල් වාදය ලෙස නම් වී ඇත.
ඔවුන්ට අනුව ආර්ථික විද්‍යාව යනු ගුවන් යානා විද්‍යාවක් මෙන්, ආර්ථිකය යා යුතු ධවන පථය සහ ධාවන නියමයන් පෙන්වන විෂයකි. ඔවුන් විසින් එසේ ආර්ථිකය වෙන් කිරීමට කෙරෙන උත්සාහය ශ්‍රී ලංකාව වැනි අර්බුදයන්ට පත් වී ඇති රටවලින් මෙන්ම, ඇමෙරිකාව සහ එංගලන්තය වැනි සංවර්ධිත රටවලින් ද දැකිය හැකිය. මෙම නව ආර්ථික දර්ශණයෙහි මූලික අංගයන් පහත ලෙස හඳුනා ගත හැකිය.
- රාජ්‍ය අයවැය හුදෙක් බදු මගින් රජය/දේශපාලනය පවත්වා ගැනීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීමේ කාර්යයක් බවට පත් කිරීම. එනම්, අයවැය අවකාශය සීමා කිරීම.
- මෙය හුදෙක් ආර්ථිකයක් මුහුණ දෙන ගෙවුම් ශේෂ හිඟය, මුදල් ප්‍රසාරණය සහ උද්ධමනය යනා දී මූලික සාර්ව ආර්ථික ප්‍රශ්නයන් හුදෙක් අඛණ්ඩ හිඟ රාජ්‍ය අයවැයවල ප්‍රතිඵලය බවට ආර්ථික විද්‍යාඥයන් දරන විශ්වාසය මත පදනම් වෙයි.
- එබැවින්, බදු ආදායමින් පියවීමට හැකි වන පරිදි රාජ්‍ය වියදම ප්‍රතිශෝධනය කොට, අයවැය හිඟය කපා හැරීම හරහා රාජ්‍ය ණය තොගය පහළ දැමීම නිර්දේශ කෙරේ. මේ සඳහා තිරසාර ණය පරිමාව නම් නව සංකල්පයක් ද හඳුන්වා දී ඇත. ඒ අනුව, අයවැය හිඟය සහ රාජ්‍ය ණය සීමා කිරීම සඳහා රටවලට විවිධාකාර අත්තනෝමතික ඉලක්කම් නිර්දේශ කිරීම දැකිය හැකිය.
- ආර්ථිකයෙහි මිල ස්ථායිතාවය සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව රජයෙන් ස්වාධීන කොට, මුදල් ක්‍රමය පාලනය මහ බැංකුවට පැවරීම. මෙහි දී, ආර්ථිකයෙහි මිල ස්ථායිතාවය මහ බැංකුවෙහි ප්‍රධාන කාර්යය ලෙස නියම කොට ඇත. එනම්, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යි.
- මෙම සංකල්පයට අනුව මිල ස්ථායිතාවය තුළින් ආර්ථිකයෙහි වර්ධනය සහ සියළු ආර්ථික ස්ථායිකරණ කාර්යයන් ඉටු වනු ඇත. ඒ අනුව, මහ බැංකු විසින් ඉටු කළ යුතු උද්ධමන ඉලක්කයන් ද නියම කොට ඇත. මෙය මුදල් ප්‍රතිපත්ති අවකාශය නියම කිරීම ලෙස දැක්වෙයි.
- එබැවින්, ආර්ථික වර්ධනය හෝ සංවර්ධනය හෝ සේවා නියුක්තිය සඳහා මුදල් ක්‍රමය (පොලී අනුපාතය සහ බැංකු ණය) යොමු කිරීමේ වගකීමක් මහ බැංකුවට නොමැති බව දැක්වෙයි. මෙහි දී, මහ බැංකුවෙන් රජයට ණය සැපයීම පවා අත් හිටුවා ඇත. ඊට හේතුව, මුදල් අවකාශය සහ අයවැය අවකාශය එකිනෙකට වෙන් කොට පාලනය කිරීම යි.
- මෙම සංකල්පය තුළින් හුදෙක් මහ බැංකුවට තම ණය පොලී අනුපාතය හරහා ආර්ථිකයෙහි සමස්ත මිල මට්ටම පාලනය කළ හැකි බවට නිර්දේශ කෙරේ.
