*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අනුර බණ්ඩාරනායක – මහපොළව උරාගත් ඉහිරුණු මීවිත ….

දිවංගත හිටපු අමාත්‍ය අනුර බණ්ඩාරනායක මහතාගේ 73 වැනි ජන්මදින සමරුව අදට (15) යෙදී තිබේ. මේ සටහන අද බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇති ඒ මහතා සිහිකිරීම වෙනුවෙනි.


බැඩ්මන් වීරකෝන්ගේ ‘අරලියගහ මන්දිරයේ හෘදස්පන්දනය’ (Rendering Unto Caesar: A Fascinating Story of One Man’s Tenure under Nine Prime Ministers and Presidents of Sri Lanka) නම් චරිතාපදානයෙහි එක්දහස් නවසිය පනස් ගණන්වල මැද භාගයේ අනුර බණ්ඩාරනායකගේ ළමා කාලය පිළිබඳ කතාවක් සටහන්ව තිබේ. එය මෙසේය. ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි වූ අනුර සමඟ සෙල්ලම් කිරීමට ගමෙන් කොළුගැටයෙකු වලව්වට කැඳවාගෙන විත් තිබිණි. දිනක් අනුර සිය අගමැති තාත්තාට පැමිණිළි කළේ ගමෙන් පැමිණි කොළුගැටයා තමන්ට ක්‍රිකට් දිනන්නට අවස්ථාව නොදෙන බව කියමිනි. අගමැති බණ්ඩාරනායක මෙම කුඩා කොළුවා කැඳවමින් කියා තිබුණේ ‘කොල්ලෝ උඹ ගෙනාවේ බේබිට දිනන්න මිසක් උඹට දිනන්න නෙවෙයි. බේබිට දිනන්න සෙල්ලං කරන එක තමයි උඹේ වගකීම’ කියා ය. කුඩා කල ලැබුණු මෙම වැරදි පූර්වාදර්ශය ආසියාවේ රිදී සීනුවෙහි ඔටුන්න හිමි කුමරා වූ අනුර බණ්ඩාරනායක මහතාට ඒ ඔටුන්න අහිමි කිරීමටත්, රටේ දේශපාලනයට ලිබරල් දේශපාලන දර්ශනයක් සහිත නායකයෙකු අහිමි කිරීමටත් සමත් විය.

අනුර බන්ඩාරනායක පිළිබඳ කියවීම හා ඔහුගේ දේශපාලන මැදිහත් වීම අද වන විට බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇත. නමුත් ඉතිහාසය තුළ ඔහු කළ කී දෑ පිළිබඳව, තීරණාත්මක මැදිහත්වීම් පිළිබඳ සාකච්ජාව අදටද වලංගුය. සැබැවින්ම ඔහු මහත්මා දේශපාලනයෙහි අමතක කළ නොහැකි චරිතයකි.

අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායක 1949 වසරේ පෙබරවාරි 15වන දින උපත ලැබීය. ඔහු, දෙස් විදෙස් පතල එස්.ඩබිලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ හා ලොව පළමු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ එකම පුත්‍රයා විය. වචනයේ පරිසමාප්තයෙන්ම ඔහුට අනාගතයේ රාජ්‍ය නායකත්වය ලැබනු ඇතැයි සියලුම දෙනා අපේක්ෂා කළමුත් දයාබර මානව හිතතාදී නායකයෙකු වූ අනුර කිසිදුවිටෙක් දේශපාලනය තුළ ඊට අනන්‍ය පරිදි සට කපට නොවීය. ඔහු සැබවින්ම ප්‍රගතශීලී නායකයෙකු විය.

අනුර බණ්ඩාරනායක මහතා රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හමාර කොට ලොව ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඉතිහාසය පිළිබඳ පළමු පෙළේ ගෞරව උපාධිය දිනා ගත්තේය.

පසුව පෙරළා සිය පවුලේ දේශපාලන ගමනට උර දෙන්නට පැමිණි ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියේ සිට ජාතික මට්ටම දක්වා සියලූම අංශ විධිමත්ව ශක්තිමත් කරමින් සිය නායකත්වය ලබා දෙන්නට විය.

