Wednesday, May 31, 2023
spot_img

Latest Posts

සුදත් අර්ජුනට යන්න කියයි

ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක වශයෙන් සුදත් චන්ද්‍රසේකරව පත් කර ගැනිම මෙන්ම අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ සභාපති පදවියට ගෙන ඒම සම්බන්ධයෙන් ද එකඟ විය නොහැකිය.ක්‍රීඩාව ගැන විෂයානුබද්ධව දන්නා අයෙක් උපදෙස් දීම ක්‍රීඩාව ගැන විෂයානුබද්ධව නොදන්නා අමාත්‍යවරයෙක්ට බෙහෙවින් වැදගත්ය.නමුත් සුදත් චන්ද්‍රසේකරට එවැනි දැණුමක් ඇති බවට සාක්ෂි නැත.
අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවට වැඩම වූ බවක් එම පත්වීම කාලයේ වාර්තා වූ වාර්තාවලින් පැහැදිළි විය.නමුත් අර්ජුනට ඉල්ලා අස්වෙන ලෙස පවසන සුදත් චන්ද්‍රසේකර නොවන්නට ඔහුට එම පුටුව අහිමි වන්නේය.
“ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය සඳහා ඔබව පත්කර ගැනීමට මා ඔබට පුද්ගලිකව ආරාධනා කළ අතර, ඉන් අනතුරුව ගරු ඇමැතිතුමාට ඒ සඳහා බලපෑම් කළෙමි.

එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඔබගේ පත්වීම අනුමත නොකළ අතර, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වූ පසු මා එතුමා හා සාකච්ඡා කර ඔබගේ පත්වීම සඳහා අනුමැතිය ලබා ගතිමි. එනමුත් ඔබගේ යම් යම් ක්‍රියා කලාපයන් නිසා තවදුරටත් ඔබට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් මෙම කමිටුවේ ක්‍රියා කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතැයි මා නොසිතමි. මා එම කරුණ මෙහි සඳහන් නොකළ ද, ඔබගේ හෘද සාක්ෂිය එයට සාක්ෂි දරනු ඇත.”
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධූරයෙන් ඉවත් වන්නැයි සුදත් චන්ද්‍රසේකර විසින් අර්ජුන අමතන ලිපියේ සඳහන් වැදගත්ම කාරණාව සමාජයට විවෘත නොවන්නට සඟවා ඇත.
“එනමුත් ඔබගේ යම් යම් ක්‍රියා කලාපයන් නිසා තවදුරටත් ඔබට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් මෙම කමිටුවේ ක්‍රියා කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතැයි මා නොසිතමි.”
අර්ජුන සම්බන්ධ විවේචන මාධ්‍ය හරහා ගලා එද්දී සුදත් චන්ද්‍රසේකරලා නෑසු කන්ව නොදුටු නියා සිටියත් මාධ්‍ය වාර්තා කරන ක්‍රීඩා සම්බන්ධ ගැටළු නොව වැදගත් වන්නේ ඔවුනොවුන් අතර විශ්වාසය බිඳ වැටීම බව සුදත්ගේ ලිපියෙන් පැහැදිළි වන්නේය.

කලක් රනිල් වික්‍රමසිංහ සමඟ සමීපවම සිටි සුදත් නැවතත් තමන්ට උවමනා පරිදි පුද්ගලයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ලබා ඇති බව මේ සටහනෙන් පැහැදිළි කරයි.එය සුදුසු අයට ද නුසුදුසු අයට ද වැදගත් නැති අතර සුදත් ට නුසුදුසු බව දැනෙන මොහොතක ඉවත්ව යා යුතුය.මේ ලිපියෙන් පැහැදිළිවන එම කාරණය අතිශයින් බරපතල එකක් වන අතර ජනාධිපතිවරයාගේ හිතවතෙක්ට තමන්ට අවශ්‍යය පරිදි පුද්ගලයන්ව තනතුරුවල හිඳුවා තැබීමට ඇති හැකියාව,ක්‍රිඩාවට පමණක් නොව සමස්ත රට ගැනම හිතන්නට හොඳ නිදසුනක්ය.එහි ඇති නිර්භීත උද්ධච්ඡකම කෙතරම් ද යන්නද මෙයින් පැහැදිළිවන අතර බලය යනු තමන්ට රිසි පරිදි හැසිරෙන්නට හැකි අවකාශයක් බව සිතාගෙන ජනාධිපතිවරයාගෙන් තමන් දිනා දුන් තනතුර ගැන ද එම ලිපියෙන් ප්‍රකාශ කරයි.
අර්ජුන ක්‍රීඩාවට මහා සේවයක් කරන්නට දැක්මක් ඇත්තෙක් නොවුණත්,ලෝක කුසලානයක් රටට දිනා දුන් නායකයෙක්ට, පොලිස් සේවයේ හිටපු සාමාන්‍ය නිලධාරියෙක්ට ක්‍රීඩාව සම්බන්ධ තනතුරකදී සරල බසින් කිව්වොත් ඇඹරෙන්න සිදු විම ඛේදවාචකයක්ය.එයට හේතුව ක්‍රීඩාවේ අර නායකයන් පාලනය කළ හැකි බලයක් සඳහා රටේ නායකයාගේ ආශිර්වාදය ඇතුව එම හිටපු පොලිස් නිලධාරියා ලබා තිබීමය.
අප මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ සේවය කිරීම එක දිගට නොහැකි වී ඇත්තේ ඔහු පත් කළ නිලධාරීන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද එයම විඳින්නට සිඳු වී ඇති බව සඳහන් කළේය.එයට ඔහුගේ ජනාධිපති ශක්තිය සහිත උපදේශකයාද හේතුවක් වී ඇති බවත් කිව්වේය.ඒ පෙබරවාරි 13 වන දා ය.

https://sinhala.lankanewsweb.net/02/13/43702/
අර්ජුන එම තනතුර හරහා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න දියගම දී ජනාධිපතිවරයා අභිමුව හැසිරුණ ආකාරයෙන් පැහැදිළි විය.ක්‍රිකට් ආයතනය වෙනුවට ක්‍රිකට් වැඩ සැළසුම තමාට හැකිය යන්න පෙන්වීම සහ අයිසිසි මේ වන විටත් දේශපාලන බලපෑම් ගැන සෙවීමට කමිටුවක් දමා සිටිය දී දේශපාලනමය වශයෙන් ක්‍රිකට් බලයක් දිනා ගැනීම ඒ හැසිරීම තුළින් අපටනම් දැණින.
කෙසේ හෝ සුදත් චන්ද්‍රසේකර අමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සාකච්ඡා මේසයේ අසුන් ගන්නා පුද්ගලයා ය.අර්ජුන සම්බන්ධ ගැටුමට සමහර විට මේ අසුන් ගැනීමේ බලය ද ගෑවි තිබෙන්නට හැකිය.සුදත්ගේ ලිපියේ හේතුව හැටියට දක්වන්නේ මාර්තු 29 වන දා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වීමකට ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් නොපැමිණීමය.එසේනම් සියලු දෙනාට මෙවැනි ලිපි යැවිය යුතුය.නමුත් දැනට අර්ජුන සමඟ ක්‍රිකට් කෙරුවාව ප්‍රමාණවත් වි ඇති නිසා ඔහුට පමණක් යැවීමට තීරණය කරන්නට ඇත.තවම රටේ රගර් තමන්ගේ කාලයේ වැටුණු තැනින් නැගිට්ටුවමින් සිටින වත්මන රගර් පරිපාලනයට කටුව ගසන්නට බලා සිටින ලසිත වැන්නන්ට මෙයින් පෑරීමක් වි නැත.එහෙත් ඉදිරියට එය එසේ විය හැකිය.

රොෂාන් රණසිංහ මෙතරම් ක්‍රිඩාවට ජාත්‍යන්තර වශයෙන් හානිකර අන්දමේ තීරණ ගනිමින්,රටේ ක්‍රීඩාව ජාත්‍යන්තරය අමතක කර කරගෙන යාමට දරන මුග්ධ උත්සාහයට කිසිඳු විරෝධ්‍යක් ආණ්ඩුව පැත්තෙන් නො’එන හේතුව ගැන, අර්ජුනට ඉවත්වෙන්නැයි ලියන ලිපියෙන් සුදත් පැහැදිළි ඉඟියක් දෙන්නේය.ඒ රොෂාන් රණසිංහ නොවේය.අර්ජුනගේ පත්වීම ද ජනාධිපතිවරයා හරහා තමන් ලබා දුන් බව පෙන්වා දෙන සුදත් ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට වඩා ජනාධිපතිවරයගේ තමාට ඇති සමීපතාවය පැහැදිළි කරන්නේය.

වරක් රනිල් වික්‍රමසිංහව අතහැර ගිය සුදත් ඉදිරියේ දී මේ යන හැටියට රටේ ක්‍රිඩාවට විශාල තහනමක් ආ විට වගකීම භාර ගනියිද ජනාධිපතිවරයා හැර යයි ද අපි නොදන්නෙමු.සමහර විට ජනාධිපතිවරයා රොෂාන් රණසිංහගේ සියල්ල සුදත් නිසා ඉවසමින් “මට ක්‍රීඩාව නැති වුණත් සුදත් හරි ඉදියි” කියා සිහින දකිනවා විය හැකිය.අර්ජුනට ඉවත් වන්නැයි කියා ලියන මේ ලිපියේ කිසිඳු ලැජ්ජාවක්,බයක් නැතිව තමන්ට ජනාධිපතිවරයාව හැසිරවිය හැකි ආකාරය සම්බන්ධයෙන් සුදත් කරන සටහන ඇත්තටම නිර්ලජ්ජිතය.එය රනිල් වික්‍රමසිංහට සහ රොෂාන් රණසිංහට ද දැනෙන්නට විය යුතුය.රොෂාන් රණසිංහ නිකංම පුටුවක්ව තබා සුදත් ජනාධිපතිවරයා හරහා ක්‍රීඩාවේ බලය නතු කරගෙන සිටින බව යම් ආකාරයකින් ඉඟි කරන මේ ලිපිය ජනාධිපතිවරයාගේ හිතවතුන්ට තමන්ට රිසි පරිදි ඕනෑම කේෂ්ත්‍රයක හැසිරෙන්නට ඇති නිදහස පැහැදිළි කිරිමක් බඳුය.

සුදුසු වුව ද,නුසුදුසු වුව ද අතිගරු ජනපති තමන්ගේ හිතවතුන් පවසන පරිදි වැඩ කරනු ඇත.එය ක්‍රීඩාවට පමණක් නොව රටටම නුසුදුසු ය.ඒ නුසුදුසු වපසරිය ඇතුළත නුසුදුසුකම ම සුදුසුකම කර ගත් ජනාධිපති සුදත් චන්ද්‍රසේකර මම ජනාධිපතිගේ මිනිහා.මට එපානම් උඹ යන්න ඕනි යනුවෙන් මේ ලිපියෙන් කරන අනතුරු හැඟවිම ක්‍රීඩාව යැයි පොඩියට ගන්න හදන අය සිහියේ තබාගත යුතු දෙයක් ඇත.
මේ දේශපාලනයේ නරකම සහ විශාලම සෙල්ලමය.

ප්‍රවෘත්ති මූලාශ්‍රය – theleader.lk

සටහන – නිශ්මන් රණසිංහ


Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.