දිගු කාලයකට පසු චීන නියෝජිතයකු තායිවානයේ සංචාරය..

Date:

කොවිඩ් වසංගතයෙන් පසු චීන නියෝජිතයකු තායිවානයේ සංචාරය කළ පළමු අවස්ථාව පසුගියදා වාර්තා විය. චීනයේ ෂැංහායි නුවර තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ලි ෂියාඕඩොං තායිවානයට පැමිණියේ එරට පැවැත්වෙන සුප්‍රකට ලැන්ටරන් උත්සවයට සහභාගි වීමට බව මුලින් සඳහන් වූව ද, සැබැවින්ම ඔහුගේ සංචාරයේ අරමුණ වී තිබුණේ එරට ප්‍රධාන විපක්ෂය වන කුමින්ටැං පක්ෂයේ (කේඑම්ටී) නායකයන් මුණ ගැසීමය. ඒ සඳහා චීන නියෝජිතයාට ඇරයුම් කර තිබුණේ ද එම පක්ෂයට අයත් නගරාධිපතිවරයකු විසිනි.

තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ලි ෂියාඕඩොං ඇතුළු කණ්ඩායම තායිවානයට ගොඩ බට සැණින් එරට පුවත්පත් වාර්තාකරුවන් ගුවන්තොටුපොළේ දීම ඔහු වටකර ගත්ත ද, කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමට තරම් ඔහු පරිස්සම් වී තිබේ. ගුවන්තොටුපොළ අවට විරෝධතා රැලියක් ද සංවිධාන කර තිබූ අතර, ‘තායිවානය හා චීනය වෙනස් රටවල් දෙකක්’ ලෙස එම විරෝධතාකරුවන් හඬ නඟන්නට වූ බව ද වාර්තා වේ. ඇතැමුන් ‘චීන්නු රටින් ඉවත් වෙයල්ලා’ යනුවෙන් ද කෑගසන්නට වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන නියෝජිතයාගේ දින තුනක තායිවාන සංචාරයට එරට රජයේ අනුමැතිය ලැබී තිබුණ ද, ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීමට බුද්ධි අංශයට උපදෙස් සැපයූ බවටත් වාර්තා විය. කෙසේ වෙතත් චීන නියෝජිතයාගේ ආරක්ෂාව වෙනුවෙන් තායිවාන රජය බැඳී සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සංචාරය තායිවාන රජයේ චීන ප්‍රතිපත්තිය පමණක් නොව එරට චීන හිතවාදී විපක්ෂයේ කටයුතු ද දැඩි උණුසුම් මුහුණුවරක් ගැනීමට සමත් විය. පසුගිය වසරේදී අමෙරිකාවේ එවකට හිටපු කතානායිකාව වූ නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය සම්බන්ධව චීනය දැක් වූ විරෝධතාව මුළුමනින්ම පුස්සක් බවට පත්ව තිබූ අතර, මෙවර චීන නියෝජිතයාගේ තායිවාන සංචාරය ඊට ප්‍රතිචාර දැක්වීමක් බවත් සඳහන් වේ.

තායිවානයේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේදීය. චීන නියෝජිතයා තායිවානයට පැමිණියේ ඒ සඳහා විපක්ෂය දිරිගැන්වීමටය. වත්මන් ජනාධිපතිනිය සායි ඉං වැංග් අමෙරිකානු හිතවාදිනියක වීමත්, ඇය චීනයට එරෙහිව කටයුතු කිරීමත් හේතුවෙන් තායිවානයට චීන හිතවාදී ජනාධිපතිවරයකු පත් කිරීමේ අවශ්‍යතාව චීනයට හොඳින්ම දැනී තිබේ.

චීන විරෝධී බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් තායිවානයේ සංචාරය කිරීම චීනයේ කෝපයට හේතුවකි. තායිවානය සිය භූමියේම කොටසක් බව චීනය තවමත් කියයි. ඉන් නොනැවතී ඔවුන් තායිවාන ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් හමුදා අභ්‍යාස පැවැත්වීමට කටයුතු කර තිබේ. පසුගිය වසර දෙක ඇතුළත එවැනි හමුදා අභ්‍යාස විශාල වශයෙන් පවත්වා ඇති අතර, තායිවාන මුහුදු සීමාව සහ ගුවන් සීමාව ආක්‍රමණය කළ චීන යුද නෞකා සහ ප්‍රහාරක ගුවන්යානා සංඛ්‍යාව ද අතිවිශාලය. දකුණු චීන මුහුදේ දේශපාලන උණුසුම ඉහළ ගියේ මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...