ජනාධිපතිගේ නිදහස් දින ප්‍රකාශය ඊට පසුදාම පුස්සක් වෙලා – කරු ජයසූරිය

Date:

භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවටත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවතිය යුතු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් දින උත්සවයට සහභාගිවෙමින් ප්‍රකාශ කළ නමුත් ඊට පසුදාම එම ප්‍රකාශය පුස්සක් බවට පත්වන සිදුවීමක් සිදු වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අග රදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා සිදුකළ ප්‍රකාශයකට එකඟව අදහස් පළකළ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සිදුවීම හෙළා දකිමින් කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කරයි.

ජනපතිගේ නිදහස් දින කතාවට වෙනස්ව යමින් රහස් පොලීසිය ඊට පසුදාම ක්‍රියාකර ඇති ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිදුවිය හැක්කක් නොවේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අන්තර්ජාල මාධ්‍යයකට කළ ප්‍රකාශයකට එකඟව තම අදහස් ද එක්කර ඇති තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්ණ කරනු ලැබීම භාෂණයේ නිදහස රකින කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක අපේක්ෂා කළ නොහැකි තත්වයක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අදහසය.

මාධ්‍ය වාර්තා පළවන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ආකාරයට ප්‍රශ්ණ කිරීම සඳහා කැඳවා ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

රටේ රාජ්‍ය නායකයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස ද ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැතිය යුතු ජනතාවගේ අයිතිවාසිකම් තමන් විසින් තහවුරු කරඇති බව නැවත වතාවකදී ලොවටම ප්‍රකාශ කලේ පසුගිය 04 වනදා ජාතික නිදහස් දිනය සමරමිනි. එමෙන්ම එයට පෙර ඒ ආකාරයටම ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙතද එකී පොරොන්දුව ලබාදී තිබිණ.

වාර්තා වන අන්දමට සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයට සහය දක්වමින් අදහසක් පළකිරීම නිසා මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්ණ කරනු ලබන්නේ ඊට පසුවදාය. එනම් පෙබරවාරි මස 05 වනදාය.

මෙම සිදුවීම මඟින් වඩාත් පැහැදිලි වන්නේ රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ භාෂණයේ නිදහස කෙරෙහි රජයේම ප්‍රමුඛ පාර්ශවයක් දක්වා ඇති අවතක්සේරුව පමණක්ම නොවේ. රටේ රාජ්‍ය නායකයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තිමය තහවුරු කිරීමක් නොතකා හරින තරමට රාජ්‍ය යාන්ත්‍රණයේම ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බවය.
මෙවැනි තත්වයන් අපේක්ෂා කළ හැක්කේ අරාජික රාජ්‍යයක හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සාරධර්ම පවා නොතකා හරින අධිකාරීවාදී රාජ්‍යයක් වෙතින් පමණි.

මෙවැනි තත්වයන් හේතුවෙන් ජාතික වශයෙන් රටේ ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේම කෙලෙසීමට ලක් කරන අතර, අන්තර්ජාතික වශයෙන් රටේ ප්‍රතිරූපයට බරපතල ප්‍රතිවිපාක ඇති කරවයි. එවැනි තත්වයක් නිර්මාණයවීම රටටත් රටේ ජනතාවටත් බෙහෙවින්ම අනතුරුදායකය.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සියලු වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙවැනි ක්‍රියාමාර්ග ඉදිරියේදී හෝ සිදුනොවීමට සියලු පියවර ගන්නා ලෙසටය, රටේ ගෞරවය හා ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමට දැඩි ලෙස අවධානය යොමුකරවමින් කැපවන ලෙසටය.
 
දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. රිය පදවා ඇත්තේ සහායකයා

සටහන - රුවන් නෙළුගොල්ල බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ...

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...