දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලූලූ හා එක්ව ශ්‍රී ලාංකික නිෂ්පාදන හා ආහාර වෙළඳපොළක්  පවත්වයි

0
4186

කටාර් ජාතිකයන් සහ කටාර් රාජ්‍යයේ වෙසෙන විදේශිකයන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ අරමුණින්, “ශ්‍රී ලාංකික රස” සහ “ශ්‍රී ලංකා අත්යන්ත්‍ර සහ බතික් සාරි උළෙල” නමින් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කෙරෙන බහුවිධ ප්‍රවර්ධන වැඩසටහනක්, දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ලුලූ සමූහය සමඟ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරිණි. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මෆාස් මොහිදීන් මැතිතුමා, 2022 පෙබරවාරි 06 වැනි දින ලුලූ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ආචාර්ය මොහමඩ් අල්තාෆ් මුස්ලියාම් වීටිල් මහතා සමඟ එක්ව,  දෝහා හි ඩී- රින්ග් රෝඩ් හි  පිහිටි ලුලූ හයිපර්මාර්කට් හි දී මෙම දැවැන්ත උළෙල ආරම්භ කළේ ය. ආයතනික ප්‍රධානීන් සහ ව්‍යාපාරිකයන්, ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ හා සේවා ආනයනය කරන්නන්, මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ. මෙම වැඩසටහන 2022 පෙබරවාරි 12 වැනි දින තෙක් කටාර් හි ලුලූ හයිපර්මාර්කට් වෙළඳසැල් 17 තුළම ප්‍රදර්ශනය කෙරේ. ලුලූ ජාත්‍යන්තර සමූහය ආසියාව සතු විශාලතම සිල්ලර වෙළෙඳ ජාල අතරින් එකක් වන අතර, එය මැද පෙරදිග කලාපයේ විශාලතම සිල්ලර වෙළෙඳ ජාලය වේ.

සතියක් මුළුල්ලේ පැවැත්වෙන මෙම ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ ආහාර අලෙවි මධ්‍යස්ථානය මගින් විශේෂාකාරයෙන් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද නැවුම් එළවළු, පලතුරු වර්ග රැසක් ප්‍රවර්ධන මිල ගණන් යටතේ ලබා දෙන අතර, දේශීය සහ විදෙස්ගත පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී අත්දැකීමක් පිරිනමනු ලැබේ. මෙවර වැඩසටහනේ දී කුරුඳු සහිත කිතුල් පිටි, කල් තබාගත හැකි ආහාර ද්‍රව්‍ය, නියම කුළුබඩු, විවිධ වර්ගයේ බිස්කට් සහ රසකැවිලි වැනි නව නිෂ්පාදන සහ භාණ්ඩ රැසක් ප්‍රදර්ශනය කොට අලෙවි කරනු ලැබේ. පොල් ක්‍රීම්, පොල් කිරි සහ නිස්සාරණය කළ පොල්තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න කාබනික පොල් නිෂ්පාදන රැසක් සහන මිල ගණන් යටතේ ප්‍රදර්ශනය කෙරිණි. ශ්‍රී ලංකාවේ පිහිටි වගා බිම්වලින් ලබාගත් තේ මෙන්ම කහ, කැමමයිල් සහ අනෙකුත් ඖෂධ ඇතුළත් තේ නිෂ්පාදන රැසක් ද මෙහිදී අලෙවි කෙරිණි.

බ්‍රිතාන්‍ය, ලන්දේසි හා පෘතුගීසි යටත් විජිත පාලන සමයේ බලපෑම් සහ ඉන්දියානු (විශේෂයෙන් දකුණු ඉන්දීය) ආභාෂය සහිත සමස්ත-ආසියාතිකරයේ  බලපෑම් රැසක සම්මිශ්‍රණයකින් සුසැදි ශ්‍රී ලංකාවේ අද්විතීය සූපශාස්ත්‍රවේදය ජීවමාන කිරීම මෙම වැඩසටහනේ අරමුණ යි. සමාරම්භක උත්සවයේ දී විදහා දැක්වූ සැබෑ ශ්‍රී ලාංකික ආහාර වර්ග කෙරෙහි ආරාධිතයන් බොහෝ දෙනෙකු මහත් සෙයින් පැහැදුණ හ.

ශ්‍රී ලංකා අත්යන්ත්‍ර සහ බතික් සාරි උළෙල” මෙම දැවැන්ත වැඩසටහනෙ හි තවත් එක් ප්‍රධාන ආකර්ෂණයක් විය. මෙලෙස පවත්වන ලද ශ්‍රී ලංකා අත්යන්ත්‍ර සහ බතික් සාරි ප්‍රවර්ධනය කිරීමේ උළෙල, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ දී කටාර් රාජ්‍යයේ සිදු කළ සංචාරයේ සහ තානාපති මොහිදීන් මැතිතුමා ලුලූ සමූහය සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදි, බතික් සාරි සහ පරිසර හිතකාමී අත්කම් භාණ්ඩ රැසකින් මෙම කුටිය සමන්විත විය. තවද, අපනයන නිපැයුම් වර්ධනය කරගන්නා අතරතුර, භාවිතයට නොගත් විදේශීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා දේශීය අත්යන්ත්‍ර සහ බතික් නිෂ්පාදකයින්ට පහසුකම් සැලසීම මෙම මුලපිරීමේ අරමුණ විය.

කටාර් රාජ්‍යය තුළ වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අනාගත පියවරක් ලෙස සලකමින් මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා, තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවට පහසුකම් සපයන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here