ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල යන මහත්වරුන් සිය ධූර වලින් ඉල්ලා අස් වී තිබේ.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපි අද (17) ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.
ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව විශේෂ ජනාධිපති කොමිසම පත් කරන ලද අතර එම විමර්ශනවල ස්වාධීන බව වෙනුවෙන් උක්ත ඉල්ලා අස්වීම් සිදුව තිබේ.
ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් මගින් ජනාධිපතිවරයා වෙත ඇති දූෂණයට එරෙහි සහ ජන වරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය තමන් අගය කරන බව ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කර ඇත.
ඒ අනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවට තමන් විශ්වාස කරන බවත් විමර්ශනය සිදු වන අතරතුර තමා එම තනතුරේ රැඳී සිටීම පවා ඊට බාධාවක් වනු ඇත යන ස්ථාවරය මත පිහිටා අද (17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු දැනුම් දී තිබේ.
මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත විමර්ශනවලට අවහිරයක් නොවීම සහ විමර්ශනවල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ඊට පහසුකම් සැලසෙන පරිදි තමන් දරන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම යෝග්‍ය බවට තමන් විශ්වාස කරන බවයි.
ඒ අනුව අදාළ විශේෂ ජනාධිපති කොමිසමේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරුන් පත්කර තිබේ.
මෙම කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.වී. බන්දුලසේන මහතා පත් කර ඇත.