- මූල්‍ය පද්ධති ස්ථායිතාවය පද්ධති අවදානම් නියාමනය මත පදනම් වූ සාර්ව විචක්ෂණ නියාමන මෙවලම් හරහා සිදු කිරීම. මෙහි දී පද්ධති වැදගත්කම සහිත බැංකු සහ මූල්‍ය ආයතන නියාමනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. එහෙත්, මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය හෝ මුදල්, මූල්‍ය පද්ධති ස්ථායිතාවය කෙරෙහි යොමු නොකෙරේ. මෙය, බැංකු අර්බුදවල දී මහ බැංකුවල අවසාන ණය දෙන්නා කාර්යයය අධෛර්යමත් කොට, මුදල් ප්‍රතිපත්තිය හුදෙක් මිල ස්ථායිතාවය පමණක් සඳහා නිදහස් කිරීමේ සංකල්පයකි. මෙය ද, මුදල් ප්‍රතිපත්ති අවකාශය සීමා කිරීමේ අරමුණ මත සැකසී ඇත. එහෙත්, මෙම සාර්ව විචක්ෂණ එළඹුම යනු 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදයේ දී මහ බැංකු මූල්‍ය ස්ථායිතා එළඹුම ලෙස අසමත් වූ ක්‍රමවේදයක් වන අතර එය හිසරදයට කොට්ටය මාරු කිරීමකි. මෙහි අසාර්ථකත්වය ඊළඟ මූල්‍ය අර්බුදයේ දී අත් දකිනු ඇත.
- ඒ අනුව, මෙම ලිබරල් වාදීන් විසින් මුදල් වෙළෙඳපොළ, භාණ්ඩ හා සේවා වෙළෙඳපොළ සහ විදේශ මුදල් වෙළෙඳපොළ වෙන වෙනම තුලනය කොට, ආර්ථිකයෙහි ස්ථායිතාවය පවත්වා ගැනීමේ ආර්ථික කළමනාකරණ සාහිත්‍ය කථාන්දරයක් ඉදිරිපත් කෙරේ. එහි පදනම ලෙස රාජ්‍ය අයවැය අවකාශය සහ මුදල් අවකාශය භාවිතා කෙරේ. මෙහි අරමුණ පෞද්ගලික අංශය හරහා ගෝලීය වෙළෙඳපොළක් තුළ ආර්ථිකය මෙහෙයවීමට අවශ්‍ය පරිසරය සැකසීම යි.
එහෙත්, ආර්ථිකයෙහි තුලනයන් බිඳී යන හෝ කම්පනයන්ට මුහුණ දෙන සෑම අවස්ථාවකම දෝෂාරෝපණය රජයේ අයවැය මෙවලම්වලට පාස් කෙරේ. මීට හොඳම උදාහරණය පසුගිය ජනවාරි 23 දින පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ දී, නව ලිබරල් ආර්ථික නීති යටතේ ස්වාධීන මහ බැංකුවට නියම කරන ලද 3% – 7% පරාසයක කාර්තු උද්ධමන ඉලක්කය ඉටු කිරීමට නොහැකිව, ආර්ථිකය අවධමන උගුලකට තල්ලුවීම පිළිබඳ පරීක්ෂණය යි.
එහි දී, මහ බැංකු අධිපති විසින් ඊට හේතුව වශයෙන් දක්වා සිටියේ, රාජ්‍ය අයවැය මෙවලම් හරහා සැපයුම් මිල ගණන් (සැපයුම් උද්ධමනය) කෙරෙහි සිදු කෙරෙන බලපෑම හේතු කොට උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට නොහැකි බවත්, ඒ හේතුවෙන් උද්ධමන ඉලක්කය පැහැර හැරීමේ වගකීම මහ බැංකුව භාර නොගන්නා බවත් ය. එහෙත්, නව ලිබරල් ආර්ථික කළමනාකරණ මොඩලයේ දී හුවා දැක්වෙන්නේ, ස්වාධීන මහ බැංකුව විසින් දේවාත්මයෙන් මෙන් ආර්ථිකයෙහි මිල ස්ථායිතාවය පවත්වා ගෙන යන බවත්, එමගින් සියළු ආර්ථික දෝෂයන් නිවාරණය වන බවත් ය.
