*
Monday, May 6, 2024
spot_img

Latest Posts

මහානායක හිමිවරුන් රට රැකගන්න සටනට – රනිල් තවත් කල් ගනී – ධම්මිකගෙන් ප්‍රයෝගික වැඩපිළිවෙලක් – ඉන්ධන සීයකින් පහලට? රජයේ සේවක සැමට තිස් පන්දාහක් වැඩිවෙයිද ? සජිත් ගොඩ වැඩිකර ගනී – මෛත්‍රී ඇමරිකාවේ කරපු දේ

  • මහානායක හිමිවරුන් රට රැකගන්න සටනට
  • රනිල් තවත් කල් ගනී
  • ධම්මිකගෙන් ප්‍රයෝගික වැඩපිළිවෙලක්
  • ඉන්ධන සීයකින් පහලට?
  • රජයේ සේවක සැමට තිස් පන්දාහක් වැඩිවෙයි ද?
  • සජිත් ගොඩ වැඩිකර ගනී
  • මෛත්‍රී ඇමරිකාවේ කරපු දේ

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): මැතිවරණ නිසා දේශපාලන ලෝකය උණුසුම් වුවද තවමත්  රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් කිසිවෙකුටත් නොමැත. ඒ තරමටම තත්වය එන්නම ව්‍යාකූලය. ඇතැම් කැබිනට් ඇමතිවරු පවා තවමත් සිතා  සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීම තවමත් විශ්වාස නැති බවය. ඒ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තවමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකිරීම නිසාය. එම නිසා සියලු පාර්ශව සමග දේශපාලන සන්ධාන සඳහා සාකච්ඡා කරන්නට බොහෝ ඇමතිවරුන් කටයුතු කර තිබේ. ඒ කෙසේ වෙතත් මහල් නිවාස වල කුලී ඉවත් කිරීම හා අයිතිය ලබාදීම  , ඉඩම් වල සින්නක්කර අයිතිය ලබාදීම , අස්වැසුම තවදුරටත් පුළුල් කිරීම අදින් පැහැදිලිව පෙනීයන්නේ ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට සුදානම්වීම මිස වෙනකක් නොවේ. එසේම IMF මීළඟ වාරිකය , ණය හිමියන් ණය කොටස් කපා හැරීම ආදිය හරහා ඩොලරයේ අගය අඩුවීම මත විශාල ප්‍රමාණ වලින් බඩු  මිල අඩු කිරීමට කටයුතු කර අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්දට පෙර විශාල සහන පැකේජයක් ලබාදී මැතිවරණයකට යාමේ සුදානමක් ගැනද කියවේ. එසේම ඉන්ධන මිල රුපියල් සියයකට වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමේ සුදානමක් ගැනද කියවේ.

ඒ අතරේ සමගි ජන බලවේගය කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයට  එක්කර ගැනීමටත් එසේ නොවුනහොත් එයින් කොටසක් හෝ එක්කර ගැනීමටද ජනාධිපතිවරයා උත්සාහ ගනු ඇත. ඒ සියල්ල අතරේ දේශපාලන තත්වය තවදුරටත් ව්‍යාකූල වන්නේ නම් හදිසි මහා මැතිවරණයක් පවත්වා දේශපාලන බලය මැන බැලීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමටද ඉඩකඩ තිබේ.

මහනායක හිමිවරුන්ගේ විරෝධය

මේ අතර රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවත් රටත් ජනතාවත් රටේ ආරක්ෂාවත් ගැන සිතා කටයුතු කරන ලෙසත් දැනුම් දෙමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත ලිපියක් යොමුකර තිබේ. මෙය තීරණාත්මක ලිපියක් වන අතර රටේ ප්‍රධානතම රාජ්‍ය ආයතන විකිණීම සඳහා සුදානම් කර ඇති මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් මැදිහත්වීම අතිශය වැදගත්ය. එය මෙතෙක් කිසිදා සිදු නොවූ දෙයක් වන අතර එම උපදෙස් වලට පටහැනිව කටයුතු කළහොත් එය මේ මොහොතේ මැතිවරණ වලදී අතිශය තීරණාත්මක වනු ඇත.

                                       

එජාප මැතිවරණ මෙහෙයුම් මාර්තු සිට

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල මාර්තු පළමුවැනිදා සිට වඩා සක්‍රීයව ක්‍රියාවට නැවීමට යෝජිතය.එහි කටයුතු නායකත්ව මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.  එහිදී නව පොදු සන්ධානයට පක්ෂ එක්කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම රවී කරුණානායකට පැවරී තිබේ. නව සන්ධානයේ ලකුණ තවමත් අවසන් වශයෙන් තීරණය කර නොමැත. ජනතාවට සහන ලබා දෙන අතර සැබෑ මහජන ප්‍රශ්න වලට විසඳුම් සොයන වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂය විසින් අප්‍රේල් මාසයේදී පමණ එළිදැක්වීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සක්‍රියව ජනාධිපතිවරණ සටනට පොදු අපේක්ෂකයා ලෙස කලඑළි බැසීමට නියමිතව ඇත්තේ  අප්‍රේල් මාසයේය.

 

නාමල් ගේ තීරණය

මේ අතරේ පොහොට්ටුවේ තීරණය මත බොහෝ දේ තීරණය වන්නටද ඉඩ තිබේ. දැනට දැන ගන්නට ඇති පරිදි පොහොට්ටුවේ නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන දෙදෙනාගේම අදහස ඉදිරි අවුරුදු පහක කාලයද රනිල් වික්‍රමසිංහ සමග එක්ව ගමන් කිරීමය. එහෙත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිටින්නේ පොහොට්ටුව තනිව ගමන් කල යුතුය යන මතයේය. එසේම ඔහුගේ අදහස මීළඟ විපක්ෂනායක ධුරය හිමි කර ගෙන මීලග වසර පහ තුල ශක්තිමත් පදනමක් නිර්මාණය කර ගැනීමය. ඒ සඳහා ඔහු තමන්ගේම ගමනක් නිර්මාණය කර ගනිමින් මේ වන විට රට පුරා යාම ආරම්භ කර තිබේ. එහෙත් පොහොට්ටුව තවමත් අවසන් තීරණයක් ගෙන නැත. බැසිල් රාජපක්ෂ තවමත් සිටින්නේ ඇමරිකාවේය. එම නිසා ඔහු නැවත පැමිණි පසු මේ තත්වය කවර පැත්තකට ගමන් කරාවිදැයි කිව නොහැක.
කෙසේ වෙතත් නාමල් තරුණ නායකයෙකු නිසා පොහොට්ටුවේ අනාගත බලය ඔහු වටා ගොඩ නැගෙන අතරම ඔහු තම අනාගත දේශපාලනය ගැන සිතා යම්යම් රැඩිකල් තීරණ ගනු ඇත.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානතම ප්‍රශ්නය

මේ අතර දැනට ප්‍රධාන පක්ෂ නියෝජනය නොකරන හා  ප්‍රධාන පක්ෂ වලින් විවිධ හේතුමත  ඉවත්වූ  මන්ත්‍රීවරු සියලු දෙනාම පාහේ මේ වන විට මීළඟ මහා මැතිවරණයකදී කවර පක්ෂයකින් පාර්ලිමේන්තුවට නැවත පිවිසින්නේදැයි  වික්ෂිප්තව සිටිති. මේ සියලු දෙනා එක්වනු ඇත්තේ පහසුවෙන් පාර්ලිමේන්තුවට යාමට හැකි හා ජයග්‍රහණයෙන් පසු හොඳම ඇමතිකම් ලබා දෙන පාර්ශව සමගය. මේ අතරේ ජනාධිපතිවරයාට ඉතාම සමීපව සිටින පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු පිරිස මේ වන විට පොහොට්ටුව වෙත රැඳෙන්නේ ද එසේ නැතිනම් ජනාධිපතිවරයා සමග වෙනම ගමනක් යන්නේද යන්න සලකා බලමින් සිටිති.මේ පිරිස අතරින් බොහෝ දෙනෙකු පිය පාර්ශවයෙන් හෝ පවුල් බලයෙන් දේශපාලනයට පැමිණි පිරිස්ය. ඔවුන් උපන්දා සිට විවේචනය කල දේශපාලන පක්ෂයවූ එක්සත් ජාතික පක්ෂය සමග දැන් යන ගමන ඔවුන්ගේ ඡන්ද දායකයන් පිළිගනීද යන්න කිව නොහැක. විශේෂයෙන්ම ඔවුන් විසින් විවේචනය කල එජාපයට හා රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන්නට යැයි ඔවුන් අද කිව්වත් ශ්‍රීලනිප හෝ පොහොට්ටු ඡන්ද දායකයා එය පිලි ගනීවිදැයි යන්නද සැක සහිතය.

මේ අතර වර්තමාන රජයේ පොහොට්ටුවේ ඇමතිවරු තමන්ගේ ඇමති ධුර භුක්ති විඳිමින් සිටිති. එම නිසා ඔවුන්ට ඉදිරි මාස කීපය තුලද මේ ඇමතිධුර තබා ගැනීමට අවශ්‍ය නිසා ජනාධිපතිවරයා සමග ගමනක් යාමට සිදුවේ. එහෙත් අවසන් මොහොතේ මේ වැඩිදෙනෙක් තත්වය බලා තීරණයක් ගනු ඇත. එහෙත් ඇමතිධුර නොමැති ඇතැම් පොහොට්ටු  මන්ත්‍රීවරු සිටින්නේ දැඩි කේන්තියකිනි.

සජිත් ගෙන් වතුකම්කරු ප්‍රජාවට පොරොන්දුවක්

අප රටට ඉමහත් සම්පතක් වු උඩරට පහතරට ප්‍රජාවගේ ජනජීවිතය, ජීවිකාව, ජීවනෝපාය ඇතුළු සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යූහය ශක්තිමත් කිරීම උදෙසා උඩරට හා පහතරට වතු ක්ෂේත්‍රයේ ප්‍රජාව සමඟ අද දින වැදගත් සමාජ ගිවිසුමකට එළැඹීමට හැකි වූ බවත් සමගි ජන බලවේග රජයක් යටතේ ජනාධිපති කාර්යසාධන බලකායක් වෙනමම ස්ථාපිත කර උඩරට පහතරට වතු ප්‍රජාව මුහුණ දෙන ආර්ථික සමාජීය සංවර්ධන හා දේශපාලන ගැටලු ඇතුළු යටිතල ක්ෂේත්‍රයේ තිබෙන්නා වූ ගැටලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන සම්මුතියකට ගිවිසුම් ගත වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදී උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් රැසක් සමග සමාජ ගිවිසුමකට අත්සන් තබමිනි.

