2024 වසරේ දෙසැම්බර් 31න් අවසන් වූ කාර්තුව තුළදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 3.04ක අලාභයක් වාර්තා කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාවලින් මෙය පෙන්නුම් කර ඇත.
2024 දෙසැම්බර් 31න් අවසන් කාර්තුවේ දී මණ්ඩලයේ ආදායම රු. බිලියන 111.80ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය 2023 සමාලෝචිත කාර්තුවේ ආදායම් අගය වූ රු. බිලියන 156.25ට වඩා 28%ක පහළ යාමකි. මේ අතර මණ්ඩලයේ විකුණුම් පිරිවැය රු. බිලියන 78.03 සිට රු. බිලියන 116.29ක් දක්වා 49%කින් මෙම කාර්තුව තුළ දී ඉහළ ගොස් තිබේ.
2023 දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 78.22ක් ලෙසින් සටහන්ව තිබූ මණ්ඩලයේ දළ ලාභය 2024 දෙසැම්බර් කාර්තුව තුළ දී රු. බිලියන 4.49ක දළ අලාභයක් දක්වා 106% කින් පහළ ගොස් තිබීම විශේෂත්වයකි. මෙකී වාතාවරණය තුළ විදුලිබල මණ්ඩලයට රු. බිලියන 3.04ක මෙහෙයුම් අලාභයක් විඳ දරා ගැනීමට පසුගිය 2024 අවසන් කාර්තුවේ දී සිදුව තිබේ. 2023 දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 91.97ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට මණ්ඩලය සමත්ව තිබුණි.
කෙසේවෙතත් මූල්‍ය ආදායම් සහ පිරිවැය ගැළපීමෙන් පසු විදුලිබල මණ්ඩලය 2024 දෙසැම්බර් කාර්තුව තුළ දී වාර්තා කර ඇති ශුද්ධ ලාභය රු. මිලියන 603ක් වශයෙන් සටහන්ව ඇත. මෙය 2023 අවසන් කාර්තුවේ ශුද්ධ ලාභ අගය වූ රු. බිලියන 77.97ට වඩා 99% ක පහළ යාමකි.
කෙසේවෙතත් සමස්තයක් ලෙස 2024 වසර සැලකීමේ දී විදුලිබල මණ්ඩලය රු. බිලියන 144.39ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය 2023 වසරේ සමස්ත ශුද්ධ ලාභ අගය වූ රු. බිලියන 57.63ට වඩා 151%ක දැවැන්ත වර්ධනයකි. පසුගිය 2024 වසරේ මුල් කාර්තුවල දී අවස්ථා කිහිපයක දී සිදුකරන ලද විදුලි මිල සංශෝධනයන් හරහා මණ්ඩලයේ ආදායම් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි වාර්තාවෙන් දැක්වෙන්නේ.
විදුලිබල මණ්ඩලයේ මෙම තත්වය සම්බන්ධයෙන් පසුගිය IMF සමාලෝචනයේදී ද අවධානය යොමුව පැවතිණි.