1977 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයක් ලබද්දී තරුණ මන්ත්‍රිවරයෙකු වශයෙන් ඔහු නුවර එළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය බහු ආසනයේ ජන්ද 49000කට අධික ජන්ද ප්‍රමාණයක් දිනා ගනිමින් තොන්ඩමන් නම් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා දෙවැනියා කරමින් පාර්ලිමේන්තුවට වැඩි ජන්දයෙන් තේරී පත්විය. දමිළ වතු කම්කරුවන් බහුතරයක් සිටින මස්කෙළිය ආසනයෙන් ඉන්පසු කිසිදු දිනක එවැනි ජයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොලැබිණි. එමෙන්ම 2008 මාර්තු 16 වනදා අභාවප්‍රාප්ත වෙන තෙක්ම ඔහු අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

සිය දේශපාලන මතය වෙනුවෙන් නිරන්තරව පෙනී සිටි ඔහු 1977 පරාජයේ තුවාල කැළැල් මැකී යන්නත් ප්‍රථම පක්ෂයේ පැරණි නායකයින් කිහිපදෙනෙකු හා ගැටුමක් ඇතිකරගත් අතර මෛත්‍රිපාල සේනානායක ප්‍රමුඛ මෛත්‍රී පිළ නිදහස් පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමත් සමඟ මෙ‌ම අරගලය අධිකරණය තෙක් විහිඳුනු ගැටුමක් බවට පත්විය.

1983 නොවැම්බර් මස 08 වන දින සිට 1988 දෙසැම්බර් 20 දක්වා ඔහු විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේතුව තුළ ක්‍රියාකාරී විය. ජනතාවටත්, දේශපාලන ක්‍රියාකාරීන්ටත් අවංක හැඟීමක් සහිතව ඔහු සිය දේශපාලන කටයුතු කළේය. එවකට අනුර බණ්ඩාරනායකයන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සිටි ළාබාලම විපක්ෂ නායකයා ද විය.

පසුව අනුර – සිරිමා පක්ෂ අභ්‍යන්තර ගැටුමේ ප්‍රථිපලයක් ලෙස මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංගගේ දේශපාලන පුනරාගමනයත් සමඟ ඔහු 1951 දී සිය පියා අත්හැර පැමිණි පක්ෂය හෙවත් එක්සත් ජාතික පක්ෂයට 1993 වසරේදී එක්වීය.

ඉන් අනතුරුව ඔහු 2000 ඔක්තෝබර් – 2001 ඔක්තෝබර් කාල සීමාවෙහි රටෙහි ව්‍යවස්ථාදායකය හොබවන පාර්ලිමේන්තුවේ කථානායක තනතුර හෙබවීය. ඔහු පක්ෂ භේදයකින් තොරව සිය තනතුර හෙබවූ කීර්තිමත් කථානායකවරයෙකු විය.

අනතුරුව 2001 වසරේදී යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ඔහු 2004 – 2008 කාල සීමාව තුළ විදේශ කටයුතු, උසස් අධ්‍යාපන, සංචාරක, සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යධූර ද දැරීය. 2004 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව බිහි කළ සන්ධානය නිර්මාණය කිරීමේදී ද අනුර බණ්ඩාරනායක ඉදිරි පෙළ කාර්යභාරයක් ඉටු කළේය.

2007 පෙබරවාරි මාසයේදී මංගල සමරවීර සහ ශ්‍රීපති සූරිය ආරච්චි සමග අමාත්‍ය ධුරයෙන් නෙරපා හරින ලද නමුත් ඔහු කෙටි කලක් තුළ නැවත රාජපක්ෂ රජයෙන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ධුරය ලබාගත් අතර 2007 දෙසැම්බර් මාසයේදී යළිත් විපක්ෂයට එක්විය. වසර කිහිපයක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි අනුර බණ්ඩාරනායක මහතා 2008 මාර්තු 16 වනදා විසුම්පායේදී අභාවප්‍රාප්ත විය.

අනුර බණ්ඩාරනායක යනු නිරන්තරයෙන් සිය තනතුර ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද කැප කරනු ලැබූ දේශපාලනඥයෙකි. ඔහු පාර්ලිමේන්තුව අතිශය චතුර කථිකයෙකු විය. ඔහුගේ දේශන හර බර විය. සිය දේශන සකසා ගනු ලැබුවේ ඔහු විසින්මය. එතුමා සිය කතාවක් අවසන් කරන්නේ සම්භාවනීය බටහිර ලේඛකයකුගේ කවියක් ‍හෝ වැකියක් සිය කතාවට අපූරුවට ගළපා ගනිමින්ය. විලියම් ශේක්ස්පියර්, ටී. එස්. එලියට් වැනි බටහිර කවීන්ගේ නිර්මාණ අධ්‍යයනයෙන් ලද පරිචය එයට හේතු විය. දේශීය හා විදේශීය නිර්මාණකරුවන්ගේ නිර්මාණ රස විඳීමත් ඒවා අන්තරග්‍රහණය කර ගැනීමේ සහජ කෞෂල්‍යයත් ඔහුගේ දේශන තුළින් මනාව පෙනෙන්නට තිබිණී.

