සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම:දේශපාලන කෝණයෙන් බලන්න එපා. නීතියට ඉහළින් කවුරුත් නැහැ – කතෝලික සභාව

0
1

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පාස්කු විමර්ශනවලට අදාළව ඊයේ (25) දින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අද (26) අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී උන්වහන්සේ පැහැදිලිවම ප්‍රකශ කළේ මෙය දේශපාලන කෝණයෙන් නොබලා සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක වීම යන තැනින් සලකන ලෙසයි.

”දැනට එම පුද්ගලයා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ විය හැකිද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සැකකරු ලෙස පමණක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වැරදිකරුවෙක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ අධිකරණය විසින්. ඒ නිසා, මේ අවස්ථාවේ කලබල වී අවසන් තීන්දුවක් දෙන ප්‍රකාශ කිරීම හෝ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය මත පැතිරවීම කිසිසේත්ම සුදුසු නෑ. රටක් ලෙස අපි කළ යුත්තේ, මේ විමර්ශන දිහා ඉවසීමෙන්, විමසිල්ලෙන් බලා සිටීමයි. විමර්ශනවල ප්‍රතිඵල මොනවාද කියලා බලලා, නීතියට ඉඩ දීම තමයි වගකීම” යනුවෙන් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරන ලදී.

දැනට සිදුව ඇති අත්අඩංගුවට ගැනීම පිළිබඳව විවිධ අර්ථකථන දී, සමාජය තුළ වැරදි ආකල්ප සහ වැරදි අදහස් ගොඩනගන්නා ඕනෑම උත්සාහයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි උන්වහන්සේ කියා සිටියේ.

”අපි දැක්කේ, මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් “ආගමික නායකයෙක්”, “ආරක්ෂක අංශයක නිලධාරියෙක්”, “හමුදා සාමාජිකයෙක්”, “දේශපාලකයෙක්” හෝ “ප්‍රභූවරයෙක්” යන හැඳින්වීම් ඉදිරිපත් කරමින්, නීතියෙන් වෙන් කර බැලිය යුතු පුද්ගලයෙකු ලෙස පෙන්වීමට උත්සාහ කරන අදහස්. එවැනි අදහස් සම්පූර්ණයෙන්ම වැරදියි.

අපි මතක තබාගත යුතු මූලික කරුණක් තියෙනවා. ඒ තමයි නීතිය හැම කෙනෙකුටම එකසේ, සාධාරණව ක්‍රියාත්මක විය යුතු බව. “කවුරුත් නීතියට ඉහළින් නැහැ” කියන මූලධර්මයයි නීතියේ ආධිපත්‍යය කියන්නේ. ඒ නිසා, කෙනෙකුගේ තනතුර, වෘත්තිය, හෝ අතීතයේ කළ යහපත් කාර්යයන් කිසිවක් නීතිය ක්‍රියාත්මක වීමේදී අදාළ නොවෙයි. නීතියේ ආධිපත්‍යය සත්‍ය ලෙස ස්ථාපිත වීමට නම්, එය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට හැමෝම දායක විය යුතුයි. ඒකට බාධා කිරීම කිසිසේත්ම සුදුසු දෙයක් නෙමෙයි.”

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විශේෂයෙන් පැවති ආණ්ඩු සමයන්හි විමර්ශනයක් සිදු නොවූ බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

කතෝලික සභාව ලෙස වසර හතක් පුරා ඉවසීමෙන් යුක්තිය, සාධාරණත්වය සහ සත්‍යය ඉල්ලා සිටි අතර ස්වාධීන, පක්ෂපාතී නොවන විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටි බවත් මෙම ඛේදවාචකය පිටුපස සැඟවී ඇති සත්‍යය හෙළි කර වරදකරුවන් සියලු දෙනාට නීතිය අනුව දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවඩ් උන්වහන්සේ සඳහන් කළහ.

”2024 නොවැම්බර් මාසයෙන් පසු, නැවත වරක් මේ විමර්ශන ක්‍රියාවලිය ක්‍රමවත් ලෙස ආරම්භ වුණා. මාස 16කට ආසන්න කාලයක් පුරා මේ විමර්ශන ස්වාධීනව සිදුවෙමින් පවතින බව අපට පෙනෙනවා. ඒ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසයි දැන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ.”

”මෙය දේශපාලන කරුණක් ලෙස අර්ථකථනය කිරීමට හෝ ජාතිවාදය, ආගම්වාදය අවුස්සා මේ විමර්ශනවලට බාධා කිරීමට උත්සාහ කිරීම, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සෑම අහිංසක ජීවිතයකටම සහ තවමත් ජීවිත පුරා වේදනාවෙන් ජීවත් වන වින්දිතයන්ට කරන දැඩි අසාධාරණයක්.මෙය සාමාන්‍ය අපරාධයක් නෙමෙයි. මෙය මිනිස් ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි කළ, රටම කම්පනයට පත් කළ මහා සමූල ඝාතනයක්. ඒ නිසා, මේකේ පිටුපස තිබෙන සත්‍යය හෙළි විය යුතුයි.”

ඒ අනුව මෙම විමර්ශන ස්වාධීනව, බාධාවකින් තොරව ඉදිරියට යාමට ඉඩ දෙන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින අතර යුක්තිය ප්‍රමාද වුණත්, අවසානයේ එය ඉෂ්ට වෙනු ඇතැයි යන විශ්වාසයද පවතින බව සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළහ.