අහම්බෙන් ගොඩ බැස්ස ජනපති හෙලිකොප්ටරය නිසා බුදුරුවගල සිසුන්ට ලැබුණු දේ

0
237

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අධ්‍යාපනය තුළ සිදු කිරීමට ගිය වෙනස සම්පූර්ණ කළ හැකි වූවා නම් මේ වන විට විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති ‍තෙන්නකෝන් මහතා පැවසීය.

පසුගිය 09 වෙනිදා මොනරාගල බුදුරුවගල මහා විද්‍යාල‍යට සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් රජිත් කීර්ති මහතා ඒ බව ප්‍රකාශ කළේය.

මෙම සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ උත්සවය සංවිධානය වී තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පාසලේ සිසුන්ගෙන් ලද ඉල්ලීමකට දුන් පොරොන්දුවක් අනුවය.

සිසුන් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් 03 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොනරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගණයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදීය.

සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රජිත් කීර්ති ‍තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය.

“මෙරට අධ්‍යාපනය වෙනස් මාර්ගයකට යොමු කළ අධ්‍යාපන ධවල පත්‍රිකාව කියන ප්‍රතිපත්තිය ගෙන එනු ලැබුවේ අප පාසල් යන කාලයේ දීයි. මේ කාලයේදී වගේම ඒ අවස්ථාවේදීත් ඊට ‍විශාල විරෝධයක් රට තුළින් පැන නැඟුණා. අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සඳහන් වූ දේ සිදු කළ නොහැකි වුණා. එසේත් නොමැති නම් එහි තිබූ දේ අඩක් පමණයි කළ හැකි වුණේ. එදා අධ්‍යාපන අමාත්‍යවරයා වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනය තුළ සිදු කිරීමට ගිය වෙනස සම්පූර්ණ කළ හැකි වූවා නම් මේ වන විට මීට වඩා විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වන බව එදා අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව ගිය පෙළපාළිවලට නායකත්වය දීමට සිදු වූ මට අද අවබෝධ වෙනවා.”

වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. ජේ. සුසිල් විජේතිලක, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කේ. කේ රවින්ද්‍රා මාලනී, වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්යය විෂය සම්බන්ධීකරණ නිලධාරි වසන්තා රෝහිණි දිසානායක, මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. යූ. බී හේරත් යන මහත්ම මහත්මීන් , ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

බාසුරු ජයවර්ධන