රනිල්ගේ සුබ උපන්දිනය රටටත් සුබදායක වෙයිද ?

Date:

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 73 වැනි උපන්දිනය අදට (24) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

වසර දෙකක පමණ ප්‍රබල පසුබෑමකින් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේදී මෙරට සමස්ත දේශපාලන ප්‍රේක්ෂාගාරයෙහි දෑස් තමන් වෙත යොමු කරවා ගන්නට සමත් විය. ඒ, ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවෙහි දේශපාලන තරුව නොහොත් තරගයේ වීරයා වෙමිනි.

තමන් කරන්නේ කුමක්දැයි ඉතාම හොඳින් දැනුවත්ව, හොඳ පෙර සූදානමකින් යුතුව එම සමුළුවට සහභාගී වූ වික්‍රමසිංහ මහතා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ එක මොළයත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මොළ හතමත් එකට තියා ප්‍රසිද්ධියේම ටොකු ඇන පෙන්වූයේය.

එක්සත් ජාතික පක්ෂය එහි ඉතිහාසයෙහි දැවැන්තම පසුබෑමට ලක්ව යන්තම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර එකක් පමණක් ලබා සිටියදී පවා රනිල් තනි පුද්ගලයෙක් ලෙස තම ධාරිතාවය මනාව විදහා පෙන්වූ අවස්ථාවක් ලෙස ඊයේ දිනය සැලකිය හැකිය. ඇත්තෙන්ම එජාපයට ඔය ඉරණම අත්වූයේත් රනිල්ගේ වැරදි නිසාම ය. එහෙත් ඒ කොතෙකුත් වැරදි තිබියදී පවා තමන් යනු දේශපාලන කරළියෙහිදී කොහෙත්ම නොතකා හැරිය නොහැකි සාධකයක් ය යන්න රනිල් ඊයේ ඔප්පු කර පෙන්වූයේය.

ඇත්තෙන්ම ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවෙහි සාරාංශය වූයේ පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සම්බන්ධයෙන් පියවි සිහියෙන් සහ පරිණතභාවයෙන් යුතුව කතා කිරීමට හෝ ඉදිරිපත් වන්නට සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ය යන්නය. අනෙක් අය එක්කෝ අතේ ඇති බලයෙන් මත්වී සිටිති. එසේත් නැතිනම් හෙට අනිද්දා ලැබෙතැයි සිහින දකින බලයෙන් දැන්ම මත්වී සිටිති. එසේත් නැති අය මේ අර්බුදය තවමත් බැරෑරුම් ලෙසින් භාරගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

ඒ සියල්ල අතරේ රනිල් තම අත්දැකීම් සම්භාරයත් සමග නැඟී සිටී.

රනිල් යනු දේශපාලන පක්ෂයක් සංවිධානය කිරීමේදී, පක්ෂයක් වෙත ජනතාව ආකර්ෂණය කරගැනීමේදී අසාර්ථක නායකයෙකු බව ඔප්පු වී හමාර ය. එහෙත් එය ඔහුගේ විසල් දේශපාලන අත්දැකීම් සමුදායෙන් සහ ජාත්‍යන්තර සබඳතාවලින් රටට වැඩක් ගැනීමට බාධාවක් ද වියයුතු නැත. විශේෂයෙන්ම රටේ අනාගතය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක අර්බුදයකට මුහුණ පා සිටින මොහොතක ඒ අත්දැකීම් සහ ඒ සබඳතා අතිශයින්ම රටට වටින්නේ ය.

විපක්ෂයේ රනිල් සහ බලයට පත්වුණු රනිල්

තවත් එකකුත් අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුව තිබේ. ඒ, මෙතෙක් අපගේ අත්දැකීම් අනුව විපක්ෂයේ සිටින රනිල් සහ බලයට ආ පසු රනිල් යනු දෙදෙනෙකු වූ බවයි. විපක්ෂයේ සිටියදී “නළුවෙක් නෙවෙයි මොළයක්” වුණු රනිල්ම බලයට පැමිණි පසු ඒ මොළය ඇළේ දාගන්නා අයුරු අප හොඳටෝම දැක ඇත.

බලය ලද සැණින් රනිල් මෙතෙක් කර ඇත්තේ ඔහුගේ සමීපතම අභ්‍යන්තර කවය වට කරගෙන ඔවුන්ට සිත් සේ පිස්සු නටන්නට ඉඩදෙමින්, අමාරුවෙන් අල්ලාගත් බලය ඔහේ ගිළිහී යන තුරු කිසිදු වගවිභාගයකින් තොරව සිටීම ය. “බලේ තියෙනකොට මොළේ නෑ – මොළේ තියෙනකොට බලේ නෑ” යන ලංකාවේ ජනප්‍රිය දේශපාලන කියමන රනිල්ටත් හොඳටෝම අදාළ ය.

ඒ අනුව විපක්ෂයේ සිටියදී තිබෙන මොළය බලයක් ලැබුණු පසුත් රැකගන්නට රනිල් උගත යුතුව ඇත.

මීට පෙර වසර දෙකකදීම අප රනිල්ට උපන්දිනයට සුබපතමින් ලියුවේ දේශපාලනයෙන් විශ්‍රාම යන ලෙසයි. පවතින තත්වය හමුවේ මෙවර අප එය එසේ ලියන්නේ නැත.

73 වැනි උපන්දිනය වෙනුවෙන් අපි රනිල් වික්‍රමසිංහ මහතාට සුබපතන අතර එයින් රටටම සුබ සෙතක් වේවායි ද ප්‍රාර්ථනා කරන්නෙමු.

කෙසේවෙතත් මේ තීරණාත්මක මොහොත කවරාකාරයෙන් අවසාන වේදැයි කියන්නට අප දන්නේත් නැති බවත් කිව යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...