ලක්ෂ ගණනක් උඩරට හා පහතරට වතු ප්‍රජාව රටේ ජීවනාලියට දායකත්වයක් ලබා දෙන බැවින් ඔවුන් හැමදාම කම්කරු තනතුරේ තබා ගැනීම නොව ඔවුන්ට වගා භූමියේ හා නිවසක අයිතිය මෙන්ම වතු ක්ෂේත්‍රයේ වතු ව්‍යවසායකයන් ලෙස කටයුතු කිරීමේ ඉමහත් අවස්ථාව මේ තුළින් උදා වන බවත් මෙතෙක් කල් දෙවැනි තුන්වැනි පන්තියේ කුඩම්මාගේ සැලකිලි ලැබුණු මේ ප්‍රජාවට වචනයට සීමා වූ සටන් පාඨ නොව කාලවකවානු සහිතව මේ ජනතාව ශක්තිමත් කරන්න පැහැදිලි සමාජ සම්මුතියකට එළැඹුනු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී  පැවසීය.

සමගි ජන බලවේග රජයක් පිහිටවු පළමු දිනයේ සිට මේ සියලු කරුණු කාරනා සාකච්ඡා කරන්න නොව මේ සමාජ ගිවිසුම මහපොලොවේ යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කරන බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස මෙය හැදින්විය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දිනෙන් දින සදාකාලිකව දේශපාලන ඇන්දවීම්වලට රැවටීම්වලට ලක්වූ උඩරට පහතරට වතු ප්‍රජාවට ආර්ථික හා සමාජීය නිදහස උදාකරන වැදගත් ගමනක් යාම සමගි ජන සන්ධානයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බවයි.

නිර්ව්‍යාජ, පිරිසිදු උඩරට පහතරට වතු ප්‍රජාවගේ සැබෑ නියෝජිතයන් සමඟ අද දින ගිවිසුම් ගත වූ බවත් පෞද්ගලික වරදාන වරප්‍රසාදවලින් තොරව මේ නායකයන් ඉල්ලා සිටියේ තම ප්‍රජාව රැක ගෙන ආරක්ෂා කර සංවර්ධනයේ අරුණළු උදා කර දෙන ලෙසත් මොවුන් සමග මෙවැනි සමාජ සම්මුතියකට එළැඹිමට ලැබීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායකවරයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  දමිල ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් , ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම් මහතා, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන්කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා  මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් සහ නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර් අත්සන් තබන ලදී.

බුදු දහම සුරක්ෂිත කරන බවට සජිත්ගෙන් ප්‍රතිඥා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට ප්‍රමුඛතාව ලබා දෙමින් සෙසු ආගම්වලටත් සුදුසු ස්ථානයක් ලබා දිය යුතු බව සදහන් වුවත් මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කර ඇති බවත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිදු කරනු ලබන ශාසනික සේවා ඇතුළු අනෙකුත් සේවා පවා කුමන්ත්‍රණකාරීව පරාජය කරන්නට රාජ්‍යතාන්ත්‍රය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවැති භික්ෂු උපදේශක සභාව අමතමිනි.

දහම් අධ්‍යාපනය පිරිවෙන් අධයාපනය ප්‍රවර්ධනය කරමින් මෙම ආයතන බුද්ධිමතූන්ගේ කේන්ද්‍රස්ථාන බවට පත් කරන බවත් සසුනට අරුණ වැඩසටහන හරහා පවා විශාල වැඩ කොටසක් ඉටු කළත් ඒ වැඩසටහන් සදහාද විවිධ අසත්‍ය මඩ ප්‍රහාර දියත් කළ බවත් ඒ කිසිවකට නොසැලුනා සේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න සමගි ජන බලවේග රජයක් තුළ පවා කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
දහම් පාසල් තරග පවත්වා සහතිකවත් දෙන්න බැරි වුන මේ රජය මිහින්තලයේ විදුලිය විසන්ධි කර මහනායක හිමියන්ට පවා බැන වදින බවත් මේ ක්‍රමය වෙනස් කර ප්‍රායෝගික බෞද්ධයෝ බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හිටපු ජනපති මෛත්‍රී සාර්ථක ඇමරිකානු සංචාරයක

ඇමරිකාවේ විශේෂ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,මෛත්‍රිපාල සිරිසේන  පසුගිය ඉරිදා අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ඇමරිකාවට ගිය හිටපු ජනාධිපතිවරයා  ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර්  හමුවී සාකච්ඡාවක නිරත විය. එම හමුව සිදුවූයේ වොෂින්ටන් ඩී.සී හි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් ඉතා සාර්ථක සාකච්ඡාවක නිරත විය. එම සාකච්ඡාවේ ඉදිරි පියවර ගණනාවක් ඉදිරි මාස කිහිපය ඇතුළත ක්‍රියාවට නැංවීමට එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

මේ අතර ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි පිහිටි විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලයට හිටපු ජනාධිපතිවරයා විශ්ව සාම සම්මේලනයේ මහ ලේකම් ලැරී මොෆිට් , විශ්ව සාම සම්මේලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිත ආචාර්ය ටැගල්ඩින් හමඩ්  සහ විශ්ව සාම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනී ටොමිකො ඩුග්ගාන් සමග ශ්‍රී ලංකාවේ සහ ලෝක සාමය සම්බන්ධයෙන්  දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

හිටපු ජනාධිපතිවරයා  විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් උප සභාපතිවරයා ලෙස සිදුකර තිබෙන සහ මේවන විට සිදු කරගෙන යනු ලබන සේවය වෙනුවෙන් විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලය විසින් විශේෂ සමරුවක්ද මෙහිදී පිළිගැන්වීය.

