*
Friday, September 27, 2024
spot_img

Latest Posts

ව්‍යවස්ථා විරෝධී තැනකට රාජ්‍ය පාලනය තල්ලු කිරීමෙන් මෙරට දේශපාලනයේ අනාගත පිපිරීම ආරම්භ විය හැකියි – චරිත

ව්‍යවස්ථා විරෝධී තැනකට රාජ්‍ය පාලනය තල්ලු කිරීමෙන් මෙරට දේශපාලනයේ අනාගත පිපිරීම ආරම්භ විය හැකි බව නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි;

වත්මන් නායකත්වය සහ ආණ්ඩුව ක්‍රියාත්මක කරනා අර්බුදකාරී පාලනතන්ත්‍රය පිළිබඳ විග්‍රහ කරනා මහාචාර්ය චරිත හේරත් මහතා,

“මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් යන වඩාත් බරපතළම අර්බුදය වන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය සමග සෙල්ලම් කිරීමට පටන්  ගැනීමය. 2023 පළාත් පාලන මැතිවරණය කල් දමන්නට මේ රජය මේ වනවිට නොකළ දෙයක් නැත. විධායක ජනාධිපතිධූරයේ හැම පැත්තක්ම යොදා ගනිමින් ඔවුන් කරන්නේ ඡන්දය කල්දැමීමට උප්පරවැට්ටියක් දැමීමය.

ඡන්ද බලය යනු ජනතාවගේ පරමාධිපත්‍ය පෙන්නුම් කරන බලයක්ය. ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ දැක්වෙන්නේ ‘ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එම පරමාධිපත්‍ය අත්හැරිය නොහැකි බවයි. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන බවයි. (අවධාරණය මගේ).

ව්‍යවස්ථාවේ මේ වගන්තියේ තිබෙන වැදගත් කාරණයක් වන්නේ පරමාධිපත්‍යය ප්‍රධාන ධාරා 03ක් හරහා ක්‍රියාත්මක වන බවයි. එනම් 1. පාලන බලතල ජනතාව විසින් පත් කරන ලද විධායක ජනාධිපතිවරයකු හරහාත් 2. මූලික අයිතිවාසිකම් රටේ ව්‍යවස්ථාදායක හා විධායකය විසින් පත් කරන අධිකරණයක් හරහාත් 3. ඡන්ද බලය ජනතාව විසින් සෘජුවත් ක්‍රියාත්මක කරන බවයි. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නෙ මෙම පරමාධිපත්‍යය බලයේ ජනතාව විසින් සෘජුවම ක්‍රියාත්මක කරන ඡන්ද බලයට ඉඩ ඇහිරීම හරහා පරමාධිපත්‍යය වැළැක්වීමටය. 

මේ දිනවල සමහරුන් මතු කරන තර්කයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඉ) වගන්තියේ දැක්වෙන්නේ ප්‍රධාන මැතිවරණ වර්ග 03ක් (එනම් ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ ජනමත විචාරණය) පමණක් බවත් එනිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකට සම්බන්ධයක් නැති බවත්ය. මේ තර්කය පදනම් විරහිත එකක් පමණක් නොව අමනෝඥ එකක්ද වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන අවස්ථාවේ මේ රටේ පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා පිහිටුවා තිබුණේ නැත.

පළාත් සභා පනත අනුමත වූයේ 1987 වන අතර අද තිබෙන ප්‍රාදේශීය සභා පනත අනුමත වූයේ 1989 දීය. ඒ නිසා මෙම මැතිවරණ දෙක ව්‍යවස්ථාවට එක්වී ඇත්තේ පසුව ගෙනා ව්‍යවස්ථා සංශෝධන මගින්ය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළත් එසේම එයින් පසුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (ආ) 1 වගන්තිය මගින් නිශ්චිතවම මැතිවරණ 05ක් (එනම් ජනාධිපතිවරණය, මහ මැතිවරණය පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය  සහ ජනමත විචාරණය) ව්‍යවස්ථාපිත මැතිවරණ ලෙසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පවරා ඇත. 

එපමණක් ද නොවේ. මෙම මැතිවරණ 05ට සම්බන්ධ ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති අවස්ථාවක රටේ සියලුම නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවේ බලයට යටත් වන බව 104 ආ (2) වගන්තිය මගින් ව්‍යවස්ථාපිත කර ඇත. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මුද්‍රණාලාධිපති වැනි නිලධාරීන් මේ නීතියට යටත් නොවිය හැක්කේ ඒ අය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉහළින් සිටිනවා නම් පමණය. 

එසේම ව්‍යවස්ථාවේ 61 ඈ වගන්තියට අනුව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බව සෑම නිලධාරියකු විසින් දිවුරුම් දිය යුතුව ඇත. හතරවැනි උපලේඛනයේ  තිබෙන එම දිවුරුම් ප්‍රකාශය  තුළ දැක්වෙන්නේ සෑම නිලධාරියෙක්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාත වන බවට සහ එය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දිය යුතු බවය. 

ඒත් මෙවර මැතිවරණය සම්බන්ධයෙන් මුදල් ලේකම් සහ මුද්‍රණලයාධිපතිනිය  කටයුතු කරන ආකාරයෙන් පෙනී යන්නේ ඒ දෙපොල මෙම දිවුරුම කරන්නේ යම් ව්‍යතිරේඛයන්ට යටත්ව බවයි. ඒ අය කියන්නේ ව්‍යවස්ථාවට පක්ෂපාත වුවත් එය ආරක්ෂා කරන්නේ සල්ලි තිබුණොත් පමණක් බවයි. 

මෙරට දේශපාලනයේ අනාගත පිපිරීම ආරම්භ විය හැක්කේ මෙවැනි ව්‍යවස්ථා විරෝධී තැනකට රාජ්‍ය පාලනය තල්ලු කිරීමෙන්ය. මෙය වැළැක්වීම රජය නොපමාව සිදුකළ යුතු බවයි.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan