*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජයග්‍රහණයෙන් අසතුටට පත් වන්නන්ට තවත් පරාජයක් – ඇෆ්ගන් විස්සයි විස්ස තරගාවලි ජයත් ශ්‍රී ලංකාවට

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 20 කොළඹ (LNW): ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය සමඟ තරගාවලිය ආරම්භ කරන විට තත්ත්වය වෙනස් ය.එය නිශ්චිත වශයෙන් ශ්‍රී ලංකාව පරාජය වන තරගාවලියක් ලෙස බොහෝ අය කීහ.සැබවින්ම ඇෆ්ගනිස්තානය යනු නූතණ ක්‍රිකට් වපසරිය තුළ සුළුවෙන් තකන්නට නොහැකි කණ්ඩායමක්ය.එහෙත් ශ්‍රී ලංකාව අතරමග කණ්ඩායමට හානියක් නොවන පරිසරයක් ඇති වී තිබෙන විශ්වාසය සමඟ තරග වැදිණි.ප්‍රතිපලය ලෙස ටෙස්ට් තරගය ජය ගත්තේය.ඉනික්බිති එක්දින තරගාවලිය 3-0 කි.මේ මොහොතේ ඔවුන් විස්සයි විස්ස තරගාවලියේ තරග දෙකක් නිමා වන විට 2-0 ක් ඉදිරියෙන්ය.ඒ අනුව තරග 3 ක් පවතින තරගාවලියම ජයගෙන අවසන්ය.
පළමු තරගය ලකුණු 4 න් ජය ගත් ශ්‍රී ලංකාව මේ තරගය ජය ගත්තේ ලකුණු 72 න් ය.ජයග්‍රහණයන්වල ස්වභාවය පෙන්නුම් කරන්නේ බිඳ වැටෙන විශ්වාසය නැඟෙමින් තිබෙන බවය.මීට පෙර කණ්ඩායම අනපේක්ෂිත කඩා වැටීමක සිටියේය.ඒ පරිසරය තුළ පසෙකින් ඇවිලෙමින් තිබුණ පරිපාලන ගින්නක්ය.විශේෂයෙන් දේශපාලනිකව අත පෙවීමක්ය.ඒ අත අල්ලා පරිපාලනය අස්සට ඔබා කලත්තා තමන්ගේ දේ පොවා ගන්නට සිතා සිටි අය ඇමතිට උපදෙස් දුන්නේම ක්‍රිකට් පරිපාලනයට ඇණය ගසන්නටය.


එහි පලයක් ලෙස තමන් ඒ වන විට දිනා සිටින ක්‍රිකට් ස්ථානය ජාතික කණ්ඩායමෙන් බිමට වැටෙන්නට හැකි තරමට භයානක විය හැකි බව ක්‍රිඩකයෝ ද සිතූහ.පිඩනය පිට්ටනියෙන් පිටට ගෙනවිත් පරිපාලනය අලුත් කිරිමේ ගේම් එකේ එක අංගයක් ලෙස ඇමති හරහාම එය ක්‍රියාවට නැංවූහ.එම ව්‍යාපෘතියේදී ක්‍රීඩාංගණ කම්කරුවන්ගේ සේවය පවා අපහාසයට ලක් කෙරිණ.ක්‍රීඩකයෝ පාවා දෙන චූදිතයෝ වූහ.මෙවැනි තත්ත්වයක පරිපාලනය තුළ වෙනසකින් පසුව ඇති වන ව්‍යාපෘති තමන්ට කුමන ආකාරයකින් බලපානු ඇත්ද යන්න පිළිබඳව ඇති කළ අස්ථාවරත්වය,මේ වන විට පහවී තිබීම ජයග්‍රහණයට අදාළ විශ්වසනීයත්වයේ එක කොටසකි.


