සටහන – නිශ්මං රණසිංහ
අප්‍රේල් 03, කොළඹ (LNW): ශ්‍රී ලංකාව බංගලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගනිමින්,ශ්‍රී ලංකාවට කවදත් වාසිදායක චිතගොං තණතීරුවේ පැවති ටෙස්ට් තරගය ලකුණු 192 න් ජය ගන්නට සමත් වුණා.තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක් වූ කමිඳු මෙණ්ඩිස් දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉණිමේ ලකුණු අතරට ඒමට නොහැකි වූ වාඩුව පිත්ත වෙනුවට පන්දුව යොදා ගනිමින් බංගලාදේශ ක්‍රීඩකයන්ගේ කඩුලු 3 ක් ලකුණු 32 ට දවා ගත්තා.මේ දස්කම නිසා කමිදු ජයග්‍රාහී දෙවන ටෙස්ට් තරගාවලියේ පමණක් නොව ජයග්‍රාහී ටෙස්ට් තරගාවලියේ ද වීරය ලෙස නම් කරනු ලැබුවා.
එංගලන්තය පරාජය කළ සහ නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය සම කර ගැනීමට සමත් වූ බංගලාදේශය සම්බන්ධයෙන් වැඩි අවධානයක් තරගාවලිය ආරම්භ වීමට පෙර යොමු වී තිබුණත්,ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය නිමා වන විට ලෝක ටෙස්ට් සූරතාවලියට අදාළ ශ්‍රේණිගත කිරිම්වල සිව්වන තැන දක්වා ඉහළ එන්නට ද සමත් වී තිබෙනවා.ඔවුන්ට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව,ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය පමණක් වන අතර බංගලාදේශය ඉදිරියේ පරාජය ලැබූ එංගලන්තය අවසාන තැන පසු වෙනවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව පළමු ඉණිමේ දී ලකුණු 531 ක් ලබා බංගලාදේශය ලකුණු 178 ට සීමා කළ විට ඉණිමක පරාජයක් වෙනුවෙන් නැවත බංගලාදේශයට පන්දුවට පහරදීසට ආරාධානා නොකිරීම ගැන කණ්ඩායමට මෙන්ම නායක ධනංජය ද සිල්වාටත් යම් යම් විවේචන එල්ල වෙනු දකින්නට ලැබුණා.ශ්‍රී ලංකාව දෙවන ඉණිමේ දී අසාර්ථක වී කඩුලු 7 ක් ලකුණු 157 ට දැවී ගිය පසුව බංගලාදේශයට පැවරුණු හඹා යාම ලකුණු 510 ක් වුණා.දින දෙකකට ආසන්න කාලයක් තුළ සිව්වන ඉණිමට මෙම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම දුෂ්කර වුව ද,බංගලාදේශ පිතිකරුවන් දෙවන ඉණිමේදී යම් ආකාරයකින් දින දෙකක් ආරක්ෂා වීමට ගොස් දැවන්ත ලකුණු ප්‍රමාණයකින් පරාජය වීමට වඩා ආක්‍රමණික ස්වරුපයකින් ප්‍රහාරාත්මක වීම තෝරා ගෙන තිබුණා.ඒ නිසා ඔවුන්ට දෙවන ඉණිමේදී ලකුණු 318 දක්වා සිය ලකුණු පූවරුවේ පෙණුම පෝෂණය කර ගන්න ලැබුණා.
බංගලාදේශය සියලු තරගවලදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් පරිස්සමිවීම අරමුණු කරගෙන වේග පන්දු යැවීම සඳහා උචිත තණතීරු සකස් කිරීම මේ තරගාවලිය පුරාම දකින්නට ලැබුණු වෙනස් වැඩක්.එහෙත් කලකට පසුව ලැබෙන තමන්ගේ වේගයට උචිත තණතීරුවේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තමන්ගේ අණසක පතුරවන්නට වුණා.පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු විස්සම වේග පන්දු යවන්නන්ට හිමි වූ අතර දෙවන තරගයේ දී ද කඩුලු විස්සෙන් 13 ක් වේග පන්දු යවන්නන් අත් කර ගත්තා.මේ නිසා ශ්‍රී ලංකාවේ පිතිකරුවන් විසින් ගොඩ නැඟූ විශාල ඉණිම් මෙන්ම පන්දු යවන්නන් කළ සේවය ද සුළු කොට තකන්නට බැහැ.

එසේම මේ තරගාවලිය පුරා පළමු ටෙස්ට් තරගයේ දී බොහෝ ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වුව ද තරග දෙක නිමාවේ ආපසු හැරී බැලීමේදී අංක එකේ දිට අංක 8 දක්වා සියළුම පිතිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ ශතකයකින් හෝ දායක වී තිබීම වැදගත්.එසේම පන්දු රැකීමේ දී මේ තරග සංචාරය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිටියේ වෙනදාට වඩා සාර්ථක මට්ටමක යන්නත් අමතක නොකළ යුතු ව්ශේෂත්වයක් වෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ද ලෝක ටෙස්ට් සූරතාවයේ ඉදිරියට ආ ලෙසින්ම ඊ ළඟ ශ්‍රේණිගත කිරීම්වලදී ඉදරියට එන්නට ඉඩක් ශ්‍රී ලංකාවට හිමි විය හැකියි.මාර්තු 11 දා නිමා වන විට ශ්‍රී ලංකාව සිටියේ අටවන තැන වන අතර එය බොහෝ විට ඉදරි ශ්‍රේණිගත කිරීම්වලදී වැඩි වීමේ හැකියාවක් ද තිබෙනවා.

දෙරට අතර තරගාවලිය පුරාම දකින්නට ලැබුණු සිත් පළුඳුවන ආකාරයේ හැසිරීම් ගැන නම් බංගලාදේශය පමණක් නොව,ශ්‍රී ලංකාව ද කණගාටු විය යුතුයි.සමහර විට ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවට පහළින් භෞතික වටිනාකම්වලින් සිටි රටක් හැටියට තිබුණ බංගලාදේශයෙන් ණය ඉල්ලීමට තරමට රටේ දේශපාලනය විසින් රට බංකොළොත්වීම ද එයට හේතුවක් විය හැකියි.හදිසියේ ඔවුන් මත කඩා වැටුණු ස්වාමීත්වයේ නුහුරුකම නිසා එය ප්‍රදර්ශණය කිරීමට හැසිරෙනවා ද යන්න සිතෙන තරමට බංගලාදේශය පරාජය වී කඩා වැටෙද්දී පවා තමන් සතුව ආඩම්බරකාර පෞරුෂයක් තිබෙන බව විඳහා දැක්වීමට උත්සාහ ගත් හැටි පෙන් වූයේ ඒ නිසා විය හැකියි.
කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් තිබුණු බොහෝ සමාජමය විවේචන හරහා ක්‍රිකට් පරිපාලනයට එල්ල වූ බලපෑම් කණ්ඩායම් අභ්‍යන්තරයේ නිරවුල් මනසට බලා පෑවේ නැත්නම් ක්‍රිකට් තිබෙන තැන පෙන් වූ තරගාවලියක් ලෙස මෙය හැඳින්වීම නිවරදියි.එම බලපෑම් වෙනස් වූ පසුව පැවති සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳ විශ්වාසයකින් සහ ජයග්‍රහණයට අවශ්‍යය මානසිකත්වය සහ සාමූහිකත්වය රැක ගන්නවා වැනි අදහසක් පිළිඹිඹු කිරීම ද පැහැදිළියි.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-2nd-test-1419831/full-scorecard
