*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දෙයියන්ට කියන්න ආපු අයට දැන් තියෙන්නෙ දොස්තරට කියන්න. පරපුරක් අලුත් කළ වෛද්‍ය තරංග අරුග්ගොඩ

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ වෛද්‍ය කමිටුවට පත් පළමු ලාංකික වෛද්‍යවරයා තරංග අරුග්ගොඩ යි.රටක් හැටියට ශ්‍රී ලංකාවට ආඩම්බර වෙන්න පුළුවන් මේ ඓතිහාසික අවස්ථාව රටට උදා කර දුන්න වෛද්‍යවරයා ඉපදී හැදී වැඩෙන ගම තවමත් ගූගල් භාවිතාවෙ සටහනක් නැති තරමට ඈත දුෂ්කර ගමක් වන කත්ලානයි.ඔහු ලෝකයට යන්න පෙර ආසියාවේද බොක්සිං සම්මේලන වෛද්‍ය කමිටුවට පත් පළමු ලාංකිකයා විදිහට ඓතිහාසික වෙනවා.

තරංග කියන්නෙ අපූරු මානයන් කිහිපයක් හරහා හඳුනාගන්න හැකි ඉතිහාසයක් සහිත අපූරු මනුස්සෙක්.ඔහු වෛද්‍යවරයෙක් වගෙම කලාවට නෑකම් කියන,ක්‍රීඩාවට නෑකම් කියන ඉතිහාසයක් එක්ක වර්ථමානයේ ස්ථාවර චරිතයක් වුණ අයෙක්.සමහර දේවල් ඔහුට හරියටම ඉරි ගහලා මේකයි කියලා කියන්න බැරි ඒත් ඔහු ජානමය වශයෙන් හිමිකර ගත් අපූරු කුසලතාවන් ඔස්සේ මඟ කී දෑ.
තරංග තමන්ගෙ පරම්පරාවෙ ඉතිහාසයට අදාළව ක්‍රිස්තු වර්ෂ 1440 දක්වා දත්ත තොරතුරු දත් කෙනෙක්.පත්තිනි දෙවියන්ට ආවතේව කරපු පරම්පරාවක කපු පරම්පරාවක කෙනෙක් වන තරංග ඒ දේවාල කෙරුවාව නවතින්නෙ තමන්ගෙ තාත්තයි ලොකු තාත්තයි අතින් බවයි පෙන්වා දෙන්නෙ.



“සීයා ලොකු තාත්තටයි, තාත්තටයි බලපෑම් කරන්නෙ නැතුව ඇති.තාත්තගෙයි ලොකු තාත්තගෙයි වයස් පරතරය විශාලයි.අතරමැද සහෝදරියො සිව් දෙනෙක්.ඒ නිසා තාත්තගෙයි ලොකු තාත්තගෙ දුවගෙයි වයස් පරතරය වෙනස් වන්නෙ වසර කිහිපයකින්.ලොකු තාත්තා දේවාල රස්සාව අත ඇරලා බලපිටියෙ ගුරු විද්‍යාලයට ගිහිං හොරණ පැත්ත පදිංචියට තෝරා ගන්නවා.ලොකු තාත්තගෙ දුව වෛද්‍යවරියක් වෙනවා.ඇය වෛද්‍ය පරිපාලනයට සම්බන්ධ වෙලා මෑතක විශ්‍රාම ගිය අධ්‍යක්ෂවරියක්.”

තරංග පෙන්වා දෙන්නෙ මේ ආභාෂය තාත්තාට ද එන්න ඇති බවය.තරංගට ඇති මතක අනුව තාත්තා අම්මා සමඟ පිං කැටෙන් කන්න නොඳුන්නට මට මගෙ කොල්ලට දොස්තර කෙනෙක් කරන්න උගන්නන්න හයිය ඇතැයි පවසා ඇත.සීයා අධයාපනයට දුන් ඉඩ නිසා දෙවියන්ට වඩා විද්‍යාවට ඇල්මෙන් තීරණ ගන්න පෙළැඹි සිය පුතුන් දෙදෙනා අතරින් තාත්තා රැකියාවක් නොකර තේ වැවිලිකරුවෙක් වුව ද,අලුත්වන ලෝකය ගැන අවබෝධයෙන් සිට ඇත.වෙනස් ආරකට වැඩ කරන හුරුව සහ ලෝකය දකින ආභාෂය තිබී ඇත.