පුටුවේ සන්ධානය ළඟදීම

මේ අතර පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම හිටපු ජනාධිපතිවරයා  ඇමරිකානු සංචාරය නිමවා මෙරටට පැමිණි පසු සිදු කිරීමට නියමිතය.එහිදී සන්ධානයේ නායකත්වය, මහ ලේකම් ධූරය ඇතුළු තනතුරු ගණනාවකට අලුත් පත් කිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා මේ වන විට පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන පක්ෂ මෙන්ම සන්ධානගත වීමට නියමිත පක්ෂද එක් වීමට නියමිතය.

ඒ අතරේ මාලිමාව මේ වන විට දිගින් දිගටම තම මැතිවරණ ව්‍යාපාරය පුළුල් කරමින් සිටී. පොහොට්ටුව වටා සිටි ඇතැමුන් සේම ගෝඨාභයට සහය දැක්වූ බහුතරයක් පාවෙන ඡන්ද අද සිටින්නේ මාලිමාව සමගය. විශේෂයෙන්ම මේ වන විට විශාල කාන්තාවන් පිරිසක් ආකර්ෂණය කර ගන්නට මාලිමාව සමත්ව තිබේ. ඊට අමතරව විවිධ අංශ ඔස්සේ ඔවුන් ජනතාව අමතමින් සිටිති. කෙසේ වෙතත් සාම්ප්‍රදායික ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හා මාලිමාවේ  නව සාමාජිකයන් අතර අදහස් නොගැලපීම් කොතෙකුත් තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් මේ මොහොතේ ඉදිරිපත්ව ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමේ කුමන්ත්‍රණයක් වශයෙන් බව එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස  පවසයි.

“මෙතුවක් කාලයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අකමැති වෙච්ච අය, විධායකය අහෝසි කරන්න අවස්ථාව තිබියදී ඒක මඟහැරලා ගිය අය දැන් කතා කරනවාලු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා හරි මාලිමාවේ ජයග්‍රහණය වළක්වන්න ඕනෙ කියලා. ඒකට තමයි දැන් කුමන්ත්‍රණය සිද්ධ වෙන්නෙ. අද ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නෙ මේ රටේ ජනවරමක් සහිත ආණ්ඩුවක් බලයට පත්වෙනකල්. මොකද ලෝකෙ රටවල් ලෑස්ති නෑ මේ වගේ පස්ස දොරෙන් රිංගපු ජනාධිපතිවරයෙක් එක්ක කටයුතු කරන්න.”  නලින්ද ජයතිස්ස  පැවසීය.‍

ජනතාවට සේවය නොකර වාණිජ බැංකු තර කරන ශ්‍රීලංකා මහ බැංකුව

ශ්‍රීලංකාවේ වාණිජ බැංකු විසින් ව්‍යාපාරිකයන්ට හා සමාගම් වෙත ලබාදෙන වාණිජ ණය පොලී අනුපාත සියයට 18 ක පවත්වා ගෙන යාම තුලින් එම බැංකු හා මූල්‍ය ආයතන විශාල ලාභයක් උපයන අතර මේ හේතුවෙන් මෙරට සාමාන්‍ය ව්‍යාපාර කඩා වැටෙමින් පවතී.

මේ අතර බැංකු විසින් ස්ථිර තැන්පතු වලට ලබාදෙන පොලිය සියයට නවයක් දක්වා අඩුකර ඇති අතර සාමාන්‍ය තැන්පතුවලට ලබා දෙන පොලී අනුපාත සියයට 2.5 ක් දක්වා අඩු කර තිබේ.මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහා බැංකුව කිසිදු පියවරක් නොගන්නා අතර වාණිජ බැංකුවලට සිත්සේ ලාභ ලබන්නට ඉඩ දී තිබේ. ශ්‍රීලංකා මහා බැංකුව මහජනතාව ආරක්ෂා කරනවා වෙනුවට වාණිජ බැංකු ආරක්ෂා කිරීම බරපතල ගැටළුවක් වී තිබේ.

මහ බැංකුව කාටත් හොරෙන් ලක්ෂ ගණනින් වැටුප් වැඩිකරගෙන

පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන තිබේ.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස වැටුප් ඉහළ නැංවීම කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මුදල් මණ්ඩලය විසිනි.
මහ බැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් 712,179කින් නංවා තිබේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුට මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු දීමනා සහිතව මසකට රුපියල් දහසය ලක්ෂ අසූහත්දහස් එකසිය හතළිස් හතරයි සත පනස්හයක (1,687,144.56) ක වැටුපක් ලැබේ.‍ෙ

රට බංකොලොත් කරලා – ලක්ෂ ගණන් ගෙවීම්

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආදී තනතුරු රැසක වැටුප් වැඩිකර ඇත්තේ දෙගුණයකිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයකුගේ මීට පෙර මූලික වැටුප වූයේ රුපියල් 34,235කි. සියලු දීමනා සහිතව එම තනතුරට ලැබුණ මාසික වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස්හතරදහස් හැත්තෑහයයි සත හයකි. එහෙත් නව වැටුප් වැඩිවීමට අනුව එම තනතුරේ මූලික වැටුප රුපියල් 55,805 දක්වා එනම් රුපියල් 21570කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව සියලු දීමනා සහිතව දැන් එම තනතුරේ සේවකයකු ලබන මාසික වැටුප රුපියල් එක්ලක්ෂ අසූතුන්දහස් තුන්සිය අසූඅටකි. (183388)

ළමනාකාර සහකාර පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සියලු දීමනා ද සහිතව රුපියල් 62,797කින් වැඩි වී ඇත. ඔවුන්ගේ පෙර පැවැති මූලික වැටුප රුපියල් 57035කි. නව වැටුප් වැඩිවීම සමග ඔවුන්ට දැන් මාසිකව රුපියල් 235,035ක වැටුපක් ලැබේ.
පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ අසූහතරදහස් පන්සිය හැටනවයයි සත අසූවකින් (184569.80) ඉහළ ගොස් තිබේ. අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ වැටුපද රුපියල් පන්ලක්ෂ විසිදෙදහස් තුන්සිය පනස් නවයකින් (522,359) වැඩිකර ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුපද සියයට හැත්තෑවකින් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබේ. මේ අනුව විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 55,000 කින් පමණ වැඩි වීමට නියමිතය.

රටක ආණ්ඩුවක් තිබේ නම් මෙවන් වැරදි තීරණ ගත මුදල් මණ්ඩලය වහාම ඉවත් කර ඔවුන්ට එරෙහිව දැඩි තීරණයක් ගත යුතුව තිබේ. රටටම බණ දෙසමින් මාධ්‍ය සංදර්ශන දමන මේ ඇතැමුන්ගේ සැබෑ සවරූපය මෙමගින් පෙන්නුම් කර ඇත. මහ  බැංකුව ස්වාධීන බවක් ලබා ගන්නට ඇත්තේ මේ ආකාරයට හිතුමතයට වැටුප් වැඩි කර ගැනීමට බව අපගේ අදහසයි.

DAT හෝ ඒ හා සමාන දීමනාවක් සියලු රජයේ සේවකයන්ට?

සෞඛ්‍ය සේවකයන්ට DAT දීමනාව ඇතුළු දීමනා ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එකඟතාවය පළ කරන ලද බව රාජ්‍ය සේවා හෙද සංගමය සඳහන් කරයි.එහි සභාපති පූජ්‍ය මූරැත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළේ මෙම දීමනාව ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී  සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

වෛද්‍යවරුන්ට ලබා දුන් තිස් පන්දහසක DAT දීමනාව වෙනුවෙන් තම සංගමය වෘත්තිය ක්‍රියා මාර්ගවල නිරත නොවුනත් ක‍්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් සඳහා අදාළ දීමනාව ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීම පිළිබඳව සතුටට පත්වන බව ද උන්වහන්සේ පැවසූහ.

මේ අනුව සියලුම රජයේ සේවකයන් සඳහා මෙය ලබා ගැනීමට ඉදිරියේදී තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනෙනු ඇත. ජීවත්වීමට සරිලන වැටුපක් ලැබීම මුලික අයිතිවාසිකමක් නිසා සියලුම රජයේ සේවකයන් වෙත මෙය ලබා ගැනීමට වෛද්‍යවරුන් බාධා නොකළ යුතුව තිබේ. ඇතැම් වෛද්‍යවරුන්ගේ ළමා හැසිරීම් සමස්ත වෛද්‍ය වෘත්තියටම නිග්‍රහයකි.

කොළඹ රැස්වීමට ලන්සා කණ්ඩායම බරටම වැඩ

නව සන්ධානයේ කොළඹ මහජන රැළියේ සංවිධාන කටයුතු පිලිබඳ සාකච්චා කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩල කමිටුව පසුගියදා රැස් වුහ.සුසිල් ප්‍රේමජයන්ත්,අනුර ප්‍රියදර්ශන යාපා,නලින් ප්‍රනාන්දු,නිමල් ලාන්සා,සිරිපාල අමරසිංහ,සුගීශ්වර බණ්ඩාර ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නව සන්ධානයේ සංවිධායකයින් පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.

“කොහොමද දැන් රැස්වීමට එන මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ටික,අපේ වැඩේ ගැන කතාකලාම මොකද කියන්නේ”නිමල් ලන්සා මන්ත්‍රීවරයා ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන නව සන්ධානයේ දෙවන මහජන රැලිය පිළිබඳව තොරතුරු විමසන්නට විය.

“ජා ඇළ වැඩේට මලිමාවත් හොඳටම බයඋනා මොකද අපි සෙනග ගෙනල්ල පෙන්නුවේ ඒ අය රැස්වීම තිබ්බ තැනමනේ,වෙන කිසි පක්ෂෙකට බැරි උනා එතන රැස්වීමක් තියාගන්න”නලින් ප්‍රනාන්දු කිවේය.

“කොළඹත් අපි රැස්වීම තියන තැන කට්ටිය රැස්වීම් තියන්න ටිකක් බයයි,සෙනග එන්නේ නැති වෙයි කියල,අපි ඒ අභියෝගයක් භාරගත්ත”ලන්සා සිනාසෙමින් කිවේය.
“ඒ ගැන සැකයක් තියාගන්න එපා ඇමතිතුමා,නව සන්ධානයේ වැඩපිළිවෙල ගැන ජනතාවට ලොකු උනන්දුවක් තියනවා”අමරසිංහ කිවේ පිරිස දෙස බලමිණි.

“කොළඹ ජන රැලියේදී තවත් විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙකු මෙන්ම දේශපාලන නායකයින් කිහිප දෙනෙකු නව සන්ධානය සමග එකතු වෙනවා ඒ අතරට හිටපු මහ ඇමතිවරයෙක්,කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නගරාධිපතිවරයෙක් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 100 කට ආසන්න පිරිසක් ඇතුලත් ඊට අමතරව රටේ ප්‍රධාන වෘත්තීය සමිති 10 ක් එම වේදිකාවේදී නව සන්ධානයට එකතු වීමට නියමිතව තිබෙනවා.” මෙහිදී සාකච්ඡා විය.

දිලිත් ගේ කොළඹ රැස්වීම

සාම්ප්‍රදායික දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹ ඇති බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර  පවසයි. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු  මෙම අදහස් පළ කළේය.

මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පසුගියදා පැවැත්වුනු අතර ඊට සැලකිය යුතු ජනතාවක් සහභාගී වුහ.

මෙම සමුළුව සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක, විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්  පාලිත කොහොන, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය  ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වූ අනුරාධා යහම්පත් මෙන්ම මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල පුද්ගලයකු වූ පාලිත කොහොනගේ සහභාගිත්වය මෙහිදී කැපී පෙනේ. එසේම ජාතික සංවිධාන දිලිත් සමග ඉදිරියේදී එක්වනු ඇති බව පැවසේ. මාධ්‍ය ආයතන හිමිකරුවකු වීම මෙන්ම රටේ ප්‍රධානතම දැන්වීම්කරණ ආයතනයක් බිහි කල පුද්ගලයකු ලෙස ජනතාව කැමතිදේ සම්බන්ධයෙන් දිලිත්ට මන වැටහීමක් තිබේ.

ඩලස්ගෙන් රනිල්ට ප්‍රහාරයක් !

කවර පාර්ශවයක් සමග සන්ධාන වනවා දැයි ඩලස් අලහප්පෙරුම තවමත් තීරණයක් ගෙන නැත. ප්‍රධාන ධාරාවක් සමග සම්බන්ධවීම හරහා මාතර දිස්ත්‍රික්කයේ තමන් සම්බන්ධවන සන්ධානය දිනවීමේ හැකියාව ඩලස් සතුය.මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද පදනම ගැඹුරින් විශ්ලේෂණය කල විට මහමතිවරනයකදී මාතර ආසන බෙදී යාමේ ප්‍රවනතාවය කාලයක් තිස්සේ එකම ආකාරයකට සිදුව ඇති බව බොහෝදුරට පෙනේ.
මේ අතර  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී එලෙස  පැවසීය.

එම යෝජනාව ජනාධිපතිවරණය මඟ හැරීමට සමාජ මතයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වුවත් එය කළ නොහැකි දෙයක් බවත් ආණ්ඩුව වාද අවකාශය පිරවීම සඳහා මෙවැනි දේ ඉදිරිපත් කර ඇති බවත් ආණ්ඩුවට කිසිලෙසක වංගු ගැසීමට ඉඩ තැබිය නොහැකි බව කී ඩලස් අලහප්පෙරුම වර්තමාන ජනාධිපතිවරයාගේ මාමාගේ පාලන කාලයේ පැවති ජනමත විචාරණය මෙරට ඉතිහාසායට කළු පැල්ලමක් එක්කළ අවස්ථාවක් බව ද සඳහන් කළේය.

එම ජනමත විචාරණය ඡන්ද මංකොල්ලයක් වූ අතර ජනාධිපති අපේක්‍ෂයෙක් පවා හොර ඡන්ද දැමුවේ යැයි චෝදනා කළ විදේශ තානාපතිවරු පවා එළවා දැමීමට කටයුතු කළ බවත් එවැනි පසුබිමක් ඇති නායකයන් ජනතාවට එක් පැත්තකින් හාස්‍යය අනෙක් පැත්තෙන් වේදනා සපයන බවත් ඔහු  සඳහන් කළේය.  

ආණ්ඩුවේ වැඩපිළිවෙළට විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් සහ මධ්‍ය ලක්‍ෂය ගන්නා කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට සිය පාර්ශවය කැමති බව කී ඔහු අධිතක්සේරුවෙන් සිටින ඕනෑම විපක්‍ෂ බලවේගයකට පාකිස්තිනු මැතිවරණයේ ප්‍රතිඵලය හොඳම උදාහරණය බව ද මෙරට ජනතාව 2020 සිට 2022 දක්වා කාලය තුළ සිස්ටම් චේන්ජ් කිරීමට මැතිවරණයක් සහ අරගලයක් හරහා උත්සහ දෙකක් කිරීමෙන් රටට අවාසි ගොඩක් ගෙන දුන් බව ද පැවසීය.

චම්පික නැවත පොරපිටියට

පාඨලී චම්පික රණවක ප්‍රමුඛ එක්සත් ජනරජ පෙරමුණේ නව දේශපාලන යෝජනාවලිය මේ වන විට එළිදක්වා තිබේ. ඔහු එක්පැත්තකින් ජනාධිපතිවරණ පොදු අපේක්ෂකත්වය දෙසට ඇස ගසාගෙන සිටින බව පැවසෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුක සන්ධානය සම්බන්ධයෙන්ද ඔහුගේ නම කියවේ. ඔහුගේ යෝජනාවලිය එළිදැක්වීමේ උත්සවයට සියලුම ප්‍රධාන පක්ෂ සහභාගී වුහ.

චම්පික රණවකට මෙරට මධ්‍යම පන්තිය හා වෘත්තිකයන් තුල යම් කැමැත්තක් තිබේ. එහෙත් ගම්බද සාමාන්‍ය ජනතාව තුල චම්පික තම ප්‍රතිරූපය තනාගෙන නැත. අනෙක් අතට මෙරට දේශපාලනඥයින් හා ඉහල නිලධාරීන් තුල චම්පික සම්බන්ධයෙන් ඇති ප්‍රතිරූපය තරමක් වෙනස්ය.ඒ කෙසේ වෙතත් මෙරට අතිශය සාමාන්‍ය දුප්පත් ජනතාව වෙත සමීප වන්නට මීට වඩා ඔවුන් වෙත චම්පික සමීප විය යුතුය.ඔහු වටා සිටින මධ්‍යම පාන්තිකයන් හා වෘත්තීයවේදීන් අතර  බොහෝදුරට පාවෙන ඡන්ද ඝනයටද වැටෙන පිරිස්ද ඇති අතර ඔවුන්ගේ ඡන්ද අවස්ථානුකූලව වෙනස්වේ.

මේ අතර විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව  චම්පික රණවක  පවසයි.

කර්මාන්ත දහනව දහසක විදුලිය විසන්ධි කරලා

විදුලි බල මණ්ඩලයෙහි නිලධාරීන් වැරදි දත්ත ඉදිරිපත් කිරීමේ අවස්ථා ගණනාවක් නිරීක්ෂණය බවත්  ඒ හේතුවෙන් ජනතාවට වගකියන ආයතනයක් ලෙස මහජන උපයෝගීතා කොමිසම  ඊට අවධානය යොමු කළ යුතු බව ත් පවසන ඔහු
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති සංඛ්‍යා අතිශය වැරදි සහගත බවක් හෙළි වී ඇති බවත් බලාගාරවල  ස්ථාවර ගාස්තු අසීමාන්තිකව වැඩි කර ඇති බවත් කියාසිටී.
“පසුගිය වසරේදී කර්මාන්ත දහනවදහසක  විදුලිය විසන්ධි කර තිබේ. ඊට සමගාමීව කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි අලෙවිය  සියයට විස්සකින් අඩු විය. ශ්‍රී ලංකාවට සාපේක්ෂව කර්මාන්ත විදුලි බිල වැඩි වී ඇත්තේ සිංගප්පූරුවේ සහ හොංකොං හි පමණි. කර්මාන්ත ආශ්‍රිත  තරගකාරීත්වයක් සහිත වියට්නාමය,  බංග්ලාදේශය හෝ දකුණු ඉන්දියාවට සාපේක්ෂව  ශ්‍රී ලංකාවේ විදුලි බිල සියයට 40 කට වඩා වැඩි ය. අධික විදුලි බිල සහ අධික තෙල් මිල හේතුවෙන් 2028 වන විට ණය ගෙවීමේ නොහැකියාවක් ශ්‍රී ලංකා රජයට ඇතිවෙයි. කවුරුන් ආණ්ඩු කළ ද පවතින තත්ත්ව යටතේ 2028 දී ම රට බංකොලොත්භාවයට  නැවත ලක්වෙනු ඇත.” චම්පික රණවක පවසයි.

ධම්මික පෙරේරාගේ මහජන සේවය

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව පැවසෙන අපේක්ෂකයන් අතරින් රටේ සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම පැහැදිලි සැලැස්මක් හා ක්‍රමවේද දැනට ඉදිරිපත් කර ඇති එකම අපේක්ෂකයා ධම්මික පෙරේරා පමණි. එහෙත් ඔහු මේ වැඩපිළිවෙල සාමාන්‍ය ජනතාවට හදවතට දැනෙන ආකාරයට ඉදිරිපත් කල යුතුය. දැනටමත් ඔහු රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න හදුනාගනිමින් තම රට ගොඩනගන වැඩපිළිවෙල  යම් වෙනසකට භාජනය කර ඇත්තේ තමන්  ප්‍රයෝගික මිනිසකු බවට පෙන්නුම් කරමිනි. දැනගන්නට ඇති ආකාරයට ඔහු දැනටත් සක්‍රීයව තම වැඩපිළිවෙල ගම්දනව් සිසාරා ක්‍රියාත්මක කරමින් සිටී. එහෙත් ගැටුම්කාරී දේශපාලන පොරපිටියට පෙර  මහජනතාවගේ හා රටේ  ප්‍රශ්න වලට විසදුම් ලබාදීම මේ වන විට ඔහු තමන්ගේ මුලිකම කාර්ය කර ගෙන ඇති බව පෙනේ.

පරිසර ප්‍රශ්නය ධම්මික අතට ගනී

ඔහු පසුගියදා DP Tree Book ජංගම දුරකථන යෙදවුම පසුගියදා  කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 2024 පෘථිවි සමුළුවේදී (Earth Summit 2024) එළිදක්වන ලදී.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ 1496ක් ඇති අතර එම ශාඛවර්ගවල පැළ කවුරුන් හෝ විසින් යළි සිටුවන්නේ නම් DP Tree Book ජංගම දුරකථන App එක ඔස්සේ එම පැළය ගූග්ල් සිතියමේ Tag කිරීමට හැකියාව ලැබේ. ඒ අනුව මෙම ශාඛ වර්ග යළි පැළ කෙරෙන ප්‍රමාණය සංගණනය කිරීමටත් සිතියම්ගත කිරීමටත් හැකියාව හිමිවේ.

මහජනතාව සමග එක්වෙමින් ශ්‍රී ලංකාවේ මෙම වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ වර්ග 1496න් පැළ මිලියන 10ක් සිටුවීම තම අරමුණ බව එම අවස්ථාවට එක්වෙමින් ධම්මික පෙරේරා සඳහන් කළේය.

“මේ ඇප් එක ඩිවලොප් කරන්න හේතුවුණේ, 2000 සිට 2019 දක්වා කාලය තුළ ගස් ලක්ෂ 5ක් වවලා තියෙනවා මම පුද්ගලිකව. ඒක පොතක ලියලා තියෙන්නේ. ඒකට තමා Tree Book කියලා කිව්වෙ. නමුත් ඇනලොග් විදියට වැඩ කළොත් මටම ඒ ගස් තියෙන විදිහ හොයාගන්න බෑ ඒ පොතෙන්. ඒක නිසා තමයි ඩිජිටල් විදියට මෙහෙම සිස්ටම් එකක් මේ වෙනුවෙන් හැදුවේ. අපේ ගෝල් එක තමයි රටේ ජනතාව හැමෝම එකතු කරගෙන, මේ වඳවීගෙන යන ශාඛ මිලියන 10ක් වවන එක” එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා සඳහන් කළේය.

ධම්මික පෙරේරා දැනට කලකට පෙර ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කල කාලයේ සිටම අලි – මිනිස් ගැටුමට විසඳුම් සෙව්වේය. ඒ විසදුම් හරහා මේ ප්‍රශ්නය සියයට අනුවකින් අඩු කල හැකි බව ප්‍රයෝගිකව ඔහු පෙන්වාදී තිබේ.

එම කාලයේ දුම්රියේ ගැටීමෙන් වන අලින් මියයාමේ සිද්ධීන් ප්‍රධාන දුම්රිය මාර්ග දෙකක ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙමින් තිබු අතර . එම ප්‍රදේශවලදී දුම්රියේ උපරිම වේගය දහවල් කාලයේදී පැයට කිලෝමීටර් 40කට සහ රාත්‍රී කාලයේදී පැයට කිලෝමීටර් 20කට සීමා කරනු ලැබේ. එමෙන්ම එම ප්‍රදේශවලදී වන අලින් දුම්රිය මාර්ගයට අවතීර්ණ වන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා වනජීවී නිලධාරීන් දෙදෙනෙකු දුම්රිය ඇංජිමට යොදවනු ලැබුහ.

මෙය විසඳුම 2014 වසරේදී සාර්ථක ලෙස ක්‍රියාවට නැංවුණු අතර එවකට දුම්රියේ ගැටීමෙන් වාර්ෂිකව වන අලි මරණ 12 – 15 අතර සිදුවුණු නමුත් මෙම විසඳුමෙන් පසු ඒවා සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකිවිය. ඒ අනුව මෙම ප්‍රතිපත්තිය නැවත ක්‍රියාවට නැංවීමෙන් දුම්රියේ ගැටීමෙන් සිදුවන වන අලි මරණ සම්පූර්ණයෙන්ම නවතා ගැනීමට හැකිවනු ඇත.

අලි – මිනිස් ගැටුම් සහිත සියලුම ගම්මාන සඳහා ගම්වාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගම්මානයට අලි වැටක් (විදුලි වැට) ලබාදෙනු ලැබේ. දැනට සිදුකෙරෙමින් පවතින්නේ අලි වැට යොදා වන අලින්ගේ සංචරණය සීමා කිරීමට උත්සාහ දැරීම වන අතර එය සමහර තැන්වලට ප්‍රායෝගික නොවේ. එවන් ගම්මාන ආවරණය කිරීමට අලුතින් ඉදිකෙරෙන අලි වැටවල් අලුත්වැඩියාව ප්‍රාදේශීය ලේකම්වරයාට පැවරිය යුතු බවද   මේ වනවිට ඇතැම් ප්‍රදේශවල වනජීවී දෙපාර්තමේන්තුවේ අලි වැට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි වැට යනුවෙන් අලි වැටවල් දෙකක් පවතින අතර මේ හේතුවෙන් ඇතැම් වන අලින් මෙම වැටවල් දෙක අතරට කොටු වන බැවින්  මෙම වැටවල් දෙකෙන් වනාන්තරය ඇතුළට වන්නට ඇති වැට ගලවා ඉවත් කළයුතු බවද ඔහු සඳහන් කරයි.

 අලි වැට ගම්මානය සහ වැව අතරින් ඉදි කළයුතු අතර ගම්වාසීන්ට නෑම සහ මසුන් ඇල්ලීම සඳහා වැවට යාමට අඩි 4ක මාර්ගයක් පමණක් ඉතිරි කළ යුතුය. වනාන්තරයේ සිට අලින්ට දිය බීම සඳහා වැවට පැමිණීමට අවස්ථාව දීම අලි – මිනිස් ගැටුම සහිත ප්‍රදේශ අවදානමේ තත්වය අනුව වැඩිම අනතුරුදායක, සාමාන්‍ය අනතුරුදායක සහ අවම අනතුරුදායක වශයෙන් කලාප තුනකට වෙන් කිරීම, එයින් වැඩිම අනතුරුදායක කලාප ඩ්‍රෝන යානා මාර්ගයෙන් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම , අලි මංකඩවල් ආශ්‍රිතව නිවාස ඉදිකර ඇත්නම් එම නිවාස රජයේ වියදමෙන් අලුත් තැනකට ගෙනයාම,ගම්මාන ආශ්‍රිතව වෙසෙන බවට හඳුනාගෙන GPS තාක්ෂණයෙන් යුත් කොලර් යොදා සලකුණු කරගෙන සිටින වන අලින් ගැවසෙන ස්ථාන තම  ජංගම දුරකථනයෙන්ම නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ගම්වාසීන්ට ද ලබාදීමට App එකක් හඳුන්වා දීම , දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ තවත් අලි අනාථාගාර දෙකක් පිහිටුවීම හා  ඒ ඒ පළාතේ අමතර සංචාරක ආකර්ෂණයක් ලබාගැනීම  ආදී ප්‍රයෝගික දස වැදෑරුම් වැඩපිළිවෙලක් ධම්මික පෙරේරා ඉදිරිපත් කර තිබේ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan