ජාතික ආණ්ඩුවක් ගැන කතාව මේ වනවිට යළිත් කරළියේ ඉහළ පහළ යමින් තියෙනවා. ඊට පක්ෂව වගේම ඊට දැඩි ලෙස විරුද්ධවත් ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් ඇතුළු පිරිස් කතා කරලා තියෙනවා අපි දැක්කා. මේ උත්සාහය ජාතික එකඟතාවක් – ජාතික ආණ්ඩුවක් අවශ්‍යම වෙන්නේ ඇයි කියන එක ඉතාම සරලව පැහැදිලි කරන්නයි.
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දීලා ඉන්නේ ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ ආර්ථික අර්බුදයකට බව කවුරුත් පිළිගන්න ඕනෙ දෙයක්. මොකද ඒක මේ වනවිටත් ඇඟට දැනෙමින් තියෙනවානෙ. ඉතාම ඉහළ වැටුප්, ආදායම් ලබන යම් පිරිසකට තවම මේක ලොකුවට දැනෙන්නේ නැතිව ඇති. ඒත් ඒකේ ප්‍රතිඵල ඒ අයටත් නොදැනෙනවා නෙවෙයි.
මේකට හේතුව හැටියට මේ මොහොතේ ජනප්‍රියම වෙලා තියෙන්නෙ මේක තනිකරම මේ ආණ්ඩුවේ වරදින් සිද්ධ වෙච්චි දෙයක්ය කියන එකයි. ඒත් ඒක ඇත්තම නෙවෙයි. මේ අර්බුදය මේ ආකාරයෙන් එක තැන පත්තුවෙන්න මේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකමුත් හේතුවුණා තමයි, ඒත් අර්බුදය අළු යට ගින්නක් හැටියට දශක කීපයක් තිස්සේම ඇවිළෙමිනුයි තිබුණේ.
ඒ කියන්නේ අපි රටක් හැටියටම ගත්තාම අපේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ගොඩාක් වැඩියි. මේක අවුරුද්දක් දෙකක් නෙවෙයි ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ අපි පවත්වාගෙන ආපු ක්‍රමයක්. ආදායමට වඩා වියදම වැඩිවෙනකොට ඒ හිඟය පියවා ගත්තේ ණය අරන්. එහෙම යන්න පුළුවන් සීමාවක් තියෙනවානෙ. දැන් අපි ඒ සීමාවට ඇවිත් තියෙන්නෙ.
එතකොට මේ අර්බුදයෙන් අපි රටක් හැටියට ගොඩයන්න නම් පහුගිය දශක ගාණක් තිස්සේ දිගට හරහට ණය අරන් වියදම් කරපු ක්‍රමය අපට වෙනස් කරගන්නම වෙනවා.
ඔතනදීත් ජනප්‍රිය කතාව වෙන්නේ මේ ණය අරන් අතළොස්සක් දේශපාලකයින් සැප වින්දා, රටේ මිනිස්සු ණයකාරයෝ වුණායි කියන එක. ඒත් ඒකත් ඇත්තම නෙවෙයි. දේශපාලකයිනුත් සැප වින්දා තමයි. ඒත් රටේ ජනතාව නඩත්තු කරන්න නොයෙකුත් සහනාධාර දෙන්නත්, ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නංවන්න නොයෙකුත් සංවර්ධන වැඩ කරන්නත් මේකෙන් ඉහළම ප්‍රතිශතයක් වියදම් වුණා. ඒ නිසා මේ ණය කන්දට ජනතාව වගකියන්න ඕනෙ නැහැයි කියන්න බෑ. පොහොර සහනාධාර, භූමිතෙල් සහනාධාර, නොමිලේ සෞඛ්‍ය පහසුකම්, නොමිලේ අධ්‍යාපනය, මාර්ග සංවර්ධනය, විදුලිය සැපයීම වගේ දේවලුත් සිද්ධ වුණේ මේ ආකාරයටමයි. රටේ පවුල් සංඛ්‍යාවෙන් විශාල ප්‍රතිශතයකට රජයේ රැකියා ලැබුණෙත් මේ ආකාරයටම තමයි.
ජනතාව තමන්ගේ ඡන්දයෙන් පාලකයින් හැටියට පත්කර ගත්තෙත් වැඩි වැඩියෙන් අහවල් අහවල් එක නොමිලේ දෙනවා කියලා, වැඩි වැඩියෙන් රජයේ රැකියා දෙනවා කියලා පොරොන්දු වුණ කට්ටියවමත් තමයි. ඒ නිසා මේ ප්‍රශ්නයේදී දේශපාලකයෝ විතරක් භයානක යක්ෂයින් වෙලා ජනතාව අහිංසක මුව පැටව් වෙන්නෙ නෑ. නමුත් මේකෙම අනිත් පැත්ත විදියට හැම දේශපාලකයෙක්ම ජනතාවගෙන් ඡන්දය බලාපොරොත්තු වෙන නිසා ඒගොල්ලෝ ජනතාවගේ පැත්තට කිසිම ඇඟිල්ලක් දික් කරන්නෙත් නෑ. ඒගොල්ලො කරන්නෙ තමන්ගෙම විරුද්ධ දේශපාලනඥයින් ටිකට ඇඟිල්ල දික් කරන එක විතරයි.
කොහොම වුණත් ඒ අනුව මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න වෙන්නෙ වියදම් අඩු කරගෙන, ආදායම් වැඩි කරගන්න ක්‍රමවේදයකට යෑමෙන්. ඒක කාටකාටත් රිදෙන වැඩක්. “අපේ ළඟ තමයි හොඳම සැලැස්ම තියෙන්නේ” කියලා මොන පක්ෂය කිව්වත් ඒකෙත් බිල ගෙවන්නේ ජනතාවටම තමයි ඉතින්.
ඔන්න දැන් ඇත්තම ප්‍රශ්නේ. මේ කියපු වියදම් කප්පාදු කරලා, ආදායම් වැඩිකරගන්න ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරන්න යනකොට මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙනවා වෙනවාමයි. මොකද ඒකෙන් පීඩාවට පත්වෙන්නෙ ජනතාවනෙ. සහනාධාර කැපෙනවා, බදු වැඩිවෙනවා, පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා … එහෙම නැතිව මීට අවුරුදු කීපෙකට කලින් හිටපු විදියටම ජනතාවට ආපහු ඉන්න සලස්වන ගමන් මේ ප්‍රශ්නෙත් විසඳනවා කියලා කවුරුහරි කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. එහෙම ප්‍රතිසංස්කරණ ටිකක් පටන් ගත්තු ගමන් අපේ රටේ මොකක්ද වෙන්නෙ ? කවුරු ආණ්ඩුවක් කළත් විපක්ෂයේ ඉන්න කට්ටිය එකතුවෙලා ඒ ආණ්ඩුව පෙරළන්න මිනිස්සුත් එක්ක පාරට බහිනවා ඒකාන්තයි. මොකද ඒක අපේ දේශපාලන සංස්කෘතිය නේ ….
හොඳයි එහෙම ආණ්ඩුවක් පෙරළුවායි කියමුකො. ඒත් අලුතින් එන ආණ්ඩුවටත් කරන්න වෙන්නෙ ජනතාව පීඩාවට පත්වෙන වැඩපිළිවෙලක්ම තමා. එතකොට ආයෙත් වෙන්නෙ ඒ මොහොතේ විපක්ෂයේ ඉන්න අය එකතුවෙලා ඒ ආණ්ඩුවත් පෙරළන්න ජනතාව සංවිධානය කරන එකයි. තියෙන ආර්ථික අර්බුදය මදිවාට ඒ වගේ දිගට ඇදෙන දේශපාලන අර්බුදයකුත් කරේ දාගත්තොත් රට හිඟමනට වැටිලා මිසක් ගොඩ ඒමක් වෙන්නෙ නෑ, නෑම තමයි. ඒකෙ ආයෙ දෙකක් නෑ. එතකොට විඳවන්න වෙන්නේ අර පක්ෂයේ, මේ පක්ෂයේ අයට විතරක් නෙවෙයි මුළු රටටම.
අන්න ඒ නිසා මේ අමාරු ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරගෙන, රට ආපහු ණය ගෙවන්න පුළුවන් සීමාවකට එනකල්, රට එහෙම ක්‍රමයකට අනුගත වෙනවා කියලා ණයදෙන ආයතනවලට තහවුරු වෙලා මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් දිග ඇරගන්න අවශ්‍ය උදව් ටික ගන්නකල්වත් රටේ දේශපාලන ස්ථාවරබවක් ඕනෑමයි. එහෙම වැඩපිළිවෙලක් පටන් ගත්තු වෙලාවේ ඉඳන් විරුද්ධ පක්ෂවල අයත් ආණ්ඩුවේම ඇතැම් ජනප්‍රියවාදී අයත් ඒකෙ කකුලෙන් අදිනවා නම්, ඒ ගමන යන්න නොදී “මෙහෙම දුක් විඳින්න ඕනෙ නෑ, අපට ආණ්ඩුව දීපල්ලා, අපි තමයි හොඳටම කරන්න දන්නේ” කිය කියා හෝ “රජයේ සේවක වැටුප් 25000කින් වැඩි කරනු, මහපොළ රුපියල් 10000 කරනු, රජයේ රැකියා 50000කට වහා බඳවා ගනු, අතිකාල දීමනා වහා වැඩිකරනු” කිය කියා මිනිස්සුන්ව අවුස්සනවා නම් රටට සොරිම තමයි.
ඔය කොයි දේශපාලන පක්ෂයේ වුණත් ඉන්නෙ තඩි ඊගෝකාරයො ටිකක්. ඒගොල්ලො කියන්නෙම “අපි තමයි මේක හරියටම දන්නේ, අපට තමයි හොඳටම සුදුසුකම් තියෙන්නෙ, අපිට විතරයි මේක කරන්න හැකියාව තියෙන්නෙ, අපි තමයි මාරම පොරවල්, අපිට තමයි මිනිස්සු හොඳටම කැමති” කියලානෙ. හැමෝම එහෙමයි. ඒ අතරේම ඒගොල්ලො ඉල්ලන්නෙ “අපට තනි බලයක් දෙන්න, අපි කරලා පෙන්නනම්” කියලා. ඒත් අවුරුදු 74ක කෙරුවාව බලපුවාම ඔය කොයි පක්ෂයත් මොනයම් ආකාරයෙන් හෝ ආණ්ඩුකරණයට දායක වෙලා තියෙනවා. සෘජුව හෝ වක්‍රව. ඒ වගේම මේ සහනාධාර ක්‍රමය නඩත්තු කරන්නත් වැඩිදියුණු කරන්නත් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ජනතාව පෙළගස්වලා තියනවා. පොහොට්ටුව, සමගි ජන බලවේගය විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ, 43 සේනාංකය ඔය ඔක්කොම එහෙම තමයි.
ඒ වගේම ඔය කවුරුත් පොදුවේ කියන තව කතාවක් තියෙනවා. ඒ, “අපේ මේ හැමදේම කරන්නෙ ජනතාව වෙනුවෙන්. අපි මේක නොකරා නම් අපට අරහෙම මෙහෙම යසට ඉන්න තිබුණා. ඒත් අපි ජනතාව වෙනුවෙන් තමා දුක් විඳින්නෙ” කියන එක.
ඉතින් ඒකත් ඇත්තම නම් ඔය තඩි ඊගෝකාරයින් ටිකට ජනතාව වෙනුවෙන් එක මේසයකට වාඩිවෙලා, ආණ්ඩුවේ වේවා විපක්ෂයේ වේවා ඉඳන් මස් රාත්තලම ඉල්ලන එක අතෑරලා, ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන කියලා කොළේ වහලා ගහන සුරංගනා කතා වෙනුවට තම තමන්ගේ ඇත්ත සැලසුම් හංගාගෙන ඉන්නෙ නැතුව එළියට දාලා, ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් අවම මට්ටමේවත් පොදු එකඟතාවකට ඇවිල්ලා, ඒ එකඟතාව වෙනුවෙන් තමනුත් වගකීම් ගන්න පොදු යාන්ත්‍රණයක් හදාගන්න බැරි ඇයි ???
එහෙම වෙන්නෙ තනි බලයක් වෙනුවෙන් තියෙන කෑදරකම ඔක්කෝටම වඩා ලොකුවෙන හින්දා. එහෙම නැත්නම් මේ අමාරු වෙලාවේ මේ රට, මේ ජනතාව ගොඩගන්න එක වෙනුවෙන් අවම එකඟතාවකට එන එක කරන්නම බැරි දෙයක් නෙවෙයි. ඒක කරන්නම බැරි වුණොත් ඔය අනාගතයේ රට බේරාගන්නම් කියලා සූට් මහගෙන ඉන්න අයට බේරාගන්න රටක් ඉතුරු වෙන එක්කුත් නෑ.
ජාතික එකඟතාවක් සහ ඒ එකඟතාව ක්‍රියාත්මක කරන්න ජාතික ආණ්ඩුවක් අත්‍යාවශ්‍යයයි කියලා කියන්නේ සරලවම ඔන්න ඕක නිසායි. කන බත්වේල පවා අඩු කරගෙන කැපකිරීම් කොහොමත් කරන්න වෙන්නෙ ජනතාවට. එහෙව් තත්වයක් යටතේ පවා ඒ ප්‍රශ්න නැතිව සැපට ඉන්න කොයි පක්ෂයේත් දේශපාලඥයින්ට තමන්ගේ බල අරමුණු පොඩ්ඩක් කැප කරන්න බැරි නම් මොකක්ද ඇති වැඩේ ? මිනිස්සුන්ට ගොඩාක් දේවල් නැතිවෙන්න නියමිතයි. දේශපාලකයින්ට වැඩියෙන් වටින්නේ මේ අර්බුදය පාවිච්චි කරලා තම තමන්ගේ පක්ෂයේ තනි ආණ්ඩුවක් හදාගන්න එක විතරද ?
මේක කොහෙත්ම ජනප්‍රිය කතාවක් නෙවෙයි, ඒත් මේක තමයි ඇත්ත !
- දර්ශන වීරසිංහ