ඔහු සිය දේශපාලන ජීවිතය තුළ කිසි විටෙක ආගම්වාදී හෝ ජාතිවාදී නොවූ අතර ඔහු සියලුම ආගම් වලට ගෞරව කළ පුද්ගලයෙක් මෙන්ම කිසිවකුට ආගම හෝ ජාතිය මත පදනම්ව පහර නොගැසූ පුද්ගලයෙකු ද වූයේය.

අනුර බණ්ඩාරනායක සැබැවින්ම දේශීය හා විදේශීය පොත පතට තදින් ඇලුම් කළ අයෙකු විය. ඉතිහාසය, සාහිත්‍ය, දේශපාලන දර්ශනය හා ආර්ථික දර්ශනය පිළිබඳව අපමණ දැනුමක් ඔහු සතු විය. ඔහුට සමකළ හැකිඅය ආණ්ඩුවේ සිටියේ බොහෝ අල්ප පිරිසක් පමණි. අනුර බණ්ඩාරනායකයන් හැදී වැඩුණේ කලබලකාරී අවිවේකී පරිසරයක වුවත් පොත පත කියවීම, කවි නිර්මාණය හා කියවීම, නවකතා පරිශීලනය, විදෙස් සම්භාවනීය චිත්‍රපට හා නාට්‍ය නැරඹීම යනාදිය නොකඩවා කළේය. මේ හේතූන් නිසාම විවිධ විෂයන් පිළිබඳ පෘථුල කියවීමක් ඔහු සතු විය.

‘කාටුන්වල මගෙ රූපය හරියටම අඳින්නෙ ඔබතුමා පමණයි. හෙට මාත් එක්ක කෑමකට එන්න ඕනැ’ යැයි කියමින් අනුර බණ්ඩාරනායක වරක් කාටුන් ශිල්පී ඩබ්ලිව්.ආර්. විජේසෝමට දහවල් ආහාරයකට ආරාධනා කර තිබිණි. ඔහු මිනිසුන් සමග පවත්වාගෙන ගියේ එවැනි සම්බන්ධතාවයකි. ඉතාම නිහතමානී දේශපාලනඥයෙකු වූ ඔහු පරම්පරාවෙන් තමන්ට හිමිවූ ඉඩකඩම් පවා තමන්ට සේවය කළ සමීපතම සේවකයන්ට පවරා දුන්නේය.

රටේ පොදු ජන සම්මතයට හා සහජීවනයට විරුද්ධ වූ ආගමික හා භාෂාමය මුහුණුවර රටේ සංහිඳියාව වෙනුවෙන් පෙරට ගෙන එමින් ලෝකයේ ආර්ථීක සුළං හමන දිශාවට රට ගෙන යාමට මෙන්ම දුගීබවට හා ආර්ථික අර්බුදයන්ට අවංකවම වගකීමෙන් පිළිතුරු සොයමින් මහත්මා දේශපාලන ව්‍යාපාරයක් වටා ජනතාව රැස් කිරීමට ඔහු උත්සහ දැරීය.

අනුර බණ්ඩාරනායක චරිතය බැහැර කරමින් අපට පසුගිය දශක කිහිපයක ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය කියවීමට නොහැක. ඔහුගේ විවිධාකාර දේශපාලන හැලහැප්පීම්වල ප්‍රතිඵල කවරාකාර වුවත් ඒ හැම තැනකදීම ඔහු තීරණාත්මක චරිතයක් විය. ඔහුටම අනන්‍ය වූ ඔහුගේ ජීවිතය සාර්ථකද, අසාර්ථකද යන්න තීරණය කිරීම අපට කළ හැකි හෝ අපට අයිති කාර්යයක් නොවේ. කෙසේවෙතත් අනුර බණ්ඩාරනායක යනු සුළුවෙන් අමතක කර දැමිය හැකි හෝ එසේ කළයුතු චරිතයක් නම් නොවේ.

දේශපාලන විචාරකයින් පවසන ආකාරයට අනුර බණ්ඩාරනායක යනු ශ්‍රී ලංකාවට අහිමි වුණු හොඳම අගමැතිවරයා ය.

  • සශිකලා මධුෂාණි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan