ගල් අඟුරු ටෙන්ඩරය හොඳම කෙනාටයි තෝරලා දුන්නේ. වැඩේ හරියටම යනවා. විපක්ෂය බොරුවට නටන්නේ – ඇමති එරංග

0
5

ගල් අඟුරු ටෙන්ඩරය අදාළ ප්‍රසම්පාදනය ක්‍රියාවලිය නිවැරදිවම ක්‍රියාත්මක කරමින් හොඳම සමාගමට ලබාදී ඇති බවත් එහි යම්කිසි ගැටලුවක් සිදුව ඇත්නම් ටෙන්ඩර් කොන්දේසි අනුවම වන්දි අයකර ගතහැකි බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

“ගල් අඟුරු ප්‍රශ්නයම ගන්නකො, දැන් ඔය වගේ ප්‍රශ්න කීයක් ඒගොල්ලො මතු කළාද ? දැන් මොකක්ද වෙලා තියෙන්නෙ ? සතියක් දෙකක් මොකක්හරි ඒගොල්ලන්ගෙ වොයිස්කට් ටිකක් දීගෙන නැටුමක් නටනවා. හැබැයි ඊටපස්සෙ ටික දවසක් වෙද්දී නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ, මොකුත් නෑ. ඊටපස්සෙ ආයෙ තව මොකක්හරි ගේනවා. ගල් අඟුරු ප්‍රශ්නය ගත්තත් මොකක්ද දැන් මේ වෙලා තියෙන්නෙ ? අපේ රටේ මීට පෙර විශාල ටෙන්ඩර් ප්‍රමාණයක මගඩි සිද්ධ වෙමින් තිබුණා. ඒගොල්ලන්ගෙ පවුල්වලට සම්බන්ධ, ඒගොල්ලන්ගෙ හිතවතුන්ට සම්බන්ධ අයට තමයි ඒ ටෙන්ඩර් ඔක්කොම ගියේ. වෙච්ච දේ තමයි ටෙන්ඩර් එක දානවා, දාලා ටික දවසක් යද්දී ඒ දාලා තියෙන ටෙන්ඩර් එකට වඩා කීයක්හරි අඩුවෙන් දෙනවා කියලා කැබිනට් එකට ඉදිරිපත් කරලා කැබිනට් එකේ අනුකමිටුවක් දාලා ඒකට අනුව මේවා දෙනවා. ඕක තමයි හැමදාම වුණේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නෙ ? ඉතිහාසයේ පළවෙනි වතාවට ගල් අඟුරු ටෙන්ඩරයට 11 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ 11 දෙනාගෙන් හොඳම කෙනාව නීත්‍යානුකූලව, නියමිත පරිදි තෝරාගෙන තියෙනවා. ඒ තෝරාගත්තාට පස්සෙ ඒකට අදාළ නිර්ණායක තියෙනවා. ඒ නිර්ණායකවලට අනුව ගල් අඟුරුවල අවුලක් වෙලා තියෙනවා නම් ඒ කොන්දේසිවලටම අනුව දඩ ගහන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් හරියටම ඒ ක්‍රියාවලිය යනවා. එතකොට මේවා ඔක්කොම යද්දී තමයි සතියකට දෙකකට මොකක්හරි චැනල් එකක් අල්ලාගෙන, නැත්නම් මාධ්‍ය සාකච්ඡාවක් අරගෙන නැටුමක් නටනවා. අන්තිමට බෙරයයි පළුවයි දෙකම නෑ. ගල් අඟුරු සම්බන්ධයෙනුත් අනිත් දේවල් සම්බන්ධයෙනුත් නිශ්චිත ක්‍රමවේදයන්ට අනුව අපේ වැඩපිළිවෙල යනවා. ඒ අදාළ ක්‍රමවේදය අනුව තමයි වැඩේ යන්නෙ. හැබැයි ඒගොල්ලන්ගෙ යාළුවන්ට මේවා එන්නෙ නැතිවුණාට පස්සෙ ඒගොල්ලො කලබල වෙලා තියෙනවා. ඒ යාළුවො තමතමන්ගෙ න්‍යාය පත්‍ර අරගෙන ඒගොල්ලන්ගෙ පරණ දේශපාලන අවතාර අරගෙන හොල්මන් කරන්න පටන් අරන් තියෙනවා. හැබැයි අපි ජනතාවත් එක්ක මේ පියවර ඉදිරියටම අරන් යනවා, කිසිදු ගැටලුවක් වෙලා නෑ. ගැටලු වුණොත් ඒ කොන්දේසිවල ඒවාට මැදිහත් වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි දැන් යනවා මේ පාඩුව ජනතාවට පටවන්න යනවා කියලා, කිසිසේත්ම නෑ. ඒක තමයි කොන්දේසිවල තියෙන්නෙ වැරැද්දක් තියෙනවා නම් ඒකට අදාළ වන්දි ගෙවීම් සිදුවෙන්න ඕනෙ කියලා. වන්දි ගෙවලාත් තියෙනවා. ඉස්සරහට තියෙනවා නම් තවත් ඒවාට වන්දි ගන්නවා”

එරංග ගුණසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (25) කොලොන්නාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.