කෙසේ හෝ පරාජයේ දරුණුකම වැඩියෙන් පළුඳු කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කෙරෙහි හදවත පතුලේම උපද්දා තිබුණු ආදරයටය.ඒ නිසා ක්‍රිකට් ආදරවන්තයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් හී සිට කණ්ඩායමේ සිටින ක්‍රීඩකයෝ ද සිය විවේචනයේ ඉලක්ක කර ගත්හ.එය ඇත්තටම වෙනම චෝදනා,සැක සංකා සහිත ඉඟි බිඟිවලින් ගිණි තැබූ තවමත් සම්පූර්ණයෙන් නොනිමී ඇවිලෙමින් තිබෙන වෙඩි බෙහෙත් නූලකි.විටෙක විවිධ දෑ වලින් පිට්ටනියට දමා ගසන්නට තරම් හික්මීම බැහැර කරන්නට සිත් වෙනස් කරන තරමේ පීඩනය පුපුරා යාමකි.එය නොනිමෙන්නට සෙමින් සෙමින් වෙඩි නූලේ පෙට්ට්‍රල් තැවරීම ද සිදු වන්නේය.ඒ නිසාම ශ්‍රී ලංකාව ජයගැනීම දරා ගන්නට අපහසු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාරයක් ද තැන තැන ඇති වී තිබෙනු දැකිය හැකිය.
සිමිබාබ්වේ එන විට ඔවුන් අතින් ශ්‍රී ලංකාව පරාජය වෙනු දැකීමට ආසා කළේය.එය සිඳු නොවිණි.අනතුරුව ලීවේ සිම්බාබ්වේට වඩා ලොව පුරා අවධානයක් දිනා සිටින ඇෆ්ගනිස්තානයනම් අනිවාර්යෙන් ශ්‍රී ලංකාව පරාජය කරනු ඇති බවය.ඔවුන් ඉන්දියාව සමඟ තරග කළ ආකාරයද උදාහරණයට ගෙන පෙන්නුවේය.ඇත්තටම ඇෆ්ගනිස්තානය හොඳ කණ්ඩායමක් නිසා හොඳට ක්‍රීඩා නොකර ඔවුන් පරාජය කිරීම කළ නොහැකි බව අපි ද ලීවෙමු.එය ඇත්තය.එහෙත් හොඳට ක්‍රීඩා කළහොත් පරාජය කළ හැකි බව ද ලීවෙමු.එය එසේ සිඳු වූ විට දැන් අලුත් වටයකින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ ක්‍රීඩා කරන්න නියමිත කණ්ඩායම් ඉදිරියේ ශ්‍රී ලංකාන ලබන පරාජයන් ගැන මිහින මවන්නට පටන් ගෙන ඇත.
තරහක් හෝ විරෝධයක් ඇති වීමේ සීමාව ඉක්මවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගැන වෛරයක් ඉපැද්දීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගන්නට දේශපාලනිකව ක්‍රීඩකයාට, ක්‍රීඩකයා ගැන අස්ථාවර හිතක් ඇති කිරීම බලපාන බව අපි කීවෙමු.එය සමාජය ඇතුළේ පැතිර ගියේ ඒ අස්ථාවර සහ අවිශ්වසනීයභාවය ක්‍රීඩා පිටියේ දී පරාජිත ප්‍රතිපල ළඟා කරන විටය.එයට කොයිතරම් එරෙහිවීමක් ඇති කළේ ද යන්න දැඬිව දැනෙන්නට ගත්තේ දැන් අර්බූදය ශ්‍රී ලංකාව ජය ගැනීම දකින්නට හෝ ඉවසන්නට බැරි මට්ටමේ වෛරී කොටසක් ද සමාජය තුළ ඇති වී තිබීමෙන්ය.පරාජයේ කම්පාවක් හැටියට විරෝධයක් ඇති විණිනම් දැන් ජයග්‍රහණයේදී ඒ හා සමාන බරකින් උද්දාමයට පත්වීම සිදුවිය යුතු වුවත් ඇතැමෙක් සිටින්නේ පරාජය නොවීම ගැන කම්පාවෙන්ය.එය එසේ වන්නේ තමන්ව ගිලගත් වැරදි දේශපාලන ව්‍යාපෘතියක බලපෑමක් මතය යන්න දැන් කල්පනාවට ගත යුතුව ඇත.


මේ වැඩේ කෙසේ හෝ ක්‍රිකට් අසාර්ථක වී තමනුගේ පාමුලට පරිපාලනය ඒමේ උවමනාවෙන් සමාජය මත විෂ ඇතිරීමේ ව්‍යාපෘතිවල පලයක් තේරුම් ගැනීම වැදගත්ය. එහෙත් ඇත්ත දැනෙන දවසට එහි තිත්ත අත් කරන ඉරණම මීට වසර කිහිපයකට පෙර රටක ජනතාව රැවටී, දැවන්ත කැමත්තක් දුන් නායකයෙක්ට අත් වූ ඉරණම මතක් කර ගත යුතුය.සමාජය වැරදි ආකල්ප ඔස්සේ තමන්ගේ පෞද්ගලික අරමුණු කරා රැගෙන යන්නට ගන්නා උත්සාහයන්වල අවසාන පලය එබඳු ය.


තමන් දෙයකට දැඬිව ඇල්මක් දක්වන්නේනම් එම ඇල්ම නැතිවන ආකාරයේ සිදුවීම්වලින් තමන්ටම හානියක් ඇති වේ.ඒ ස්වභාවය ය.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන් නිසා ඒ ආකාරයට ක්‍රිකට්වලට ආදරය කළ අයට ඔවුන්ට හානිකර තත්ත්වයේ බලපෑම් ඇති වූ බව පිළිගත යුතුය. එහෙත් ඒවා ඇති කරන වෙනත් අරමුණු සහිත ව්‍යාපෘති මඟීන් කරන්නේ තමන් මුලින් කැමති දේ නැවත සිඳුවෙද්දි දරා ගන්නට බැරි තරමේ වෛරයකින් තමන් මුලදී අකමැතිව සිටි දේ ම සිඳුවෙන්නට ප්‍රාර්ථනා කිරීමය.සරලව ගත් විට ශ්‍රී ලංකාව පරාජය වීමෙන් ඇති කර ගත් කෝපය වෙනත් ව්‍යාපෘතිවලින් උදුරා ගෙන ඔවුන්ගේ අච්චුවේ තැන්පත් කරමින් හැඳූ පසු, දැන් සිඳු වී තිබෙන්නේ පරාජය නොවන විට කෝපයක් ඇති වීමය.මෙවැනි පිරිසක් මේ වන විට දකින්නට ලැබීම කණගාටුදායක තත්ත්වයකි.


මේ වන විට විශ්වාසය ඉහළින් කණ්ඩායම තුළ තිබෙන බව පෙනේ.එහෙත් තවමත් ස්වයං පාලනය සම්බන්ධයෙන් එකිනෙකා තුළ ඇති කර ගත යුතු සංශෝධනද දකින්නට ඇත.උදාහරණයකට විස්සයි විස්ස දෙවන තරගය ශ්‍රී ලංකාවේ පන්දුවට පහරදීම ආරම්භය සැළකූ විට ලකුණු පූවරුව 200 ඉක්මවා යා යුතුව තිබිණ.එවැනි තත්ත්වයක ප්‍රහාරයට යම් ආකාරයක ඉවසීමද මුසු කර ගන්නට හැකියාව තිබිණි නම් කුසල් මෙණ්ඩිස්,වනිඳු හසරංග වැනි ක්‍රීඩකයන්ගේ ඉණිම් නැවතුණු තැන් පසු කර තව බොහෝ දුර යා හැකිව තිබිණි.


එසේම මහේෂ් තීක්ෂණ සිම්බාබ්වේ දෙවන තරගයේදී අත හැරිය ආකාරයේ උඩ පන්දුවක් නැවත බිම දැම්මේය.එකම ආකාරයට වැරදි වීම යනු අතපසුවීමක් විය නොහැකිය.දුර්වලකමකි.එසේම ඔහු පන්දුව කඩුල්ලට භාර ගැනීමේදී ස්ථානගත වන ආකාරයේ අවුලක් ද දකින්නට ලැබිණි.එසේ වුවේ නම් ඊයේ ඇෆ්ගන් ඉණිම ඔය තරම්වත් දුරක් නොයන්නට තිබිණ.වැරදි තැන සිට පන්දුව භාර ගැනීම නිසා තීක්ෂණට දුවද්දී දැවී යාමක් මඟ හැරිණි.කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ පන්දු රැකීම යහපත් මට්ටමක පවතින බව පැහැදිළිය.


ශ්‍රී ලංකාව මේ තරගයේදී ලැබූ ලකුණු 187 ට ඇෆ්ගන් පන්දු යවන්නන් ලබා දී තිබුණේ එක් වයිඩ් පන්දුවක් පමණි.පන්දු ඕවර් 20 ක් ම ඔවුන් පන්දු යවද්දි ඉලක්කය කළමණාකරණය කරගෙන පන්දු යැවීමේ හැකියාව ඔවුන් පෙන්වා දෙයි.එහෙත් පන්දු ඕවර් 17 දී ලකුණු 115 ට ඇෆ්ගනිස්තානය දැවෙන විට යවා ඇති වයිඩ් පන්දු ගණන 9 කි.එහි ඇති නරකම තත්ත්වයනම් ශ්‍රී ලංකාව පන්දු ඕවර් 17 තුළ පන්දු ඕවර් 1.3 ක් වැඩි පුර යවා තිබීමය.


විස්සයි විස්ස තරගයක වුව ඇද වැටෙන තත්ත්වයක දී ඒ ආකාරයෙන්ම ක්‍රීඩා කිරීම දුෂ්කරය.නැවත නැඟිටින්නට අවශ්‍යය හුස්ම ගැනීමට යම් වේලාවක් ගැනීම වැදගත්ය.සදීර සමරවික්‍රම ඊයේ සිදු කළේ ඒ දේ ය.ඇන්ජලෝ මැතිව්ස් ද නිදහසේ ප්‍රහාරයකට සූදානම් වන්නට ඉඩ ලබා ගත්තේය.අවසානයේ ශ්‍රී ලංකා ඉණිම නිම වන විට හයවන කඩුල්ලේ සබදතාවය 66 ක් වී තිබිණි.එම 66 පැමිණ තිබුණේ පන්දු 34 න් ය.සදීර පළමු අර්ධ ශතකය එකතු කර ගැනීසට සමත් විය.ඇන්ජලෝ මැකිවිස් අවසාන භාගයේදී දැඩි ප්‍රහාරයක නියැලෙමින් පන්දු 22 දී නොදැවී ලකුණු 42 ක් ලබා ගත්තේ හයේ පහර හතරක් ද සමඟය.


මැතිව්ස් සිය අත්දැකීම් නිසි පරිදි ප්‍රයෝජනයට ගත් ආකාරයෙන්ම ඇෆ්ගනිස්තානය සතු අත්දැකීම් බහුලම ක්‍රීඩකයා මොහොමඩ් නාබි ද සිය පන්දු ඒවර් 4 ලකුණු 25 සීමා කරමින් කඩුලු 2 ක් දවා ගනිමින් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් හොඳම පන්දු යැවීම සිඳු කළේය.එපමණක් නොව ඔහු ඇෆ්ගන් ඉණිමේ හොඳ කඩුලු සබඳතාවය වූ හයවන කඩුල්ලට වාර්තා වූ ලකුණු 39 ට දායක වෙමින් පන්දු 17 න් ලකුණු 27 ක් ලැබූ අතර ඔහුගේ හයව කඩුල්ලේ සබඳතාවයේ සඟයා වූ කරීම් ජනාත් වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 28 ක් රැස් කළේය.මැතිවිස් නමට ද ඇෆ්ගන් කඩුලු 2 ක් එකතු වී තිබිණ.පන්දු ඕවර් 4 ලකුණු 19 ට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගත් වනිදු හසරංග මනා පාලනයකින් පන්දු යැවූ අතර මතීශ පතිරණ පළමු තරගයේ දී මෙන්ම තර්ජණාත්මක ආකාරයකින් පන්දු යැවූ නමුත් වයිඩ් පන්දු 5 ක් ම සිය පන්දු ඕවර් තුනට සඳහන් කළේ තව දුරටත් එල්ලය ගැන අවබෝධයකින් පන්දු යැවීමට උනන්දු විය යුතු බව පැහැදිළි කරමින්ය.
තෙවන සහ අවසාන විස්සයි විස්ස තරගය ඇෆ්ගන් සංචාරයේ නිමාව සනිටුහන් කරන තරගය වන අතර එය ද ශ්‍රී ලංකාව ජය ගතහොත් මේ තරගාවලියේ සෑම තරගයකම ලද පරාජයන් සමඟ ඇෆ්ගනිස්තානයට සිය රට බලා යාමට සිඳුවෙනු ඇත.ලෝකයේ නිදහස අඩුම රාජ්‍යයක් හැටියට ප්‍රතික්ෂේපිත දේශපාලනයක පීඩනය යටතේ ජිවත්වන පුරවැසියන්ගේ නියෝජනයක් වන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින් සිය ජිවිත ගෙවන්නේ විදෙස් රටවල පවතින සැණකෙළි ක්‍රිකට් සංස්කෘතින් සමඟය.ඒ අනුව නිරන්තරයෙන් ජාත්‍යන්තර අත්දැකීම් සමඟ ගැටෙමින් සිටින ඔවුන් අදක්ෂයන් නොවන අතර ශ්‍රී ලංකාවේ දක්ෂතාවලින් ඔවුන් යටපත් වූ බව අවංකව පිළිගත යුතුය.


අප මේ දකින්නේ ක්‍රිකට් පිටිය ඉක්මවා ගිය දේශපාලන කුණාටුවකින් පසුව නැවත හුස්ම ගැනීමේ සංඥා නිකුත් කරමින් සිටින ක්‍රිකට්ය.ඒ හුස්මට කාබනික විමෝචනය අඩු ආලෝක පද්ධතියක් සහිත අලුත් හැඩයකින් එකතු වුණ දඹුල්ල ක්‍රීඩාංගණයේ නව්‍යතාවය සමරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජයග්‍රහණ දෙකක් එකතුවීම ද අපූරුය.එකක් ක්‍රිකට් කණ්ඩායම ජය ගැනීමය.දෙක ඉදිකිරීමේ සාර්ථකත්වයට ජාත්‍යන්තර වශයෙන් ලැබුණ ඇගයීමය.


තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න → https://www.espncricinfo.com/series/sri-lanka-vs-afghanistan-2023-24-1416068/sri-lanka-vs-afghanistan-2nd-t20i-1416078/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan