රතු පාටයි කළු පාටයි ඒ නගරෙ ….

දහස් වතාවක් බලපු චිත්‍රපටියක
බස් කෝච්චි ගොඩනැගිලි රූප රාමුවලින්
මතු වෙවී මතු වෙවී
පසුබිම් මිනිස් චරිත
මහ පාර දිගේ එන-යන
රතු පාටයි කළු පාටයි ඒ නගරෙ

ඉර කැකෑරෙන දාවලේ
කහ ගඩොල් අතුරු මාවත්
උරිස්වලින් ඉස්සි ඉස්සී
හැන්දෑ අහසක
රතු තැඹිලි ගිනි දළු ගැන
නෑහෙන්න කොඳුරයි
බොරුවට නළල රැලි කරගන්නත් බැරි තරමට
මගේ පුදුමය
ඒ වෙද්දි
නැත්තට ම නැති වෙලා ඉවරයි

ජේසුස් වහන්සේ කුරුසෙ එල්ලිලා
හතරමං හන්දියක් දිහා බලාගෙන
කවදාවත් නො දැක්ක
කළු සුදු කෝපි හලක්
නිකං ම නිකං එතන හිටගෙන
නො ගැළපෙන ජවනිකාවක්

මං කොහොමත් ඉන්නෙ
එක්කො මැරිල
නැත්තං පණ පිටින්-
ඔය දෙකෙන් කොයිකද කියන්න
දන්නෙ නැති මතකෙකින්-
ආත්ම දාහක් හීනෙක මැරිල ඉඳල
එක්දාස් එක්වෙනි ආත්මෙදි
බාගෙට නැගිටලා වගෙ චකිතෙකින්

ඒ තරම් නිහැඬියාවක්
වාහන වුණත් පාරෙ ඉඩ තිබිලත්
පාර පනින අයට ම ඉඩ දිදී
මුණිවර තාලෙන් යන
කටහඬක් නලා සද්දයක්වත් නැති
චලන චිත්‍ර මොහොතක්

ගලප ගන්න හැදුවෙ ම
ඒ අනවරත දෙබස්
ඒ සිද්ධි
හරියට ම වුණේ කොතැනද
මෙතැනින් මොන වීදියෙද

එතකොටත් මං දැක්ක
රතු පාටයි කළු පාටයි ඒ නගරෙ

ඈත විවර වුණ සොහොන් කොතකින්
තිත්ත නිස්සාරණය කරපු
මගෙ ම කටහඬ
නිශ්චල නගරයට පිටතින් ඇහුණෙ
අධි මන්ද්‍ර සරකින්

‘සදාකාලික සැනසීම වෙනුවට
අංශුවෙන් අංශුවට
විච්ඡේදනය කළ හැකි ශෝකය-
ගංගාවකට බැස
ඇස් පියාගෙන සන්සුන් ව
ගිලී යාමේ ප්‍රීතිය-
එනම් ඒ වරණය’

ළා කොළ පාට තුරුපත්
සිදුරු කරගෙන
ගනකම් වැල් දිගේ
වැක්කෙරෙන ඉර එළිය
පොළොවට එන්න කලින්
මැරෙද්දිත්

මූක නගරෙ පාරවල් පුරා
ඉපැරැණි හුස්මක් විතරක්
තනි පාටින් කැළැත්තෙද්දිත්

මං දැක්කෙ
දහස් වතාවක් බලපු
එක ම එක චිත්‍රපටියක
චලන පසුබිම
ඔව්
රතු පාටයි කළු පාටයි ඒ නගරෙ

කොයි දෙබස ඇත්තට ම
කොතැනදිද කිව්වෙ
කොයි සිද්ධිය හරියට ම
කොයි වීදියෙ ඉඳලද ලිව්වෙ
එක දිගට හිත ඇතු⁣ළෙ ඇහෙන
මැරිලත් එපා වෙන්නැති
එක ම එක ඒකස්වර සද්දෙ
මේ නගරෙ කොතැන ඉඳලද
කෙනෙක් මැරී නො මැරෙන්නට
ඒ සදාතන හී පාරවල් විද්දෙ

~ කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...