ලිබරල්වාදී ආර්ථික විසාදියෙන් වින්දිතයන් වන
දේශපාලන නායකයන් සහ මානව සංවර්ධනය
නව ලිබරල්වාදය ලෙස නම් වී ඇති ඉහත දැක්වූ ආර්ථික සංකල්පයන් මත ආර්ථිකයන් කළමනාකරණය කළ යුතු බව දැක්වෙන මොඩලය හුදෙක් IMF- ලෝක බැංකුව සහ ඔවුන්ගේ ජාත්‍යන්තර මූල්‍ය ආයෝජක ජාලයේ නිර්දේශය සහ මැදිහත්වීම මත විකාශය වී ඇත. මෙම නව ආර්ථික විද්‍යාඥයන් ඔවුන්ගේ ඒජන්ත වරුන් ලෙස ලොව පුරා ව්‍යාප්ත වී ඇත.
සංවර්ධිත රටවල දේශපාලන නායකයන් ද මෙම අදහස් වේදිකාවල රග දැක්වුව ද, ආර්ථික සහ මූල්‍ය අර්බුදවල දී ඉහත දැක්වූ සියළු සංකල්පීය අවකාශයන් බිඳ දමා, මහජන මතයට ගරු කරමින්, මුදල් සහ රාජ්‍ය අයවැය මෙවලම් එකිනෙකට සම්බන්ධීකරණය හරහා තම ආර්ථිකයන් සහ ජන ජීවිතය ස්ථායිකරණය කරන බව රහසක් නොවේ. මීට හොඳම උදාහරණය 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදය සහ 2020/21 ගෝලීය කොරෝනා ආර්ථික අර්බුදය නිරාකරණය කළ ආකාරය යි. රාජ්‍ය අයවැය හිඟය, රාජ්‍ය ණය පරිමාව සහ මුදල් මුද්‍රණය කිසිදාක අපේක්ෂා නොකළ මට්ටමට ඉහළ ගිය අතර මහ බැංකු මුදල් පොලී අනුපාතයන් ශූන්‍ය හෝ සෘණ මට්ටමට පහළ හෙළන ලදි. කිසිම නව ලිබරල් ආර්ථික විද්‍යාඥයෙකු ඊට එරෙහිව කට හැරියේ නැත. ඊට හේතුව, ආර්ථික විද්‍යාව පැවතීමට නම්, ආර්ථිකය සහ ජන ජීවිතය පැවතිය යුතු බැවිනි.
එහෙත්, ශ්‍රී ලංකාව ඇතුළු දියුණු වන රටවල දේශපාලන නායකයන් විසින් එම ලිබරල් ආර්ථික නිර්දේශයන් ආර්ථික ආගමක් ලෙස අදහමින් බොහෝ රටවල් ණය අර්බුදයකට තල්ලු කරන ලදි. එම ණය අර්බුදය ද, අයවැය හිඟය පියවීම සඳහා මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රතිඵලය ලෙස ලේබල් ගසා, ඉහත දැක්වූ නව ලිබරල් ආර්ථික කළමනාකරණ මූලධර්මයන් රටේ නීතිය බවට පත් කරන ලදි. ඒ සඳහා IMF-ලෝක බැංකුව සහ මූල්‍ය ආයෝජකයන් විසින් ඉදිරිපත් කළ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඩොලර් ණය සැපයුම යනාදිය කොන්දේසි ලෙස භාවිතා කොට ඇත. තව ද, පොලී අනුපාතයන් අහස උසට නංවා, බදු ඉහළ දමා, අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය කප්පාදු කොට ආර්ථිකය සහ ජන ජීවිතය කඩා බිඳ දමන ලදි. එය දැනටමත් අර්බුදයෙන් බිඳ වැටී ඇති ආර්ථිකය තවත් හකුළුවා ඊට පසු නැවත ස්ථායිකරණය පහසු බව දක්වමින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තිය යි. දේශීය ආර්ථික විද්‍යාඥයන් කිසිවෙකු විසින් එය විවේචනය නොකරන අතර රට සංවර්ධනය සඳහ ඇති එකම ආර්ථික විකල්පය එය බවට මතවාදයක් ද පතුරවා ඇත. ඊළඟ ආර්ථික අර්බුදය පතිත වන තෙක් මෙම මතවාදයට අත පෙවීමට වෙනත් ගුරු කුලයක කිසිම ආර්ථික විද්‍යාඥයෙක් ඉදිරිපත් වන බව නොපෙනේ.
ඒ අනුව, මෙම රටවල දේශපාලන නායකයන්ට කිසිම ආර්ථික කළමනාකරණ බලයක් නොමැතිවීමෙන්, මහජනයා විසින් කෙටි කාලයන් තුළ ඔවුන් ගෙදර යැවීමේ පුරුද්දක් හට ගෙන ඇත. එහෙත්, ඒ පසුපස සිටින ආර්ථික විද්‍යාඥ කණ්ඩායම අඛණ්ඩව නව ලිබරල් ආර්ථික ජාලය මෙහෙයවීමේ යෙදී ඇත. එහි යටි අරමුණ වනුයේ, මෙම රටවල් හුදෙක් ඩොලරය මත රඳවා ගැනීම තුළින් ගෝලීය ඩොලර් ආර්ථික භූදේශපාලනය අරක්ෂා කිරීම යි. ඒ බව, මෙම රටවලට සැපයෙන පෞද්ගලික සහ ආයතනික ඩොලර් ණය ස්වරුපය සහ ව්‍යුහය දෙස බලන විට පැහැදිළි වෙයි.
ඒ අනුව, දේශපාලනය, සදාචාර වටිනාකම් සහ ආර්ථිකය එකිනෙකට වෙන් කිරීමේ නව ලිබරල් ආර්ථික විසාදිය තුළින් මෙම රටවල් ඉදිරි දශකය තුළ නැවත දරිද්‍රතාවයට පත් වීමේ පෙර සංඥාවන් රාශියක් දැනටමත් විද්‍යාමාන වී ඇත. එය හුදෙක් මෙම රටවල රජයන්ට ආර්ථික කළමනාකරණ බලය අහිමිවීම තුළින් හට ගෙන ඇති දේශපාලනික අස්ථායිතාවය තුළින් විකාශය වන බව පැහැදිළි ය. එබැවින්, නව දේශපාලන නායකයන් විසින් විවිධාකාර ක්ෂුද්‍ර වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හරහා මහජනයා මෙහෙයවීමට උත්සාහ කෙරෙන අතර ඉදිරි දශක කිහිපය තුළ මානව සංවර්ධනය පිළිබඳ ව කිසිම වැඩසටහනක් ඉදිරිපත් කරන බවක් නොපෙනේ. ඊට හේතුව, නව IMF ලිබරල්වාදී මොඩලය මගින් ස්වෛරිත්ව මුදල් සැපයුම සීමා කිරීම යි. එබැවින්, මෙතෙක් රජයන් විසින් මෙහෙයවා ඇති මානව සංවර්ධනය ඉදිරියේ දී ආපස්සට හැරෙන බව පැහැදිළි ය.
සමස්තයක් ලෙස ගත් විට මෙම නව ආර්ථික විද්‍යාඥ විසාදිය තුළින් නූතන මානව ශිෂ්ටාචාරය දෙදරා යන බව කිව යුතු නැත. ඊට ප්‍රධාන හේතුව, සමාජීය ප්‍රමුඛතාවන්ට අනුව ආර්ථිකයන් මෙහෙයවීම සඳහා රජයන් මුහුණ දෙන උග්‍ර මුදල් හිඟය යි. නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන් හුදෙක් අයවැය හිඟය සහ ඒ ආශ්‍රිත මුදල් මුද්‍රණය මත ගොඩ නැගී ඇති බැවින් ඉහත දැක්වූ අයවැය අවකාශය සහ මුදල් අවකාශය ලෙස වෙන් කොට සීමා කිරීම යනු රජය සහ ආර්ථිකය ව්‍යුහාත්මක මුදල් හිඟයකට මුහුණ දීම යි. එබැවින්, නූතන වෙළෙඳපොළවල් විසින් අතීතයේ දී මෙන්, නව මුදල් සොයා ගැනීම හරහා මානව සංවර්ධනය සඳහා ක්‍රියා කරනු ඇත. එහෙත්, දේශපාලනික අස්ථායිතාවය ඊට දැඩි බාධකයක් වනු ඇත.
ආර්ථික විද්‍යාව යනු ආර්ථිකය තුළනය කොට ධාවනය කළ හැකි ගුවන් යානා විද්‍යාවක් නොවන බවත්, ආර්ථිකය යනු එසේ ආර්ථික විද්‍යාව මගින් අවශ්‍ය පරිදි තුළනය කළ හැකි ඒකකයක් නොවන බවත්, අවබෝධ නොවීමට හේතුව ආර්ථික විද්‍යාඥ විසාදිය යි.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)