අද (29) IOC ඉන්ධන නෞකාවක් මෙරටට..

රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ LNW :

මෙරට ඉන්ධන සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය ඉස්මතු කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැතිවරයා අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකාවක් අද (29) දින දිවයිනට ළඟා වීමට නියමිතය.

ඒ අනුව, එහි ඩීසල් මෙට්‍රික් ටොන් 18000 ක් හා 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18000 ක් අඩංගු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති ඩී.ඒ.රාජකරුණා පැවසුවේය.

ඉදිරි මාසය තුළ තවත් ඉන්ධන නෞකා දහයක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති අතර එමඟින් පවතින සැපයුම් ගැටලු විසඳීමට අපේක්ෂා කෙරේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුව, එළඹෙන ජූනි මාසය දක්වා ප්‍රමාණවත් වන පරිදි ඉන්ධන තොග ඇණවුම් කර අවසන්ය. මෙම ක්‍රියාවලිය හරහා දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව සහ මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට ගෙන ඇති පියවර මනාව පැහැදිලි වේ.