*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

සබඳ, අපි සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන – ගුණදාස කපුගේ

”ජනතා කලාකරුවෙක් ලෙස සමාජයට සක්‍රියව තම සේවය ඉටු කළ අසහාය වීරයා, වෙල්ලස්සේ ඉඩම් අරගලයේදී, සරසවි සිසු අරගල වල දී මෙන්ම පදවි ශ්‍රී පුර ජනතා අරගල වල දී ද ජනතාව අත් හරින්නේ නෑ. කලාවට මනුෂ්‍යත්වය ප්‍රදානය කළ මිනිසා ඔහුය.” එල්පින්ස්ටන් රඟහළ උතුරා යමින් සිටි කපුගේ ප්‍රේමීන් අමතා වරක් රත්න ශ්‍රී ප්‍රකාශ කරන ලදි. සැබැවින්ම කලාවට, මනුෂ්‍යත්වයට ආදරය කළ මිනිසුන් අතර කපුගේට ලැබෙන්නේ සුවිශේෂී සිථානයකි.

1945 අගොස්තු 7 වනිදා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ගඟබඩපත්තුවේ මිරිස්‌වත්ත නම් වූ පිටිසර ග්‍රාමයේ අට දෙනෙකුගෙන් යුත් පවුලක දෙවනියා ලෙස මෙලොව එළිය දුටු එල්ලමුල්ල කපුගේ ගුණදාස හෙවත් ජනාදරයට පත් ගුණදාස කපුගේ මහතාගේ 19 වන ගුණානුස්මරණය අද (03) වන දිනට යෙදී තිබේ.

ඔහු සිය මූලික අධ්‍යාපනය කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය,ධර්මාශෝක විද්‍යාලය,එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, ගාල්ල නාගොඩ විද්‍යාලය,යන පාසල් වලින් නිම කරන ලදි. උපතින් උරුම වූ ලයාන්විත හඬ පෞරුෂය හේතුවෙන් පාසල් අවධියේ සිටම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබීමට හෙතෙම සමත් විය. 1963දී රජයේ ලලිත කලා ආයතනයට (හේවුඩ්) ඇතුළත් වන අතර තව දුරටත් සංගීතය ප්‍රගුණ කිරීම සඳහා 1965 වසරේදී ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත ආයතනයට ඇතුලත් වන ලදි.

ප්‍රවීන ඉන්දියානු සංගීත වේදීන්ගේ ගුරු හරුකම් යටතේ 1969 වසරේදී ඔහුගේ අධ්‍යාපන කටයුතු නිමා වන්නේ සංගීත විශාරද උපාධිය හිමිකර ගනිමිනි.

1969 වර්ෂයේදී ගුවන් විදුලි සංස්ථාවට තාවකාලික පදනම මත සම්බන්ධවන කපුගේ 1970 වසරේදී එම තනතුරේ ම ස්ථිර කරණු ලැබීය. ඔහුගේ රැකියාව දඬුවම් මාරු රැකියාවෙන් නෙරපීම් වලින් පිරුණු රැකියාවකි.

1977 වර්ෂයේ බලයට පත් වන ජේ. ආර් ජයවර්ධනගේ ආණ්ඩුවට විරුද්ධව දුප්පත්කමින් හා සූරාකෑමෙන් පීඩනයට පත් පීඩිත ජන කොටස් වල ජීවන තත්වයේ යථාර්තය ගීතයන් ඔස්සේ සමාජගත කරන්නට ඔහු උත්සුක විය. ඔහුගේ ගී වලින් ඇසුනේ තැළුණු රිදුණු ආත්මයන්ගේ හඬයි. මේ ජනතාවාදී කතාතරුවාගේ ගමන් මඟ පැවැති ආණ්ඩුවට බලවත් තර්ජනයක් විය.
මේත් සමඟ පැවැති ආණ්ඩුව ඔහුගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීම වළක්‌වාලීමට වාරණ නියෝගයක්‌ නිකුත් කරන ලදි.

කපුගේ හට කියුබාවේ හවානා නුවර පැවති ජාත්‍යන්තර තරුණ සමුළුවකට ආරාධනා ලැබීමත් සමඟ එයට සහභාගී වීමට ගුවන් විදුලි සංස්ථාවෙන් රැකියා නිවාඩු අයදුම් කළත් දේශපාලනික හේතූන් මත එය ප්‍රතික්ෂප විය. එය නොතකා කපුගේ එම සමුළුව වෙත සම්බන්ධ වීමත් සමඟ ඔහු සේවය හැර ගියා සේ සලකා සේවයෙන් පහ කරන ලදි.

1979 වසරේ නැවත වරක් ඔහුට රැකියාව හිමි වුවද එම වසරේම රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාට අපහාස කළේයැයි යන චෝදනාව මත නැවතත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඔහුව නෙරපා දමනු ලැබීය.


එවකට ගුවන් විදුලි සංස්ථා සභාපති ඒමන් කාරියකරවනගේ මැදිහත් වීමෙන් නැවත රැකියාවේ පිහිටවන කපුගේ වෙත දඬුවම් මාරුවක් ලෙස ලැබෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි.

රජරට සේවයේ ස්වර්ණමය යුගය ඇරඹෙන්නේ කපුගේගේ ආගමනයත් සමඟය.
රජරට ගැමියන්ගේ දරිද්‍රතාවය ප්‍රකම්පිත වූ කපුගේ ඔවුන් වෙනුවෙන් ගයන්නට විය. පැවැති සමාජය වෙනුවෙන් සංවාදයක් ඇති කිරීමට ඔහුට අවශ්‍ය විය. ඔහුගේ ගීත වලින් ගැයුනේ ම මානව ප්‍රේමය විය.

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

කපුගේ ගායනා කරනු ලැබූ බොහෝ ගීත, මනුෂ්‍ය ජීවිතයේ එදිනෙදා මුහුණදෙන බරපතළ සමාජ කාරණා සම්බන්ධයෙන් කතාකරන ගීතයි.

1980 වසරේ දී සිය පළමු කැසට් පටය ලෙස “දම් පාටින් ලා සඳ” කැසට් පටය මාලනී බුලත්සිංහල සමඟ නිකුත් කරන ලදි. . පසුව කළ කැසට් අතරින් රසිකයන් ආදරයෙන් වැළදගත් කැසට් ලෙස සීතල සඳ එළියේ (1981), උන්මාද සිතුවම් (1983), ඉරබටු තරුව (1999) හා සඳ රෑ සිහිනේ (2000) හැදින්විය හැකිය.

1981 දී රජරට සේවය සංගීත අංශයේ ප්‍රධානියා ලෙසත් පසුව රජරට සේවයේ ප්‍රධානියා ලෙසත් කපුගේ කටයුතු කරනු ලැබීය. 88/89 භීෂණ සමයේ පවා තම මතය වෙනුවෙන් පෙනී සිටීමට සමත් විය. 1990 වසරේදී නැවත වරක් ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමට එවකට සිටි බලධාරීන් සමත් විය.

දෑස නිලුපුල් තෙමා – කඳුළු මුතු ලැල් සලා” ගීතය ගයනා කරමින් ගායකයෙක් ලෙස රසික හදවත් වලට ආමන්ත්‍රණය කළ කපුගේ දවසක් පැල නැති හේනේ, උල ලේනෝ, බිංදු බිංදු තාරකා, විදුලි මිණි පහන් දැවී, මගෙ හද මඬල මල් යහනකි, සිංහල සින්දු කියන, දම් පාටින් ළා සඳ බැස යනවා (මාලනී බුලත්සිංහල සමඟ), බිරිඳ මගේ ඔබ (නන්දා මාලනී සමඟ), නාඹර ගොයමට, උන්මාද සිතුවම් (එක්ටැම් ගේ චිත‍්‍රපටයේ) දොඹ මල් කැලෑවේ වැනි ගීත මඟින් රසික සිත් ඇද බැඳ ගැනීමට සමත් වන ගීත අතරින් කිහිපයකි.

ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැඳිනිය හැකි වෙද…

ගුණදාස කපුගේ වරක් ප්‍රකාශ කරණු ලබන්නේ ‘සෞන්දර්යයෙන් අනූනව සහෘද සිත් වසඟයට ගනිමින් අපේ ජීවිතවලට අවශ්‍ය ප්‍රඥාව සපයන ගීත අද අත්‍යවශ්‍යයි. සැබැවින්ම මානව ප්‍රගමනයට හේතුවන්නේ එවැනි ගීතයි. ඉන්ද්‍රචාපයන් සේ පිපී හුදු චමත්කාරයෙන් සිත් වල්මත් කර, යථාර්ථය සහෘදයන්ගෙන් වසන් කර තබන ගීත සේවය කරන්නේ සැබෑ මිනිසාට නොවෙයි, ඔහුව පීඩනයට පත්කරන අතළොස්සකටයි’ යනුවෙනි.


කපුගේගේ ගීවල විශේෂත්වය නම් ඔහු ගායන් කරන ලද ගීත බොහෝමයක් ඉතාම අර්ථාන්විත ගීත වීමයි. ඒවායෙන් බොහෝමයක් පීඩිත මානව ජීවිත පිළිබඳ යටිපෙළ කියවීමකි. ඔහු ගීතය මෙන්ම සංගීතය අවියක් කොටගෙන පැවැති සමාජය විවේචනය කිරීමට සමත් විය.

ඉහිරුණු කිරි කොතලෙට ඉකිබිඳලා පල නෑ
සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ….

ගුණදාස කපුගේ මහතාගේ සංගීත නිර්මාණ හා අධ්‍යක්ෂණයන් පිළිබඳවද මෙහිලා සඳහන් කරණු වටියි.


ගුවන්විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායකයකු වු ගුණදාස කපුගේ මහතා සංගීත අධ්‍යක්ෂණය කල පළමු වේදිකා නාට්‍යය වූයේ සුගතපාල ද සිල්වා මහතාගේ තුරඟ සන්නියයි. ඉන් අනතුරුව වේදිකා නාට්‍ය ගණනාවකම ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් සිය දායකත්වය ලබා දෙන ලදි. එනම් පරපුටුවෝ, නන්දි විසාල තාරාවෝ ඉගිලෙති, සිර කඳවුරු, සත් සහ සත, සසර සෙවනැළි ආදී නිර්මාණයි.

පළමු වරට චිත්‍රපටයක සංගීතය සඳහා දායක වූයේ ස්ටැන්ලි පෙරේරා මහතාගේ “සඳා” (1980) චිත්‍රපටය සඳහායි. ඉන් අනතුරුව රතු මකරා, මාල ගිරවී, චුට්ටි, බව දුක, පුතුන් මට සමාවෙන්න භව කතර ආදී චිත්‍රපට වෙනුවෙන් සිය සංගීතමය දායකත්වය අධීක්ෂණය ලබා දෙන ලදි.

කපුගේ විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය දකිහිපයකි. එනම් ගිගිරි වළලු, අයියම්මාරුව , රන්දෝලි, දොළොස් පැය, සිර කඳවුරු, පාරමීදම්, සසර සෙවනැලි, රේල් පීලි සඳ මද්දහන, සඳා ආදිය මෙහිලා දැක්විය හැකිය.

සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින

ගුණදාස කපුගේ විසින් ඉදිරිපත් කරන ලද කම්පන ප්‍රසංගය එතෙක් මෙතෙක් බීහිවූ සමාජයේ පීඩනයේ දරිද්‍රතාවයේ කුසගින්නේ කම්පනය විය. ඔවු සටන් කරනු ලැබුවේ විමුක්තිය උදෙසා නොව දරිද්‍රතාවයෙන් පීඩනයට පත්වූවන් එයින් මුදවා ගැනීම වෙනුවෙනි. මෙහිදී විරෝධාකල්ප සෞන්දර්යාත්මකව කලාත්මක කොන්දේසිවලට යටත්ව භාවිතයට ගැනීම සිදු විය. මෙහිදී සමකාලීනව පැවැති අරගලය, ආවේගය, කැක්කුම හරහා ගීතය අවියක් බවට පත් කර ගැනීමට සමත් විය. ඒතැනදී අතිශය ප්‍රබල නිර්මාණ බිහි විය.

කපුගේ අවස්ථා ගණනාවකදී හොඳම කටහඬ හා හොඳම ගායනය සම්බන්ධයෙන් ජනාධිපති සම්මානයට, සරසවි සම්මානයට මෙන් ම OCIC මෙන්ම ස්වර්ණ සංඛ ආදී සම්මානට පාත්‍ර විය.

· ස්වර්ණ සංඛ සම්මානය – හොඳම කටහඬ (1996)

· විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ (1996)

· රස සන්ගීත සම්මානය – හොඳම ගායකයා (1997)

· ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා (1997)

· සරසවි සම්මානය – හොඳම කටහඬ (1997)

· OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය(1997)

· ජනාධිපති සම්මානය – හොඳම ගායකයා (1998)

· සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය (1999)

2003 වසරේ අප්‍රේල් මස 03 වන දින විදෙස් සංචාරයක් නිමවී පැමිණීමේදී බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිදු වූ හදීසි අනතුරකදී තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමට පුමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කරමින් මිය යන ලදි.

ඒ නමුත් කලාවට මනුෂ්‍යත්වය ආරෝපණය කළ ඔහු අදටත් ජනතා සිත් තුළ මුල් ස්ථානයක් ගන්නා කලාකරුවෙක් ලෙස හැදින්වීම අතිශයෝක්තියක් නොවනු ඇත. කපුගේ ගායනා කරන ලද සියලුම ගීත නිර්මාණවල ඇත්තේ මිහිරිම සුවඳ රැදුණු අතීතයකි. විටෙක ඒ අතිතය බියකරුය. ලේ, කඳුළු, දුක් පීඩා රැසකින් සමන්විතව තිබුණද අදටද ඉන් වහනය වන්නේ මිහිරිතම සුවඳකි.

සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan