2025 අයවැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩගේ ප්‍රධානත්වයෙන්, අද (18) දින උදෑසන නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේදී පැවැත් වූ බව සඳහන් වේ.
එහිදී පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්,
” 2025 අයවැය ඉදිරිපත් කිරීමට අනුර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙද්දී ඔහු සම්ප්‍රදායික රහස් පෙට්ටියේ වෙනුවට පන් වලින් තැනු කවරයක එම ලේඛනය ගෙන ආ බව අද පුවත්පත් වාර්තා කර තිබෙනවා. ඇත්තටම ඔහුට රහස් පෙට්ටියක බහා රැගෙන එන්න තරම් රහසක් අයවැයේ නැහැ. ඔහු ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ඉදිරිපත් කර තිබෙන කප්පාදු වැඩසටහන. ඒ වගේම ඔහු ඉදිරිපත් කළේ අවසන් අවුරුදු දෙක තුන තුළ රනිල් වික්‍රමසිංහගේ පාලනය ඉදිරිපත් කළ වැඩපිළිවෙල. 2023 සහ 2024 අයවැය කතා සිදු කිරීමේදී රනිල් වික්‍රමසිංහගේ තොල්, දිව, උගුර සහ ස්වරාලය භාවිතා වුණාට එහි හඬ අයි. එම්. එෆ්. එක ඇතුළු අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධාන වල හඬ. ඊයේ පාර්ලිමේන්තුවේ ඇසුණු හඬ සඳහා අනුර දිසානායකගේ තොල්, දිව, උගුර සහ ස්වරාලය භාවිතා වුණාට ඒ කියැවුණු අදහස් අයි. එම්. එෆ්. එක ඇතුළු අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධාන වල සහ රනිල් වික්‍රමසිංහගේ අදහස්. රනිල් නැතිව රනිල්ගේ වැඩපිළිවෙල ඉදිරියට යමින් තිබෙනවා.
එංගලන්තයේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ දියත් කළ අගමැතිනිය වන මාග්‍රට් තැචර්ගෙන් ඇය මහලු වී විශ්‍රාම ගිය පසුව මාධ්‍යවේදියෙකු අසා තිබුණා ඔබේ දේශපාලන ජීවිතයේ ජයග්‍රහණය කුමක්ද කියලා. එහිදී ඇය තමන්ගේ ජයග්‍රහණය කියලා කියා තිබුණේ ටෝනි බ්ලෙයාර් සහ බ්ලෙයාර්වාදය කියලා. එදා 1980 දශකය මුල තැචර් එංගලන්තය නව ලිබරල් මාවතේ ගෙන යද්දී ඊට එරෙහි ප්‍රමුඛ විවේචකයා වුණේ, එයට එරෙහිව ජනතාව සමග සටන් කළේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය. නමුත් පසුව ටෝනි බ්ලෙයාර්ගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය නව ලිබරල් වැඩපිළිවෙල වැළඳ ගත්තා. මාග්‍රට් තැචර් කියන්නේ තමන්ගේ ලොකුම ජයග්‍රහණය තම නව ලිබරල් අදහස් කම්කරු පක්ෂයේ නායකයන්ගේ මුවෙන් කියවා ගැනීමට සමත් වීම බව.
දෛවෝපගතව ලංකාවේ එයම සිදු වුණා. ඊයේ ලංකාවේ නව ලිබරල් ධනවාදයේ අනුග්‍රාහකයෙකු සහ අයි. එම්. එෆ්. ඉත්තෙකු වන හර්ෂ ද සිල්වා කියනවා අනුර දිසානායකගේ අයවැය කතාව ඔවුන්ගේ ජයග්‍රහණයක් කියලා. 1978දී එජාප ආණ්ඩුව නව ලිබරල් වැඩපිළිවෙල දියත් කරද්දී එයට එරෙහිව සටන් වැදුණු එහි ප්‍රබලම විවේචකයෙකු වූ ජනතා විමුක්ති පෙරමුනී නායකයාගේ මුවෙන් රනිල්ගේ වැඩපිලිවෙලම කියවා ගැනීමට ලැබීම ඔවුන්ගේ ජයග්‍රහණයක් තමයි. ඒ අතර අද දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබෙනවා ඇඩ්වකාටා සභාපති මුර්ටාසා ජැෆර්ජි කිව්වා කියලා මේ අයවැය ධනපතියන්ට හිතකාමී අයවැයක්, ඔවුන් ඒ ගැන සතුටු වෙනවා කියලා. ඇඩ්වකාටා කියන්නේ යූ. එස්. ඒඩ් අරමුදල් භාවිතා කරමින් නව ලිබරල් වැඩපිළිවෙල සහ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ වැඩපිළිවෙල මතවාදීව තහවුරු කිරීමට ක්‍රියාත්මක වන සංවිධානයක්. මේ අයවැය ගැන ගුණ ගායනා කරන අයගෙන් අපට සිදුවන දේ වටහා ගන්න පුළුවන්.
සිය අයවැය කතාවේදී අනුර දිසානායක ජනාධිපතිවරයා රනිල්ගේ පාලනය ගැන කියනවා. ඔහු දූෂිතයන් ආරක්ෂා කිරීම, දූෂණය ඉදිරියට ගෙනයාම, ප්‍රජාතන්ත්‍රවාදය හැකිලවීම වගේ බොහෝ කරුණු කියනවා. ඒත් රනිල් වික්‍රමසිංහ අයි. එම්. එෆ්. සමග එක්ව ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කළ විනාශකාරී නව ලිබරල් ප්‍රතිසංස්කරණ වලට ප්‍රවේශ වූ බව කියන්න අමතක වෙනවා. ජනතාව මත බදු බර පැටවූ ආකාරය කියන්න අමතක වෙනවා. අමතක වෙනවා නෙවෙයි, ඔහුට ඒවා කියන්න බෑ. වත්මන් ජනාධිපතිවරයා ඊට වෙනස් දෙයක් මේ අයවැයේදී නොකියන නිසා. ඒ වගේම ජනතාව විඳින පීඩාවේ සහ දරිද්‍රතාව ඉහල යාමේ හේතුව ආර්ථික අර්බුදය බව ඔහු කියනවා. එහෙත් ආර්ථික අර්බුදයට විසඳුම් දෙන මුවාවෙන් අර්බුදයේ බර ධනපතියන්ගේ කර පිටින් ඉවත් කරලා ජනතාව මත පැටවූ ප්‍රතිගාමී වැඩපිළිවෙල විසින් පීඩාව උත්සන්න කළ විදිය කියන්නේ නැහැ. අනුර දිසානායක කියන්නේ දැන් ආර්ථිකය ස්ථාවර වී ඇති බව. ආර්ථිකය ස්ථාවර කළේ ඔහු වෙන්න බෑනේ, මේ ආණ්ඩුවට තවමත් මාස කිහිපයයි. අනුර මේ ප්‍රශස්ති ගයන්නේ රනිල්ට.
රනිල්ගේ ජනතා විරෝධී වැඩපිළිවෙලට. අපි අභියෝග කරනවා ආර්ථිකය ස්ථාවර වී ඇත්තේ කෙසේදැයි ඔප්ප්පු කරන ලෙස. ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් ජනාධිපතිවරයා කියන්නේ අසත්‍ය හා එකිනෙකට පරස්පර කරුණු. මුලින් කියනවා රනිල් තරමක් දුර ඇවිත් තිබුණු නිසා එම වැඩපිළිවෙලේම යනවා හැර විකල්පයක් තිබුණේ නෑ කියලා. එය වැරදියි. විකල්ප තිබුණා. ඊට පසු නැවත පරස්පර ලෙස කියනවා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල හරහා විශාල වාසියක් ලැබුණු බව. එය කරුණක් ලෙසත් වැරදියි, අනෙක මුලින් කියූ දෙයට පරස්පරයි. ඉන් පසුව කියනවා ණය ගත්තානම් ගෙවිය යුතුයි කියලා. ඒ කියන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා දෙයක් නැද්ද? ජාතික ජන බලවේගයමයි මැතිවරණ වේදිකා වල කිව්වේ ගත්ත ණය රාජපක්ෂලා හොරකම් කරලා, ඒවා ගෙවන්න ජනතාවට බැඳීමක් නෑ කියලා. විකල්ප ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා සාකච්ඡා කරනවා කියලා මැතිවරණ ප්‍රකාශනයේත් ලිව්වා. දැන් වෙන දෙයක් කියනවා.
අයවැය වැඩසටහන අයි. එම්. එෆ්. එකට අවශ්‍ය ලෙස ලංකාවේ ආර්ථිකය විනාශ කරන සහ ජනතාව කබලෙන් ලිපට ඇද දමන වැඩසටහනක්. රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරීත්වය ර්රටේ නීතියක් බවට පත් කිරීම, අයි. එම්. එෆ්. කප්පාදු කොන්දේසි රටේ නීතිය බවට පත්කළ ආර්ථික පරිවර්තන පනත – රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත – රාජ්‍ය ණය කළමනාකරණ පනත – මහ බැංකු පනත ආදිය අහෝසි නොකර ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ව්‍යවසායන් සියල්ලේ පරිපාලනය පෞද්ගලික අංශයට පවරන හෝල්ඩින් සමාගමක් පිහිටුවීමේ රනිල් 2015දී උත්සාහ කළ තමසෙක් ආකෘතිය රටේ නීතියක් බවට පත් කිරීම, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයාගේ ආරක්ෂාවට පනවා ඇති තීරු බදු නීති වෙනස් කර – නිදහස් වෙළඳ ගිවිසුම් හරහා ජාත්‍යන්තර වෙළඳාම ලිබරල්කරණය, විදුලි බල මණ්ඩලය මස් කර කැබලි කැබලි විකුණන ඊනියා අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගතකරණය, 1998දී චන්ද්‍රිකා කළාක් මෙන් ඌන උපයෝජිත ලේබලය ගසා රජයට අයත් වැවිලි ඉඩම් ගජමිතුරු ජාවාරම්කාරයන් සතු කිරීම, මෙතෙක් ආරක්ෂා කරගෙන සිටි ඛණිජ සම්පත් සහ සාගර සම්පත් කොල්ල කෑමට බහුජාතික සමාගම් වලට දොර විවෘත කිරීම, ජේ. ආර්. පවා කිරීමට පැකිළුණු ලංකාවේ සාමාන්‍ය නීති බල නොපවත්නා විශේෂ නිදහස් වෙළඳ කලාප සහ ආර්ථික කලාප පිහිටුවීමට පෞද්ගලික ධනපතියන්ට ඉඩ දීම, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හැට ගණනක් ඉන්දියාවට දෙන ඊනියා ඒකාබද්ධ සමාගම් ව්‍යාපෘතිය ආදී රනිල්ට කළ නොහැකි වූ සියලු ප්‍රතිගාමී දේවල් සඳහා අනුර දිසානායක සිය අයවැය කතාවේදී කරුණු කියනවා. මේ සිදු වන්නේ ර්රනිල් හරහා ක්‍රියාත්මක වූ අතිශය ප්‍රතිගාමී වැඩපිළිවෙලේ ඉතිරි කොටස වාමාංශික සුදුහුණු සහිතව අනුර හරහා ක්‍රියාත්මක කරවීම.
ඒ අතර ජනතාවට සහන දී ඇතැයි ඝෝෂා කරනවා. ඉස්සර වධකාගාර වල එල්ලා පහර දෙමින් වධ හිංසා කරන විට සිහිය නැති වුණොත් පහලට ගෙන, වතුර බොන්නට දී, පැරසිටමෝල් දෙකකුත් දෙනවා. ඊට පස්සේ නැවත ගහනවා. මේ අයවැයත් ඒ වගේ. වැඩකරන පන්තිය ප්‍රමුඛ සමාජයේ පහල ස්ථර වලට උඩ එල්ලා පහර දෙන ගමන්, නියපොතු ගලවන ගමන් වරින් වර වතුර ටිකක් දෙනවා වගේ පොඩි පොඩි සහන දෙනවා. මේ අර්බුදයේ තරමට ඒවායෙන් කිසිම තේරුමක් නෑ. ජීවන වියදම සඳහා කිසිදු උත්තරයක් නෑ. වධකාගාර වලදී සිහිය නැතිවූ පසු වතුර ටිකක් දෙනවාට අප සහන ලැබුණායැයි නොකියන බවත් වතුර උගුර ගැන වධකයාට ස්තුතිවන්ත නොවන බවත් ජවිපෙ සහෝදර සහෝදරියන් හොඳට දන්නවා ඇති. අරයට 5000යි, මෙයාට 7500යි වගේ තෑගී බෙදීම් වෙනුවට සංවාදය මෙවර අයවැයේ මූලික ප්‍රතිපත්තිමය පදනම කරා ගෙන යා යුතුයි. ඒ වගේම මේ වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා ජනතාව සංවිධානය විය යුතුයි.