“අම්මගෙයි තාත්තගෙයි විවාහය ප්‍රේම විවාහයක්.අම්මා කවි කියන පරම්පරාවක.ඒ නිසා ඒ දෙන්නගෙ පෙම් හසුන් හුවමාරුව සිද්ධවෙලා තියෙන්නෙම කවියෙන්.මමත් පුංචි සන්දියෙ ඉදලම හිටිවන කවිවලට බැදුණා.කවිත් කිව්වා.අම්මගෙ සහෝදරයා ධර්මෙ මාමා තමයි මගේ කවි ගුරා”
තරංග වෛද්‍යවරයෙක් වූ වෙනස් මනුස්සෙක් වන තැන් එබඳුය.අම්මා පේෂකර්ම ගුරුවරියක් වූවාය.ඇය කවිය පමණක් නොව රටා මැවීම පමණක් නොව එය උගන්නන්ටද දන්නිය.එසේම පෙරහැරට නටන සබරගමු නැටුමේ පද කස්තිරම් පුරුදු කරන සීයාව තරංගට මතකය.සටන් කලාවක් වූ අංගම්පොර ගැන ඇති සම්බන්ධකම් තරංග සොයා යන්නේ පරම්පරා ඉව ඔස්සේය.ඔහු විද්‍යාව පදනම් කරගෙන නැඟෙන වෛද්‍යවරයෙක්ගේ සිහිනය ඔස්සේ දිව යන්නේ කලාව සහ ක්‍රීඩාව හදවතින් තුරුළු කරගෙනය.

තාත්තටයි අම්මටයි තිබුණ වෛද්‍ය සිහිනය අස්සේ සිටිය යුතු මනුස්සයා හැමවෙලේම මතක් කර දුන්නේ අම්මාය.කර දඬු උස් වෙන දැණුමෙන් ඉහළට යන වයසේ සිටින තරංගට අම්මා ලිපි ලිව්වේ සමහර විට කවි සමඟය.විවිධ දාර්ශීනක අවවාද සරලව හිතට ඔබන්නට පුළුවන් අකුරු සහ වචන ඇය දැන උන්නාය.” අපිට ඕනි උඹව සල්ලිකාරයෙක් කරන්න නෙමෙයි පුතේ,හොඳ ගුණ යහපත් මනුස්සයෙක් කරන්න” මහා බර වෘත්තියකට කරන පෙළැඹීම අස්සේ ක්ෂය වෙන්නට නොදී රැකගත යුතු මනුස්සකම ගැන ඇය පුතාට නිරන්තරයෙන් ලියා යැව්වාය.

අයුක්තිය දුටු විටදි දිවියෙකුගෙ වෙස් ගන්න
යුක්තියෙන් සාමයෙන් රටේ ජීවත් වෙන්න
මනුස්සයගෙ වගකීම විය යුත්තේ කුමක්ද යන්න ඇය හිතට වදින ආකාරයේ කවි පදවලට පෙරැලුවාය.ඒවා කුඩා කළ සිටම තරංග වචනවලින් මෙන්ම අකුරුවලින් මෙන්ම ක්‍රියාවෙන් ද දැක්කේය.අදටත් ඒ අම්මා විශේෂයෙන් සිය වයස ද නොතකා ධර්මයේ හැසිරෙන්නේ සම්ප්‍රදායික සහ අතාර්තික ආගමික ආවේශයන්ගෙන් බැහැරව ආදරය කරුණාව යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් මැදිහත් වෙමින් සියලු සමාජ සත්වයන් කෙරෙහි නිදුක් නිරෝගි සුවපත් ආත්මයන් අත්පත් වේවා යන්න පෙරමුණේ තබා ගෙනය.

රඹුක විද්‍යාලය තියෙන්නෙ කත්ලාන ගමට වන්නට තරංගගේ ගේ ඉදිරිපස වීම නිසා පාසල් සංස්කෘතිය ඔස්සේ පාසලට යන්න පෙර සිටම යම් අධ්‍යාපනික හුරුවක් තරංග සතු වන්නේය.ඉස්කෝලේ ඉස්සරහා ගෙදර පැටියා ඉස්කෝලෙ යන්න ඉස්සර සිටම පාසල් පද්ධතිය ඇතුළේ හැඩතල දැක විඳ ජීවිතයට සමීප කරගන්නා නිසාම පාසල ආරම්භවෙන්න සීනුව නාද වන විට පාසලට දිව්වත් අකුරට මැලි නොවිණ.පාසලේ දඟ මලු අතර නම රැඳුණ ද,ගෙදරින් වන සොයා බැලිම මෙන්ම,දුෂ්කර පාසලේ ගුරු මඟ පෙන්වීම ද මත,තරංග පහේ ශිෂ්‍යත්වයෙන් වසර අටකට පසු පාසලට සමර්ථයක් ගෙන දෙන්නේය.ඒ රත්නපුර සීවලියේ හයේ පංතියේ සිට ඉගෙන ගන්නට අවශ්‍යය ලකුණු ද සටහන් කරමින්ය.

සීවලිය තමයි ටර්නින්ග් පොයින්ට් එක.
රඹුක හිර වි සිටි කලාකරුවා සටන්කරුවාට ඊට වඩා පළල් ඉඩක් හැදෙන්නේ සීවලියේදී ය.ඔහු ජිට්කොන්ඩෝ නම් ආත්ම ආරක්ෂක ක්‍රීඩාවේ නියැලෙන බව පාසලම දැන උන්නේය.මේ අතර උසසු පෙළ සඳහා සීවලියට එන සිසුවෙක් වන වසන්ත කුමාර අධ්‍යාපන ප්‍රතිපලවලට අමතරව සීවලියට බොක්සිං ද රැඟෙන එන්නේය.ඩබ්ලිව් එම් ගුණතිලකනම් වූ විදුහල්පතිවරයා මේ ශිෂ්‍යයා ගැන විශ්වාසය තබා පාසලේ බොක්සිං ඇරඹිමට ඉඩ දෙන්නේය.පංතියක් පංතියක් ගානේ පණිවිඩය තබමින් යන වසන්තගේ බොක්සිං පුහුණුවට මුලින්ම එකතුවන දෙන්නා තරංග සහ ඔහුගේ මිතුරෙක් වූ නිලුපුල්ය.

චන්දිමාල් ඇලෙක්සැන්ඩර් වැනි පාසල් වියේදිම පොදු රාජ්‍ය මණ්ඩලිය තරගාවලියට එකතු වූ චන්දිමාල් ඇලෙක්සැන්ඩර් මෙන්ම සීවලි බොක්සිං ඉතිහාසයේ අමරණීය සටහන් තැබූ කමල් සමීර,කපිල මිහිරක සුගතදාස සහ වත්මන් විනිසුරු සංගමයේ සභාපති වින්ග් කමාන්ඩර් මහේෂ් කොතලාවල ද තරංගගේ පංති සඟයෝ වූහ.නමුත් තරංගගේ වෛද්‍ය සිහිනය වෙනුවෙන් ඔහු ජාතික තරගාවලිවලට සහභාගිවීම නවත්වන අතර පාසල තුළ නිරන්තරයෙන් බොක්සිං ක්‍රීඩාවේ නියැලිණි.
තරංග උසස් පෙළ පංතියේ සිටියදී ද,හොඳ ප්‍රතිපල සමඟ විභාගය සමත්වන තෙක්ම විශේෂයෙන් ඔහුව හඳුනා ගැනීමට තිබුණ ලක්ෂණයක් වූයේ දිනපතා ධාවනය ය.උදේම කිලෝ මීටර් 4 ක් දුවන තරංග පාසලට එන්නේ ඉන් අනතුරුවය.

එහෙම ආවම මාර ප්‍රෙස්
ඒ අත්දැකීම අදටත් තරංග විස්තර කරන්නේ ඒ ආකාරයෙන්ය.ඉනික්බිති වෛද්‍ය විද්‍යාලයට එන තරංග තමන්ගේ ජානමය උරුමයෙන් ආ කලාව ස්පර්ශ කරන්නේය.මහේන්ද්‍ර පෙරේරා රංගවේදියාගෙන් රංගනය හදාරන තරංග ඊ.එම්.ඩී.උපාලි විසින් නිර්මාණය කරන්නට යෙදුණ “වන තාරාවි” නම් රාජ්‍ය නාට්‍ය උළෙලේ ඇගයීම් ලද නිර්මාණයට රංගනයෙන් හා වේදිකා පරිපාලනයෙන් දායක වන්නේය.එපමණක් නොව ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට පාඨමාලාවද කර කෙටි චිත්‍රපට කලාවට ද ප්‍රවේශය තබන්නේය.
මේවා බොක්සිංවලට අදාළද?
අකුරු අතර පියනඟන ඇස් හිතට දෙන වදය එබඳු විය හැකිය.ඔහු ජීවිතය වචන කරන ඇසිල්ලේ මට ද ඒ පැනය හමුවිය.
“ඉගෙනගත්ත දේවල් හැමතැනදිම ප්‍රයෝජනයක් වෙනවා.සරල උදාහරණයක් කියන්නම්.බොක්සිං තරගයක ක්‍රීඩකයෙක් පරික්ෂා කරන වෙලාවක් හිතන්න.මම ඒක කරන්නෙ විශාල ප්‍රේක්ෂකාගාරයක් ඇතුළෙ.නාට්‍යයක රඟපානවා වගෙම තමයි.මම ඉමෝෂනලි ඒකත් එක්ක ප්‍රේක්ෂකාගාරයේ විවිධ ප්‍රතිචාර නොදැනෙන විදිහට බද්ද වෙන්නෙ රංගනයෙන් උපයපු දේ වාදගත්”
ඔහු මහේන්ද්‍ර පෙරේරාගෙන් උගත් භාවාත්මක රංගනයේ අභ්‍යාස සම්බන්ධ පවසන්නේ ඒ අයුරෙන්ය.එහෙත් මේ පාසලෙන් ස්පර්ශ කළ බොක්සිං යළිත් ඔහුට ලෝකයක් ස්පර්ශ කළ හැකි තරමට මුවහත් වෙන ආකාරයත් අපූරුය.

“මං වෛද්‍ය වෘත්තිකයෙක් විදිහට නාවික හමුදාවට සම්බන්ධ වෙනවා.එහි වැඩ කරමින් ඉන්න කොට අවස්ථාවක් එනවා බොක්සිං තරගාවලියකට රින්ග් සයිඩ් ඩොක්ටර් කෙනෙක් වෙන්න.ඒ ආවම මට කෝච් කරපු වසන්ත අයියා විතරක් නෙමෙයි මා එක්ක එකට පංතියෙ හිටපු,බොක්සිං ගහපු ඇලෙක්ස්,සමීර,කොතලාවල,කපිල මේ හැමෝම බොක්සිං කේෂ්ත්‍රයේ විශාල පිළිගැනීමක් තියෙන චරිත බව අවබෝධ කර ගන්නවා.”
තමන්ගේ සහෘදයන්ට ඇති පිළිගැනීම නිසාම ඒ ඇසුර නැවත හිමිවීම ගැන ද වෛද්‍ය තරංගට ඇතිවන්නේ සොම්නස් හැඟුමක්ය.වසන්ත හැමදාම හොඳින් දිරිදෙන වචන ඇති පුහුණුකරුවේ හැටියට තමන්ගේ අතිත ගෝලයාට කියන්නේ බොක්සිං වළල්ලේ වෛද්‍යවරයාට ඇති කාර්යයේ භාරදූරකම තේරුම්ගෙන ඉදිරියට යා යුතු බවය.ඉනික්බිති ඔහු යාපනයේ සේවය කළ ද ජාතික තලයේ බොක්සිං තරග සඳහා රින්ග් සයිඩ් ඩොක්ටර් ගේ භූමිකාව වෙනුවෙන් තරග සඳහා එන්නට ඇබ්බැහි වූවේය.

නාවික හමුදාවේ ඒ වන විට බොක්සිං භාරව සිටියේ එම්ඒඑල් පෙරේරා ය.
‘ඔහු තමයි ඒ සඳහා මට අවශ්‍යය සියලු පරිසරය සකස් කර දුන්නෙ.මං බොක්සිං ක්‍රීඩා කරලා තියෙන නිසා වෛද්‍යවරයෙක් හැටියට තියෙන දැණුමත්,ක්‍රීඩකයෙක් කුමන අවධානමක සිටියත් මට පුළුවන් කියන එකේ ස්වභාවයත් හඳුනගෙන නිවැරදි තීරණය ගන්න පුළුවන් එකට එයා බොහොම ගරු කරා.එපමණක් නෙමෙයි මං පස්සෙ නාවික හමුදාවේ බොක්සිං ලේකම්වරයා හැටියටත් පත් කරලා පරිපාලනමය වශයෙන් ශ්‍රී ලංකා බොක්සිං එක්ක කටයුතු කරන්නත් පෙළඹෙව්වා’
තරංගගේ මේ හැකියාව සමඟ නාවික හමුදාව එතීම වැදගත් වූ අතර නිතර ඔහු බොක්සිං සමඟ ගැටෙන අයුරු උකහාගත් උකුසු දෑසක් ද විය.ඒ ඩයන් ගෝමස් ය.වසන්ත දිනකදී කී පරදිම බොක්සිං කවය වෙත දැඩිව සිය වෘත්තීමය බැදීම එකතු කරන තරංග අරුග්ගොඩ වෛද්‍යවරයාට ජාත්‍යන්තර වශයෙන් ලබා දිය හැකි අවස්ථාවන් විවෘත කර දෙන්නේ ඩයන් ගෝමස් ය.

“මං හංගේරියාවට යනකොට ඒ සම්බන්ධ වැඩි දුරට හදාරන්න ඉන්ස්ට්‍රකටර් කෙනෙක් හැටියට උන්නෙ අද වර්ථමාන සභාපතිවරයා.රටවල් ගණනාවක අය එක්ක මං පහසුවෙන් වැඩ කරා.ප්‍රායෝගිකව මං බොක්සිං ක්‍රීඩා කරපු එකේ වාසියත් තිබුණා.අපිට උපදේශනයට හිටිය වත්මන් සභාපතිවරයාත් වෛද්‍යවරයෙක් පමණක්ම නොවේ,ඔහුත් ක්‍රීඩක අවධියක් තිබුණ කෙනෙක්.”

බොහෝ විට ඒ සමීපතාවය අද ඔහු විසින් වෛද්‍ය කමිටුව පත් කර ගැනීමේදී එහි සාමාජිකයෙක් සේ ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් උදා කරමින් තරංග අරුග්ගොඩට එම අවස්ථාව ලබා දුන්නා විය හැකිය.හැබැයි ඊට එහා ගිය කැපවීම් තරංග සිය වෘත්තිමයභාවය හරහා ලෝකය ඉදිරියේ විවර කර තිබිණ.
“මං තමයි ලංකාවෙ පළවෙනි ඩෙල්ටා රෝගියා.ඒක හැඳුණෙ බොක්සිං වැඩවලට ගිහිං පෝලන්තයේදි.හැබැයි ලංකාවෙදි හමු වූ පළවෙනියා මම නෙමෙයි.මං එහෙදි සනීප වෙලාමයි ආවෙ.”
කොවිඩ් සුව අතට හැරෙමින් ද,තවත් ආකාරයකින් ඩෙල්ටා වැනි නව ප්‍රබේද සමඟින් ලෝකය ආක්‍රමණය කරමින් තිබූ මොහොතක බොහෝ ආරාධානා ලැබූ වෛද්‍යවරු පෝලන්තයට නොගොස් සිටියදි ඒ අභියෝගය භාර ගන්නට තරංග ඉදිරිපත් වන්නේය.අර අම්මා ලියූ කවි පදවල තිබුණ උත්තේජනය සහ වගකීම අනුව පසුපසට යාමට ඔහු අකමැති විය.

‘ඒ කැපවීම බොහෝ දෙනෙක්ගේ ඇගයීමට ලක් වුණා.ඒ වගෙ වෙලාවක ඇහැට පේන්නේ නැති වෛරසයක් සමඟ ක්‍රීඩකයින්ගෙ හුස්ම වැටෙන දුර ඉඳගෙන කටවල්වලට එබෙන්න සාමාන්‍ය මනුස්සෙක්ට අමාරුයි.හැබැයි මං ඒක ක්‍රීඩාව වෙනුවෙන් වගෙම වෛද්‍යවරයෙක් වශයෙන් එවැනි ව්‍යසනකාරී තත්ත්වයක සමාජයේ සුවය සහ නිරෝගිකම වෙනුවෙන් කැපවීමෙනුත් කළ යුතුව තිබුණා’

තරංග එවැනි අවදානම් පියවර හරහා අද ශ්‍රී ලංකාවට ආඩම්බරයක් විය හැකි ගමණක් පැමිණ ඇත.ගූගලයට තවමත් අදාළ නැති දුෂ්කර පුංචි ගමක මනුස්සෙක් විදිහට අද ලෝකයේ එක් කේෂ්ත්‍රයක් දන්න ලොකු චරිතයක් වීම දක්වා ඔහුගේ ජීවිතය ක්‍රීඩාවට මෙන්ම මුළු මහත් සමාජයටම වැදගත්ය.රසවත් හරවත් මනුස්සෙක් හැටියට තරංග අරුග්ගොඩ ට ඇති සාමාන්‍ය නොසන්සිඳෙන හැඟීම් ජාලයද අතිශයින් වැදගත්ය.ක්‍රීඩාව සංස්කෘතියක් වෙන බිමක ක්‍රීඩකයා සහ පුහුණුකරුවාත් පරිපාලකයාත් නොවන වෙනත් වෘත්තීයමය වශයෙන් සපුරන්නට ඇති හැකියාව සුවිසල්ය.එවැනි වටපිටාවක් ස්ථිර නැති පොළවක ලෝකයට ඇතුල්වීමේ දුෂ්කර තත්ත්වය ජයගත් ආකාරයෙන්ම ඔහු තව දුර යා යුතුව ඇත.නොසන්සිඳෙන හැඟීම් ඒ දුරට ඔහු රැඟෙන යන සෑම පියවරකම සිඳුවන වෙනස් දේ ශ්‍රී ලංකාවේ සැමටම ආඩම්බර විය හැකි සළකුණක් වනු ඇත.
අපි තරංගට රට ලෝකයට අරඟෙන යන්නටත් ඔහු නිසා ගම සොයා ගූගලයාට ඇතුළත් කරන්න වෙන තත්ත්වයට ලෝකය දන්න චරිතයක් වන්නටත් හදවතින්ම ආශිර්වාද කරමු.!



නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan