ජාතික ජන බලවේගයේ ආණ්ඩුව රැක ගනිමින් ඊට ඡන්දය දුන් ජනතාව අපේක්ෂා කළ පරිවර්තනය සාක්ෂාත් කරගැනීම සඳහා මැදිහත් වීමට ජාජබ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් කැපවුණු මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් නව සංවිධානයක් අද (16) දිනයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.
ඒ අනුව “ජන පැතුමට වගකියන ජන බලයක්” මැයෙන් යුතුව “ජන බලය” සංවිධානයේ සමාරම්භක සමුළුව අද පෙරවරු 09.30 සිට පස්වරු 02.00 දක්වා කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.
ජන බලවේගයේ ක්‍රියාකාරිකයින් ලෙස සෘජුවම කටයුතු කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිවිල් ක්‍රියාකාරිකයින්, 2022 අරගලකරුවන්, සාහිත්‍යවේදීන්, භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත ය.
විදර්ශන කන්නන්ගර, දර්ශන ලියනගේ, නිර්මාල් දේවසිරි, වංගීස සුමනසේකර, ඤාරියමඩිත්තේ ඥානාරාම හිමි, නන්දන වීරරත්න, චූලානන්ද සමරනායක, සුනිල් විජේසිරිවර්ධන, ෆර්සානා හනීෆා, විනයාගමූර්ති සුබ්‍රමනියම්, ඉන්දික ෆර්ඩිනැන්ඩු, කපිල ක්‍රිෂාන්ත යන මහත්ම මහත්මීන් විසින් මෙම සමුළුව ඇමතීමට නියමිතව ඇති අතර සභාව මෙහෙයවීම ප්‍රදීප් ජයරත්න විසින් සිදුකෙරෙනු ඇත.
මෙම අවස්ථාවට එකතු වෙන මෙන් “ජන බලය” සාමුහිකය සැමට ආරාධනා කර තිබේ.

එම සාමුහිකය එහි අරමුණු පැහැදිලි කරමින් පළ කර ඇති සටහනක් පහතින් දැක්වේ.
2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ජනපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද ජයග්‍රහණය හුදු ආණ්ඩු මාරුවක් පමණක් නො වේ. පැහැදිළි ලෙසම එය ලාංකේය බල සබදතා ක්ෂේත්‍රයේ සිදුවූ ඓතිහාසික පෙරළියකි.
එක් අතකින් ගත් විට මෙම පෙරළිය යනු ‘අරගලය’ නමින් හදුන්වන ලද ලාංකේය දේශපාලන ඉතිහාසයේ දැවැන්ත ම ස්වේච්ඡා මිනිස් මැදිහත්වීමේ ඵලයකි. එසේ ම ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි ස්වභාවය කෙරෙහි දීර්ඝ කාලීන ව පැවති අතෘප්තිය සහ විරෝධය ප්‍රකාශයට පත් වීමකි.
එමෙන්ම වේගයෙන් හා පුළුල්ව පැතිර ගිය ජනතා-ජනප්‍රියවාදී ප්‍රවාහය ද මේ ජයග්‍රහණයට උපකාරී විය..
ඉහත පසුබිම මත ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කෙරෙහි මහත් සේ බලපෑම් කළේ විධිමත් සංවිධාන ජාලයට පිටින් ක්‍රියාත්මක වූ දැවැන්ත ස්වේච්ඡා පුරවැසි ක්‍රියාකාරිත්වය යි. එකී ජයග්‍රහණයේ මතවාදී බලය එය විය.
එය හුදු ආණ්ඩු මාරුවක් පමණක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි සමාජ,දේශපාලන හා ආර්ථික තලයන්ගේ පුළුල් පරිවර්තනයක් වෙත වන සුබවාදී දේශපාලන ඇරඹුමකි.
සිදුවූ මෙම පරිවර්තනය යුද්ධයෙන් පසු ලංකාව එතෙක් මෙතෙක් රාජ්‍ය සහ රාජ්‍ය නො වන සංවිධානවලින් අත්හදා බැලීමට උත්සාහ කළ උතුර දකුණ සහ නැගෙනහිර ජාතීන්,ජනවර්ග වශයෙන් බෙදා වෙන් කෙරෙන ඊනියා ‘සාමය’ සම්බන්ධ උපයෝගිතාමය මාදිලීන්ට වෙනස් ව කල්පවත්නා හා අව්‍යාජ මාදිලීන්ට අවස්ථාව විවර කර ඇත.
මේ විවර වූ ඉඩ මේ මොහොතේ අපතේ යවන්නේ නම් ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන මිල ඉතා අධික වනු ඇත.
ඒ අනුව ලැබී ඇති මෙම අවස්ථාව මග හැරුණ හොත් ශ්‍රී ලංකා සමාජය යළි ගමන් කරනු ඇත්තේ පෙර පැවතියාටත් වඩා නරක තත්වයක් වෙත ය. එක්කෝ එය දුබලයා මත ප්‍රබලයා විසින් වඩ වඩා සිය ආධිපත්‍ය පතුරවන නරුම ආර්ථිකවාදයකට ගමන් කරනු ඇත. නැතහොත් කලින් තිබුණාටත් වඩා වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ව්‍යසනයක් වෙත යොමු වනු ඇත.
මේ නිසා පුරවැසියන් ලෙස අපට මගහැරිය නොහැකි වගකීමක් අප හමුවේ ඇත.
එනම් ලංකා ඉතිහාසයේ සිදුවූ මෙම සුවිශේෂී දේශපාලන පරිවර්තනය රැක ගැනීමත් එය වඩා ඵලදායි සමාජ දේශපාලන ආර්ථික පරිවර්තනයක් බවට පත් කිරීමටත් පුරවැසියන් ලෙස සක්‍රීයව මැදිහත් වීමේ අවශ්‍යතාවයයි.අන්ත දක්ෂිනාංශික, අන්ත ජාතිවාදී කදවුරු මෙම සුවිශේෂී අවස්ථාව දියාරු කිරීමට, විකෘති කිරීමට, පරාජය කිරීමට මාන බලමින් බලමුලු ගැන්වෙමින් තිබෙන අතර ඇතැම් අන්ත වාමවාදී කදවුරුවලට මේ දේශපාලන පෙරලියේ සාධනීය විවේචකයන් වීම අසමත් වී තිබේ.එම නිසා මෙවන් මොහොතක ජනතාව අපේක්ෂා කල එම පරිවර්තනය සාක්ෂාත් කරගැනීම සදහා මැදිහත් වීම ඔබ අපගේ යුතුමකි.වගකීමකි.
මේ සදහා ආණ්ඩුව සමග සහයෝගයෙන් යුතුවද විවේචකවද සක්‍රීයව මැදිහත් වීම සදහා වන පුලුල් ජනතා පෙරමුණක් ගොඩ නැගීමට අපි ඔබ සැම දෙනාට ආරාධනා කර සිටිමු.
ජන පැතුම සුරකින ජන බලයක්
ජන මතය සුරකිමු! ජන බලය ගොඩනගමු !
~ ජන බලය සාමූහිකය
