*
Thursday, June 13, 2024
spot_img

Latest Posts

රුපියල රැක ගැනීමේ සටනේ ජයග්‍රාහී වර්ෂ පූර්ණය

එළඹෙන බදාදා (මාර්තු 8 ) සිට විණිමය අනුපාතය නැවතත් නිදහසේ තීරණය වෙනවා. ඒ සමඟම මහ බැංකුව විසින් පසුගිය වසරේ මැයි 2 දින සිට විණිමය අනුපාතය මත පනවා තිබුණු විචලන සීමා මුළුමනින්ම ඉවත් වෙනවා. ඒ වගේම, වාණිජ බැංකු වලට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයෙන් කොටසක් අනිවාර්යයෙන්ම මහ බැංකුවට විකිණිය යුතු බවට වූ නියමයද ඉවත් වෙනවා. මෙය මහ බැංකුව විසින් සැලසුම්සහගතව ක්‍රියාත්මක කළ, ජයග්‍රණයෙන් අවසන්ව ඇති, සාර්ථක සටනක් බව කුහකකමක් නැති කාට වුනත් පිළිගන්න වෙනවා. එම ජයග්‍රහණයේ නියමුවා වන ආචාර්ය නන්දලාල් වීරසිංහට හා ඔහුගේ සොල්දාදුවන්ට මේ වෙනුවෙන් ජාතික මුදල් ඒකකයේ චිරස්ථිතිය වෙනුවෙන් පෙනී සිටින කාගේත් ප්‍රණාමය හිමි විය යුතුයි.

මහ බැංකුව විසින් මේ ජයග්‍රහණය අත් කරගෙන තිබෙන්නේ වඩා කල් ගත වන දිගුකාලීන යුද්ධයක නිරතව සිටින අතරයි. යුද්ධය තවමත් අවසන් නැහැ. ඒ වගේම, මේ යුද්ධයේදී මහ බැංකුව සටන් කරන්නේ එක් පෙරමුණක පමණයි. එම පෙරමුණ තුළ සටන් ජයග්‍රහණය කළ පමණින් යුද්ධය අවසන් වන්නේ නැහැ. මහ බැංකුව සටන් කරන පෙරමුණ තුළම වුවත් මෙය එක් සටනක් පමණයි. එහෙත්, මෙය ඉතාම වැදගත් හා තීරණාත්මක සටනක්.

ලංකාවේ ආර්ථික අර්බුදය රටට නිදහස ලැබුණු කාලයේ සිටම වර්ධනය වූවක් වුවත්, එහි අවසාන අදියර ඇරඹෙන්නේ පසුගිය 2022 වසරේ මාර්තු 8 සිටයි. එම දිනය එතෙක් මාස ගණනක් රුපියල් 200 සීමාවේ හිර කරගෙන සිටි ඩොලරයක මිල එසේ රඳවාගත නොහැකිව “නූල කැඩී” ඉබාගාතේ පාවෙන්නට පටන් ගත් 2022 මාර්තු 9 දිනයට පෙර, මහ බැංකුවට විණිමය අනුපාතය මත බලපෑම් කළ හැකි වූ අවසන් දිනයයි.

වසරකට පසු මහ බැංකුව විසින් නැවතත් එම පාලනය අතට ගෙන තිබෙනවා. මෙම කාලය තුළ, මහ බැංකුව විසුරුවා හැර මුදල් මණ්ඩලයක් හැදීම හැර වෙනත් විසඳුමක් නැති බව පැවසූ ජාත්‍යන්තර විශේෂඥයින් පවා සිටියා. එම දිනයේ සිට හරියටම වසරක් ඇතුළත රුපියලේ බාහිර අගය ස්ථාවර කර ගැනීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. මෙය මහ බැංකුව විසින් ජයග්‍රහණයෙන් අවසන් කළ දෙවන සටනයි. පළමු සටන වූයේ උද්ධමනය පාලනය කර රුපියලේ අභ්‍යන්තර අගය ස්ථාවර කිරීමයි.

රටක මහ බැංකුවක ප්‍රධානම වගකීම වනුයේ මිල ස්ථායීතාවය පවත්වා ගැනීමයි. වෙනත් අයුරකින් කිවහොත්, ජාතික මුදල් ඒකකයේ වටිනාකම සුරක්ෂිත කිරීමයි.

මුදල් ඒකකයක වටිනාකම මනින ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදල් ඒකකයේ වටිනාකම මැනීමයි. උද්ධමනය යනු මෙය මනින මිනුමයි. උද්ධමනය මුදල් ඒකකයක අභ්‍යන්තර වටිනාකම පිළිබිඹු කරනවා. දෙවන ක්‍රමය අනෙකුත් විදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව මුදල් ඒකකයේ වටිනාකම මැනීමයි. මෙහිදී මැනෙන්නේ මුදල් ඒකකයක බාහිර වටිනාකමයි. විණිමය අනුපාතය ඇසුරෙන් එම වටිනාකම මැනෙනවා.

අභ්‍යන්තර වටිනාකමක් නැති මුදල් ඒකකයකට බාහිර වටිනාකමක් පවත්වාගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මුදල් ඒකකයක අභ්‍යන්තර වටිනාකම තර්ජනයට ලක් වී ඇති විටෙක පළමුව මුළු අවධානයම යෙදිය යුත්තේ එම වටිනාකම නැවත තහවුරු කිරීමටයි. මහ බැංකුව විසින් නිවැරදි ලෙස මේ කටයුත්ත සිදු කළා. පසුගිය සැප්තැම්බර් මාසය වන විටත් මහ බැංකුව මේ පළමු සටන ජයගෙන අවසන්. ඉන් පසුව, මහ බැංකුව රුපියලේ බාහිර වටිනාකම නැවත ගොඩ නැංවීම සඳහා දෙවන සටන පටන් ගත්තා. මේ වන විට ජයගෙන තිබෙන්නේ එම සටනයි. දැන් රුපියල නොවටිනා මුදල් ඒකකයක් වීමේ අවදානමක් නැහැ. ඒ වගේම උද්ධමනය අපේක්ෂිත මට්ටමේ තබා ගැනීම සහ ඩොලරයක මිල වේගයෙන් ඉහළ යාම පිළිබඳ අවදානමක්ද නැහැ. එහෙත්, කවර හෝ හේතුවක් නිසා මහ බැංකුව මෙතෙක් පැමිණි පාරෙන් පිට පැන්නොත් තත්ත්වය වෙනස් විය හැකියි.

පොලී අනුපාතික පහළින් තබා ගැනීම මහ බැංකුවේ ප්‍රමුඛ කාර්යයක් නෙමෙයි. එහෙත්, ඉහළ පොලී අනුපාතික එලෙස දිගටම පැවතීම රටේ මූල්‍ය පද්ධතිය කෙරෙහි අහිතකර ලෙස බලපාන්නේනම්, ඒ තත්ත්වය වෙනස් කර ගැනීම මහ බැංකුවේ වගකීමක්. මහ බැංකුවේ මීළඟ සටන පොලී අනුපාතික අඩු කරගැනීම වෙනුවෙන් විය හැකියි. එහෙත්, මහ බැංකුව සතු සම්පත් ඕනෑවට වඩා වැඩියෙන් මේ පෙරමුණ වෙත යොමු කළහොත් නැවතත් පෙර ජයග්‍රහණය කළ ප්‍රදේශ අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුවට පොලී අනුපාතික අඩු කිරීමේ ඉලක්කය වෙත යන්න වෙන්නේ හෙමින් සහ සැලකිල්ලෙන්.

මෙය පසුගිය වසර තුළ මහ බැංකුව විසින් රුපියලේ බාහිර අගය ස්ථාවර කර ගැනීම දක්වා ආ ගමන පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්. එම ගමන් මාර්ගය නිසි ලෙස අවබෝධ කරගත් පසුව පසුගිය සතියේ පහළ ගිය, ඉදිරි සතියේදී තව දුරටත් පහළ යාමට ඉඩ තිබෙන, විණිමය අනුපාතය මගින් පෙන්වන්නේ සුනාමියකට පෙර මුහුදේ ජල මට්ටම අඩු වීමක් නොවන බව පැහැදිලි වෙයි.

ලංකාවේ ක්‍රියාත්මක විදේශ විණිමය ප්‍රතිපත්තිය පාලිත නම්‍ය විදේශ විණිමය ප්‍රතිපත්තියක්. විදේශ විණිමය ප්‍රතිපත්තියක් තුළ විණිමය අනුපාතය තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. ලංකාවේ සන්දර්භය තුළ නිශ්චිතව කිවුවොත්, වාණිජ බැංකු අතර සිදුවන එතැන් ගනුදෙනු වල විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම මතයි. පාරිභෝගිකයන්ට ලැබෙන ගැනුම් මිල හා සිල්ලර මිල මෙන්ම කළුකඩ මිලද මාර්ගෝපදේශනය කරන්නේ මෙම එතැන් විදේශ විණිමය වෙළඳපොළ සමතුලිත මිලයි.

ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය පූර්ණ නම්‍ය විදේශ විණිමය ප්‍රතිපත්තියක් නොවී පාලිත නම්‍ය විදේශ විණිමය ප්‍රතිපත්තියක් වන්නේ මහ බැංකුව විසින්ද මෙම වෙළඳපොළට සම්බන්ධ වී විදේශ විණිමය සැපයුම කෙරෙහි බලපෑම් කරන නිසයි. එහි අරමුණ, සාපේක්ෂව කුඩා විදේශ විණිමය වෙළඳපොළක් වන ලංකාවේ විණිමය අනුපාතයෙහි සිදුවන තාවකාලික විචලනයන් සීමා කර විණිමය අනුපාතය ස්ථාවර ලෙස පවත්වා ගැනීමයි. විණිමය අනුපාතය ස්ථාවර ලෙස පවත්වා ගැනීම යනු එය ස්ථිර මට්ටමක පවත්වා ගැනීම නෙමෙයි. මහ බැංකුවේ මැදිහත් වීම් මගින් ඉල්ලුම හා සැපයුමෙහි ස්ථිර වෙනස්වීම් නිසා සිදුවන විචලනයන් පාලනය කරන්න යන්නේ නැහැ. මහ බැංකුවට එසේ කිරීමේ හැකියාවක්ද නැහැ.

කිසියම් දිනක තාවකාලිකව බැංකු පද්ධතිය තුළ ඩොලර් සැපයුම ඉහළ ගොස් මිල වේගයෙන් පහත වැටෙන විට මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන ඩොලර් සැපයුම පහත හෙළනවා. එහිදී විදේශ සංචිත ඉහළ යනවා. එමෙන්ම, තාවකාලිකව බැංකු පද්ධතිය තුළ ඩොලර් සැපයුම පහළ ගොස් මිල වේගයෙන් පහත වැටෙන විට මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළට ඩොලර් සපයා ඩොලර් සැපයුම වැඩි කරනවා. එහිදී සංචිත අඩු වෙනවා.

පළමුවැන්න දිගින් දිගටම කළහොත් ඩොලර් මිල දී ගැනීමේදී රුපියල් සැපයුම ඉහළ යන නිසා රටේ මුදල් සැපයුම වැඩි වී උද්ධමනය ඉහළ යනවා. එනම් රුපියලේ අභ්‍යන්තර අගය අඩු වෙනවා. එවිට ආනයන සාපේක්ෂව ලාබ වන නිසා ආනයන ඉල්ලුම ඉහළ ගොස් බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුමද ඉහළ යනවා. එවිට මහ බැංකුවට කලින් මිල දී ගත් ඩොලර් විකුණා ඩොලර් ඉල්ලුම සපුරන අතරම වැඩි වූ මුදල් සැපයුමද නැවත අඩු කළ හැකියි.

එහෙත්, මහ බැංකුව විසින් ඉහත පරිදි දිගින් දිගටම ඩොලර් විකුණුවහොත් සංචිත අවසන් වී මහ බැංකුවට තවදුරටත් විණිමය වෙළඳපොලට මැදිහත් විය නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ පවත්වා ගැනීම පිණිස දිගින් දිගටම සංචිත විකිණීම නිසා, 2021 අවසන් වෙද්දී සිදු වී තිබුණේ මෙවැන්නක්. කාලයක් තිස්සේ ඩොලර් බිලියන 7ක පමණ මට්ටමක පවත්වාගත් මහ බැංකුවේ විදේශ සංචිත ඒ වන විට අවසන්ව තිබුණා මෙන්ම මහ බැංකුව අසල්වැසි රටවලට ණය වී එසේ ණයට ලබාගත් විදේශ විණිමයද විණිමය අනුපාතය රැකගැනීම පිණිස නාස්ති කර තිබුණා. මහ බැංකුවේ ණය ප්‍රමාණයට සාපේක්ෂව තවමත් බෙහෙවින්ම අඩු වුවත්, මේ වන විට මහ බැංකුව විසින් නැවතත් විණිමය වෙළඳපොළ පාලනය කළ හැකි තරමට විදේශ සංචිත වර්ධනය කරගෙන තිබෙනවා.

පහළින් තියෙන්නේ පසුගිය මාස 16ක කාලය තුළ මහ බැංකුව විසින් විදේශ විණිමය වෙළඳපොළට සිදු කළ ශුද්ධ මැදිහත්වීම් වල ප්‍රමාණය. ඒ කියන්නේ ඩොලර් මිල දී ගැනීම් හා විකිණීම් අතර වෙනස. සෘණ අගයකින් අදහස් වන්නේ මිල දී ගත් ප්‍රමාණය ඉක්මවා ඩොලර් විකුණා ඇති බවයි.

2021 සැප්තැම්බර් – ඩොලර් මිලියන 1.18
2021 ඔක්තෝබර් – ඩොලර් මිලියන (-72.32)
2021 නොවැම්බර් – ඩොලර් මිලියන (-310.64)
2021 දෙසැම්බර් – ඩොලර් මිලියන (-353.55)
2022 ජනවාරි – ඩොලර් මිලියන (-230.95)
2022 පෙබරවාරි – ඩොලර් මිලියන (-23.00)
2022 මාර්තු – ඩොලර් මිලියන (-18.79)
2022 අප්‍රේල් – ඩොලර් මිලියන (-103.95)
2022 මැයි – ඩොලර් මිලියන (-78.50)
2022 ජූනි – ඩොලර් මිලියන (-154.73)
2022 ජූලි – ඩොලර් මිලියන (-158.93)
2022 අගෝස්තු – ඩොලර් මිලියන 15.02
2022 සැප්තැම්බර් – ඩොලර් මිලියන 67.18
2022 ඔක්තෝබර් – ඩොලර් මිලියන (-8.40)
2022 නොවැම්බර් – ඩොලර් මිලියන 6.40
2022 දෙසැම්බර් – ඩොලර් මිලියන 103.78
2023 ජනවාරි – ඩොලර් මිලියන 211.15

ඉහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට පැහැදිලි වන පරිදි, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ලෙස පත්ව මාස හතරක් පමණ යන තුරුද, එනම් 2022 ජූලි මාසය දක්වා, මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් සංචිත විකුණනවා. ඒ අනුව, මෙම කාලය තුළ සිදු වුනේද මහ බැංකුව විසින් ඩොලරයක මිල “හිර කරගෙන” සිටීමක් බව කිව හැකියි. එසේ නොකරන්නට, ඩොලරයක මිල රුපියල් 360 සීමාව ඉක්මවා විශාල ලෙස ඉහළ යනවා.

මෙම කාලය තුළ මහ බැංකුව විසින් ප්‍රමුඛතාවය දුන්නේ රුපියලේ අභ්‍යන්තර අගය ආරක්ෂා කිරීමටයි. එනම්, උද්ධමනය පාලනය කිරීමටයි. ඩොලරයක මිල ඉහළ යාම බලහත්කාරයෙන් හෝ නොනවත්වන්නට, ඉන්ධන මිල ඇතුළු මිල ගණන් තවත් ඉහළ ගොස් උද්ධමනය ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යා හැකිව තිබුණා. බලහත්කාරයෙන් වුවත්, ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ නවත්වා ගැනීම නිසා මේ තත්ත්වය වෙනස් වුනා.

එසේනම්, ඊට පෙර ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ හිර කරගෙන සිටීම සහ මෙම හිර කිරීම අතර වෙනස කුමක්ද?

වෙනස්කම් ගණනාවක්ම තිබුණා. ඩොලරයක මිල 360 මට්ටමේ රඳවා ගෙන සිටියේ ඩොලර් ඉල්ලුම පාලනය කිරීම සඳහා තිරසාර ක්‍රියාමාර්ග ගන්නා අතර තාවකාලික පියවරක් ලෙසයි. පෙර අවස්ථාවේ එවැන්නක් සිදු වූයේ නැහැ. රුපියල් 200 සීමාව පුපුරා ගොස් ඩොලරයක මිල වේගයෙන් ඉහළ ගියත්, රුපියල් 360 සීමාව ඉවත් වෙද්දී ඩොලරයක මිල පහත වැටෙන්නේ ඒ නිසයි. පොලී අනුපාතික ඉහළ දැමීම හා සල්ලි අච්චු ගැසීම පාලනය කිරීම මේ ක්‍රියාමාර්ගයි.

කෙසේ වුවද, බදු ඉහළ දැමීම, ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ දැමීම, වියදම් සීමා කිරීම ඇතුළු රජයේ පාර්ශ්වයෙන් සිදු වූ දේවල් වලින් ඩොලර් ඉල්ලුම පාලනය වීම සඳහා සිදු වූ විශාල බලපෑමද මෙහිදී අමතක කරන්න බැහැ. ඇස් පනාපිට පෙනෙන්නට තිබෙන මෙම ප්‍රතිපත්ති වල සාර්ථකත්වය විසින් ඇහැට ඇඟිල්ලෙන් ඇණ පෙන්වා දෙන්නේ ඉහළ උද්ධමනය, දිගින් දිගටම අවප්‍රමාණය වන විණිමය අනුපාතය ඇතුළු ලංකාවේ ආර්ථිකයේ කුදු මහත් නිදන්ගත රෝග සියල්ලකටම මූල හේතුව රජය විසින් ආදායම ඉක්මවා වියදම් කිරීම බවයි. මූල හේතුව ඉවත් වෙද්දී ඉහළ පොලී අනුපාතික, අඩු ආර්ථික වර්ධන වේගය ඇතුළු අනෙකුත් සාර්ව ආර්ථික ප්‍රශ්න එකින් එක විසඳී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් වුවත්, ඒ ඉලක්ක කරා යාම සඳහා රජය විසින් සිදු කළ යුතු අනෙකුත් ප්‍රතිසංස්කරණද නොපමාව සිදු විය යුතුයි.

ඉහළ පොලී අනුපාතික, ඉහළ බදු, ඉහළ විදුලි ගාස්තු, ඉහළ ඉන්ධන මිල ගණන් ආදිය නිසා එක පැත්තකින් නිවාස ඒකක සතු වියදම් කිරීමේ හැකියාව සීමා වී ආනයන ඉල්ලුම අඩු වී තිබෙනවා. අනෙක් පැත්තෙන් රජයට ණය ගැනීමේ අවශ්‍යතාවය සීමා වී තිබෙනවා. ඒ නිසා, එක පැත්තකින් ඩොලර් ඉල්ලුම අඩු වෙද්දී අනෙක් පැත්තෙන් මහ බැංකුවට සල්ලි අච්චු ගැසීම සීමා කිරීමට හැකි වී තිබෙනවා. ඉහළ පොලී අනුපාතික හා ආර්ථික සංකෝචනය මේ වෙනුවෙන් ගෙවන්නට සිදුව ඇති මිලයි. එහෙත්, මූලික ප්‍රශ්න ක්‍රමයෙන් විසඳෙද්දී රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට පොලී අනුපාතික පහත හෙළා ගැනීම හා ආර්ථිකය වර්ධනය කර ගැනීම කෙරෙහිද අවධානය යොමු කළ හැකි පසුබිමක් බිහිව තිබෙනවා.

පසුගිය මාසයේ අගෝස්තු මාසය වන විට උද්ධමනය පාලනය වී අවසන්. සාමාන්‍යයෙන් උද්ධමනය පාලනය කිරීමෙන් පසුව එය උද්ධමන දර්ශක තුළ පිළිබිඹු වන්නේ වසරක පමණ කාලයක් තුළයි. නිල උද්ධමන දර්ශක වලට සාපේක්ෂව නිරවද්‍යතාවය ඉතා අඩු මිනුමක් බව අප විසින් කලින්ම පැහැදිලි කර ඇති මහාචාර්ය ස්ටීව් හැන්කිගේ උද්ධමන දර්ශකය නිවැරදි එකක් බව අප දැන් කියන්නේ නැහැ. එහෙත්, ඇතැම් අයට අනුව මෙය “මහ පොළොවේ යථාර්තය” පෙන්වන උද්ධමන දර්ශකයක් වුනා. තවත් සති දෙකක් ඇතුළත හැන්කිගේ ලැයිස්තුවෙන් ලංකාව අනිවාර්යයෙන්ම ඉවත් වීමට නියමිතයි. ඒ ඔහුගේ දර්ශකය අනුව තවත් සති කිහිපයකින් පසු ලංකාව අවධමනයක් ඇති රටක් බවට පත් වන නිසයි. මෙය මෙසේ සිදු වීමට නියමිත බව අප විසින් කියා ඇත්තේ බොහෝ කලකට පෙරයි.

ඉහත සංඛ්‍යාලේඛණ වෙත නැවත ආවොත්, 2022 අගෝස්තු-නොවැම්බර් මාස හතර තුළ ඔබට යම් සමතුලිත තත්ත්වයක් දැකගත හැකියි. එනම්, මහ බැංකුව විසින් මිල දී ගත් හා විකිණූ විදේශ විණිමය ප්‍රමාණ ආසන්නව සමාන බවයි. ඒ කියන්නේ, මහ බැංකුව විසින් විදේශ විණිමය වෙළඳපොළට ශුද්ධ වශයෙන් බලපෑමක් සිදු කර නොමැති බවයි. පාලිත නම්‍ය විණිමය අනුපාත ක්‍රමය තුළ සාමාන්‍යයෙන් පැවතිය යුතු තත්ත්වය මෙවැන්නක්. ඒ අනුව, නන්දලාල් වීරසිංහගේ පළමු මාස හතර තුළ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තබාගෙන ඇත්තේ “බලහත්කාරයෙන්” වුවත්, දෙවන මාස හතරක කාලය තුළ පැවති තත්ත්වය අනුව, රුපියල් 360 යනු ඉල්ලුම හා සැපයුම සමතුලිත වූ මිලයි. එම කාලය තුළ මහ බැංකුව විසින් සීමාවන් ඉවත් කළේ වුවද (25% සීමාව හා රුපියල් 2.60 සීමාව) ඩොලරයක මිල පැවති මට්ටමේම ස්ථාවර වන නමුත් මහ බැංකුව සතුව ප්‍රමාණවත් සංචිත නොතිබුණු නිසා විණිමය අනුපාතයෙහි සිදුවන තාවකාලික විචලනයන් වලක්වා ගත නොහැකි වෙනවා.

නොවැම්බර් මාසයෙන් පසුව මේ තත්ත්වය වඩාත් යහපත් අතට හැරෙනවා. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අදාළ කාලයේ රාජ්‍ය අංශයෙහි සිදු වූ ප්‍රතිපත්ති වෙනස්කම්. එනම් පුද්ගල ආදායම් බදු වැඩි කිරීම, විදුලි ගාස්තු ඉහළ දැමීම ආදියයි. දෙසැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 103.78ක් මිල දී ගන්නා අතර ජනවාරි මාසයේදී ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 211.15ක් මිල දී ගන්නවා. සංඛ්‍යාලේඛණ ප්‍රකාශිතව නැතත්, පෙබරවාරි මාසය තුළද අවම වශයෙන් තවත් ඩොලර් මිලියන 100ක් පමණවත් සංචිත වලට එකතු කරගෙන ඇතැයි සිතිය හැකියි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද? පසුගිය දෙසැම්බර් මාසයෙන් පසුව යම් අවස්ථාවක මහ බැංකුව විසින් වෙළඳපොළට සිදු කළ මැදිහත්වීම් නැවැත්වූයේනම් ඩොලරයක මිල අනිවාර්යයෙන්ම පහත වැටෙනු ඇති බවයි. එනම්, මහ බැංකුව විසින් ඩොලරයක මිල හිර කරගෙන සිටියත් ඒ මිල ඉහළ යාම වැළැක්වීම සඳහා නොව පහළ යාම වැළැක්වීමට බවයි.

ඇත්තටම කළ යුතුව තිබුණු නිවැරදි දෙයද එයයි. වඩා වැදගත්ව තිබුණේ මහ බැංකුවේ සංචිත තර කර ගැනීම මිස ඩොලරයක මිල පහත දමා ගැනීම නෙමෙයි.

පසුගිය පෙබරවාරි 27 දින මහ බැංකුව විසින් අනිවාර්ය විදේශ විණිමය විකිණුම් ප්‍රතිශතය 15% දක්වා පහත දැම්මේ මෙවැනි පසුබිමකයි. 25% අවශ්‍යතාවය අනුව මහ බැංකුව විසින් මසකට මිල දී ගත්තේ ඩොලර් 200-250 අතර ප්‍රමාණයක්. ඒ අනුව, මෙම සීමාව 15% දක්වා පහත දැමූ පසු බැංකු පද්ධතිය තුළ උපරිම වශයෙන් ඉතිරි වන්නේ ඩොලර් මිලියන 100ක පමණ ප්‍රමාණයක්. එම මුදල වුවද ඉතිරි වන්නේ මසක පමණ කාලයක් තුළයි. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකමක් ලැබී ඇතත් එම මුදල බැංකු පද්ධතියට ඩොලර් ලෙස ලැබී නැහැ. එවැනි තත්ත්වයක් යටතේ සතියක් ඇතුලත ඩොලර් මිලියන 308ක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. මේ කොහේ තිබුණු සල්ලියක්ද?

මේ රට ඇතුළේම තිබුණු ඩොලර් මිසක් ලෝක බැංකුවෙන් හෝ වෙනත් කොහෙන්වත් ආ ඩොලර් නෙමෙයි. රුපියලේ අනාගතය ගැන විශ්වාසයක් නැති පසුබිමක ඩොලර් ගොඩ ගසා ගැනීමට ලංකාවේ බොහෝ දෙනෙක් පෙළඹුණා. පසුගිය වසරේ ප්‍රේෂණ ලෙස බැංකු පද්ධතිය වෙත ලැබුණේ ඩොලර් බිලියන 4කට අඩු ප්‍රමාණයක්. මෙය සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 3කින් පමණ අඩු ප්‍රමාණයක්. ඒ ඩොලර් වලට වුනේ කුමක්ද?

බොහෝ විට මේ ඩොලර් පිට පාරෙන් පැමිණ (හෝ නොපැමිණ) රුපියල් වුනා. පසුගිය සතියේ මහ බැංකුව විසින් මිල දී ගෙන තිබෙන්නේ එම ඩොලර් වූ රුපියල් ප්‍රමාණයෙන් 10%ක පමණ කොටසක්. තවත් කොපමණ ඩොලර් ප්‍රමාණයක් නැවත රුපියල් වෙයිද කියන එක අපට නිරීක්ෂණය කරන්න වෙන්නේ ඉදිරි සති කිහිපය තුළයි. ඩොලරයක මිල කොපමණ අඩුවෙයිද කියන එක තීරණය වන්නේද මේ අයුරින් නැවත රුපියල් වන ඩොලර් ප්‍රමාණය අනුවයි.

මහ බැංකුව විසින් ඩොලරයක මිල අඩු වෙන්නට ඉඩ නොහැරිය යුතු බව මා විසින් දිගින් දිගටම පළ කළ අදහසයි. දැනටද මගේ අදහස එයයි. මා මෙසේ කියන්නට ප්‍රධානම හේතුව සංචිත එකතු කර ගැනීම වඩා වැදගත් වීමයි. කෙසේ වුවද, අඩු මිලකට ඩොලර් මිල දී ගැනීමේ හැකියාව ඇත්නම් මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගැනීම සඳහා වැඩි මිලක් ගෙවිය යුතු නැහැ. වඩා වැදගත් සංචිත එකතු කර ගැනීම මිස ඩොලරය ඉහළින් තියා ගැනීම නෙමෙයි. ඒ අතරම, ඩොලරයක මිල පහත වැටෙද්දී නැවතත් ආනයන ඉල්ලුම ඉහළ යාමෙන් සංචිත විකුණන්නට සිදුවෙන තත්ත්වයක් ඇති වීමේ අවදානම ගැනද සිත යොමු කළ යුතුයි.

කාලය ලොකු ප්‍රශ්නයක් නොවන අයට පහත වීඩියෝවද නැරඹිය හැකියි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan