2009 අවුරුද්ද පටන් ගත්තේම මාධ්‍ය මර්දනයේ අඳුරු කළු වලාකුළුත් එක්ක. 2009 ජනවාරි 08 වෙනිදා සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග දෙනෝ දාහක් යන එන මහපාරක උදේ වරුවක අධි ආරක්ෂිත කලාපයක් ආසන්නයේ ප්‍රසිද්ධියේම ඝාතනය කෙරුණා. ඒක ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි සමස්ත සමාජයටම බරපතළ කම්පනයක් වුණා. එහෙව් භීෂණකාරී වටපිටාවක මාධ්‍ය නිදහස වෙනුවෙන්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් මොකක්ද මීළඟට කරන්නේ කියන එක පිළිබඳව ලංකාව තුළත් ඉන් පිටතත් ඉඳපු කිහිපදෙනෙකු එකතුවෙලා කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට තමයි “ලංකා නිව්ස් වෙබ්” හදන්න පටන් ගැනෙන්නේ.
2009 මාර්තු 07 වෙනිදා ලංකා නිව්ස් වෙබ් දියත් කෙරුණා. එදා සිට මේ දක්වා විවිධ අභියෝග මැදින් අපි අවුරුදු 15ක්, ඒ කියන්නේ දශක එකහමාරක් මේ ගමන අඛණ්ඩව ඇවිල්ලා තියෙනවා. අවුරුදු 15ක් කියන්නෙ දීර්ඝ කාලයක්. ඒ අවුරුදු 15 තුළ ලංකාවේ සිද්ධ වුණු සිදුවීම් ගත්තාම ඒක වඩාත් දීර්ඝ කාලයක් හැටියට, එහෙම නැත්නම් චිත්‍රපටියක් අධිවේගයෙන් විකාශනය කෙරුණු අවස්ථාවක් හැටියට වගේ තමයි දැනෙන්නේ.
අපි නිකමට ආපහු හැරිලා බැලුවොත් ….
උතුරේ බිහිසුණු යුද්ධයේ අවසන් සමය, දකුණ ලැබූ යුද්ධ ජයග්‍රහණය, ඒ පිටම තියපු ජනාධිපතිවරණය, ජනාධිපතිට විරුද්ධව හිටපු හමුදාපති විපක්ෂයේ පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කිරීම, ඡන්දෙයෙන් පැරදුණු හිටපු හමුදාපති සිරගත කිරීම, දිනපු ජනාධිපති තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවීම, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීම, රාජපක්ෂලාගේ පරාජය, යහපාලන ආණ්ඩුව, බැඳුම්කර වංචාව, 19 වැනි සංශෝධනය, මුස්ලිම්වරුන්ට එරෙහි දිගන ප්‍රචණ්ඩ ක්‍රියා, 2018 පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ඉදිරියට ඒම, 2018 ඔක්තෝබර් දේශපාලන කුමන්ත්‍රණය, දින 52 මෛත්‍රී – මහින්ද ආණ්ඩුව, පාස්කු ප්‍රහාරය, වඳ සැත්කම් නාඩගම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම, බදු සංශෝධනය, පොහොර තහනම, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, 2022 මහජන අරගලය, මැයි 9 සිදුවීම්, ගෝඨාභය රටින් පළායාම, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය, IMF ගිවිසුම, බාල ඖෂධ වංචාව ඔය වගේ සිද්ධි ගණනාවක් සිදුවෙද්දී අපි හැමවෙලේම ජනතාවගේ පැත්තේ හිටගෙන අපේ මාධ්‍ය වගකීම ඉටු කළා. එහෙම කරද්දී අවුරුදු හයක තහනමක්, රතු වරෙන්තු එහෙමත් අපට හම්බුණා.
පැත්තක් නොගන්නා ඊනියා ස්වාධීන මාධ්‍ය භාවිතාවක් ගැන අපි බොරු කියන්නෙ නෑ. බල දේශපාලනය තුළ දේශපාලන පක්ෂ අතරින් අපි පැත්තක් නොගත්තාට, වඩා යහපත් සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් හැමදාමත් අපි ජනතාවගේ පැත්ත ගන්නවා. අසීරුම අවස්ථාවලදීත් අපි ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධව සටන් කරලා තියෙනවා, හෙටත් ඒ විදියටම සටන් කරනවා. ඒක අපට අභිමානයෙන් කියන්න පුළුවන්. ඒ වගේම අපි කොන්දේසි විරහිතව මිනිස් නිදහස වෙනුවෙන් පෙනී ඉන්නවා, ඒක නවත්වන්නෙත් නෑ මොනම තත්වයක් යටතේවත්.
ජීවිතය කියන්නෙ කොහොමත් කඳු පල්ලම් තැනිතලා හම්බුවෙන ගමනක්. අපේ මේ අවුරුදු 15ත් එහෙම තමයි. ඉහළ යෑම්, පහළ යෑම්, එකතැන රැඳීම් එක්ක විවිධාකාර ප්‍රශ්න මැද වුණත් අපි මේ ගමන ඇවිල්ලා තියෙනවා. අපට උදව් කරපු, අපිව අගය කරපු අපේ පාඨකයින් සහ හිතවතුන් නිසා තමයි අපට අතරමග නොවැටී මේ ගමන අඛණ්ඩව එන්න පුළුවන් වුණේ. ඒ හැමෝටම අපි මේ වෙලාවේ හදවතින්ම ස්තූති කරනවා.
එළඹිලා තියෙන්නේ මැතිවරණ වසරක්. ඒ මැතිවරණ වසරේදී ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලටම සමාන අවස්ථා දෙමින් වාර්තාකරණය කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒ වගේම ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන අලුත් වැඩ කිහිපයකටත් අතගහන්න අපි සැලසුම් කරලා තියෙනවා. දේශපාලනය ගැන වගේම අධ්‍යාපනය, සෞඛ්‍ය, සාහිත්‍ය කලා, ක්‍රීඩා, සුබසාධන වගේ ක්ෂේත්‍ර ගැනත් අපි මෙතෙක් කළා වගේම ඉදිරියේදීත් වැඩි අවධානයක් ලබාදෙන්නත් අපි ලෑස්තියි.
ඊළඟ අවුරුදු පහ විතරක් නෙවෙයි ඊළඟ අවුරුදු දහය, පහළොව තුළ ලංකාවේ ඉරණම මොකක්ද කියන එක තව මාස කිහිපයක් ඇතුළත තීරණය වේවි. රටක් හැටියට අපි එක්කෝ නැඟිටීවි, එක්කෝ තවත් පතුළට කඩා වැටේවි. ඒ ඉරණම මොකක් වුණත්, ඉන් පසුව ගොඩනැගෙන තත්වයන් මොනවා වුණත් අපි මේ රටේ ජනතාව එක්ක ඉන්නවා, අපේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව, අඛණ්ඩව පෙනී ඉන්නවා. ඒ පොරොන්දුව අපට දෙන්න පුළුවන්.
ඉතින්, දශක එකහමාරක් තිස්සේ අප හා රැඳුණු, අපට උපකාර කළ, අපව අගය කළ අපේ පාඨකයින්ටත්, හිතවතුන්ටත් නැවත වාරයක් ස්තූතියි. අපි ඉදිරියට යමු ….
~ Team LNW
