*
Monday, April 7, 2025
spot_img

Latest Posts

රටේ මුදල් පාලකයා රජය ද, මහ බැංකුව ද? ඩොලරය ද? අයවැයෙන් ස්වාධීන වූ මුදල් ක්‍රමයක් සහ පාලනයක් තිබේ ද? මහා ආර්ථික මිථ්‍යාවන් දුරලමු.

ලිපියේ අරමුණ සහ පසුබිම 

මෙම ලිපියේ අරමුණ වනුයේ ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණය රජයෙන් ස්වාධීනව පාලනය කිරීමට මහ බැංකුවට බලය පැවරීමේ මතවාදය හුදු මිථ්‍යාවක් බව හුවා දැක්වීම යි. 

ඊට හේතුව, රටවල නූතන මුදල් ක්‍රමය සහ මුදල් මුද්‍රණය රාජ්‍ය ණය මත ක්‍රියාත්මක වීම යි. රාජ්‍ය ණය යනු අයවැය හිඟය පියවීමට මැවෙන මුදල් ය. එබැවින්, ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණය රාජ්‍ය අයවැය හිඟය මත තීරණය වන අතර එය පාලනයට මහ බැංකුවට හැකියාවක් නොමැත. එබැවින්, මහ බැංකුවේ මුදල් පාලනය යනු හුදෙක් පදනම් විරහිත නිලධාරී මතවාදයක් වන අතර එමගින් ආර්ථිකයට ඇති කෙරෙන ව්‍යුහාත්මක සහ අර්බුද අවදානම් පිළිබඳ වාර්තාවන් ඒමට පවතී.

පුරාණ මුදල් මෙන් නොව, නූතන මුදල් යනු කිසිම නෛසර්ගික වටිනාකමක් නොමැති (නිශ්චිත මූර්ත වත්කමකින් ආවරණය නොවන), හුදෙක් පොදු විශ්වාසය මත ගනුදෙනු කෙරෙන ද්‍රව්‍යයකි. එබැවින්, නූතන මුදල් ක්‍රමයන් පොන්සි ජාවාරමකට සමාන වෙයි. පොන්සි ජාවාරමක් යනු එහි ආයෝජකයන්ට මුදල් ආපසු ගෙවීම සඳහා වත්කම් නොමැති පිරමීඩ ව්‍යාපාරයකි. එබැවින්, ආයෝජකයන්ගේ විශ්වාසය බිඳෙන විට, පොන්සි ජාවාරම් විගසින් කඩා වැටෙනු ඇත. නූතන මුදල් ක්‍රමයන් ද එසේ මුදල් හිමියන්ට ආපසු ගෙවීමට නොහැකි වීමෙන් කඩා වැටේ. එය වැලැක්වීමට හෝ මුදල් කෙරෙහි පොදු විශ්වාසය ආරක්ෂා කිරීමට මහ බැංකුවලට නොහැකිය.

මෙම ලිපියට පසුබිම් සාධක කිහිපයක් ද ශ්‍රී ලංකාවෙන් දැක්විය හැකිය.

  • ශ්‍රී ලංකාව පසුගිය මාස 6 ක කාලයක් තුළ අවධමන උගුලකට (පොදු මිල මට්ටම අඛණ්ඩව පහළ යාම) හසු වී ඇති අතර එය මහ බැංකුවේ පාලනයෙන් තොර සිද්ධියක් බව මහ බැංකුව විසින් දැක්වීම. එහෙත්, මහ බැංකුවේ ව්‍යවස්ථාපිත කාර්යය වන්නේ, උද්ධමනය 5% ක මට්ටමක පවතින ලෙස මුදල් ප්‍රමාණය පාලනය කිරීම යි.
  • රටෙහි විශාල පෞද්ගලික බැංකුවක් විසින් විශාල ව්‍යාපාරික ආයතනයන් කිහිපයකට දී ඇති ණය ආපසු අයවිමේ ප්‍රමාදය හේතු කොට එම බැංකුවෙහි තැන්පතු හිමියන්ට මුදල් ආපසු ගෙවීමේ අර්බුදයක් ඇති වීමේ අවදානමක් පවතින බවට පළ වූ වාර්තාවන්. මෙය, තැන්පතු හිමියන්ගේ මුදල්වලින් ණය දී ඇති බව දැක්වෙන සාවද්‍ය මතයේ ප්‍රතිඵලයකි.
  • විශාල රාජ්‍ය බැංකු තුන පිළිබඳ මහ බැංකු නියාමනය නිසි ලෙස නොකෙරෙන බැවින් එය යථාතත්ත්වයට පත් කොට රාජ්‍ය බැංකු අරක්ෂා කරන ලෙස බැංකු වෘත්තීය සමිතියක් මහ බැංකුවට එරෙහිව මෑතක දී උද්ඝෝෂණය කිරීම. ඊට හේතුව, බැංකු ක්‍රමය කෙරෙහි පොදු විශ්වාසය ආරක්ෂා කිරීමට බැංකු නියාමනය ද දායක වීම යි.
  • රාජ්‍ය ණය තොගය අධික බැවින් ණය තිරසාර භාවය ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කොට, අයවැය හිඟය පාලනය කරන ලෙස IMF විසින් රජයට කොන්දේසි පැනවීම. රාජ්‍ය වියදම් කැපීම සහ බදු ඉහළ දැමීම ද එම කොන්දේසිවල කොටසකි. එය, රජය සහ ආර්ථිකය බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමේ පියවරක් ලෙස දැක්වෙයි.

නූතන නාම මාත්‍ර මුදල් විකාශය සැකෙවින්

ඉහත සඳහන් කළ මිථ්‍යා මුදල් මතවාදය අවබෝධ කර ගැනීමට පෙර, නූතන මුදල් විකාශය වූ ආකාරය අවබෝධ කර ගැනීම ප්‍රයෝජනවත් වෙයි. නූතන මුදල් විකාශය දීර්ඝ කාලයක ප්‍රතිඵලයකි. එය පෞද්ගලික භාණ්ඩ මුදල්වල  සිට නූතන නාමමාත්‍ර රාජ්‍ය මුදල් දක්වා වසර දහස් ගණනක් පුරා විකාශය වී ඇත. බොහෝ නව සොයා ගැනීම් මෙන් මුදල් සොයා ගත් විශේෂ පුද්ගලයකු පිළිබඳ වාර්තාවන් නොමැත. එහෙත්, ලෝකයේ ඉතාමත් අපූර්ව සහ අතිශය ප්‍රයෝජනවත් සොයා ගැනීමක් වන්නේ මුදල් ය.

ලෝකයේ ආරම්භක ආර්ථිකයන් යනු භාණ්ඩ හා සේවා එකිනෙකට හුවමාරු හෝ වෙළෙඳාම් වූ ආර්ථිකයන් ය. ඊට පසු, යම් යම් භාණ්ඩයන් මුදල් ලෙස භාවිතා කිරීම හරහා වෙළෙඳ ගනුදෙනු සිදු විය. එනම්, දුම්කොළ, කරවල, ධාන්‍ය වැනි මහජන ඉල්ලුමක් ඇති කල්පවතින භාණ්ඩයන් මුදල් ලෙස භාවිතා කිරීම යි. මෙහි දී, තම නිෂ්පාදනයන් පළමුව එම භාණ්ඩ මුදල් සමඟ හුවමාරු කිරීමත්, දෙවනුව එම භාණ්ඩ මුදල් හුවමාරුව මගින් වෙනත් ගනුදෙනු කිරීමත් ය. 

පසුව, මුදල් ලෙස කල්පවතින විරල ලෝහ කැබලි හෝ කාසි භාවිතා විය. එම ලෝහ කාසි මුදල්වල මුහුණත දැක්වෙන වටිනාකමට සමාන ලෝහ ප්‍රමාණයක් කාසිවල අඩංගු විය. 

නූතන නෝට්ටු මුදල් විකාශය වූයේ රන් ලෝහය පදනම් කර ගෙන භාවිතා වූ රන් කාසි මුදල් හරහා ය. එය අවධීන් කිහිපයකින් යුක්ත විය.

  • පළමු අවධිය වූයේ, බැංකු විසින් ගනුදෙනු කරුවන්ගෙන් රන් තැන්පතු භාර ගෙන, එම රන් වටිනාකම සඳහා කුවිතාන්සි නිකුත් කිරීමත්, එම කුවිතාන්සි රන්වලින් ආවරණය වන බැවින් එම රන් කුවිතාන්සි මුදල් ලෙස භාවිතා කිරීමත් ය. 
  • එම කුවිතාන්සි යනු හුදෙක් නිශ්චිත කඩදාසි නෝට්ටු හෝ කැබලි වුව ද, ඒවා නියමිත රන් ප්‍රමාණයකට හුවමාරු කිරීමට බැංකු බැඳී සිටීමේ පොදු විශ්වාසය මත ඒවා මුදල් ලෙස භාවිතා විය. ඊට පසුව බැංකු විසින් පුද්ගලයන්ට ණය දීමේ දී ද, මෙවැනි රන් කුවිතාන්සි නිකුත් කරන ලදි. 
  • එහෙත්, බැංකු සතුව ඊට අදාළ රන් ප්‍රමාණයක් හෝ සංචිතයක් නොවූ අතර ඉල්ලා සිටින විට කුවිතාන්සි හිමියන්ට රන් සැපයීමට බැංකු බැඳී සිටින ලදි. සියළු රන් කුවිතාන්සි හිමියන් විසින් එකවර අදාළ රන් ප්‍රමාණය ඉල්ලා නොසිටින බැවින් රන් සංචිතයක් මත පදනම් වූ මුදල් ක්‍රමය ක්‍රියාත්මක විය. 
  • එහෙත්, වරින් වර එසේ බැංකුවලින් ඉල්ලා සිටින රන් ප්‍රමාණය ඉහළ ගිය විට, ඊට ප්‍රමාණවත් රන් සංචිතයක් බැංකු සතු නොවීමෙන් බැංකු කඩා වැටිණ. එනම්, බැංකු අර්බුදයන් හට ගැනීම යි..
  • දෙවැනි අවධිය වූයේ, බැංකු විසින් තම නමින් විවිධ මුහුණත වටිනාකමින් යුත් මුදල් නෝට්ටු නිකුත් කළ අතර ඒවා නිශ්චිත රන් ප්‍රමාණයකට හුවමාරු කිරීමට බැංකු බැඳී සිටීම යි. එබැවින්, මුදල් ලෙස විවිධ බැංකු නෝට්ටු භාවිතා විය. මෙය රන් සම්මතය ලෙස හැඳින් වෙයි.
  • තෙවැනි අවධිය වූයේ, රජයන් විසින් මහ බැංකු පිහිටුවා මුදල් නෝට්ටු නිකුත් කිරීමේ අධිකාරිය මහ බැංකුවට පැවරීමත්, මුදල් නෝට්ටු නිකුත් කිරීමට බැංකුවලට තිබු අධිකාරිය ඉවත් කිරීමත් ය. ඒ අනුව, රටවල නිල හෝ රාජ්‍ය මුදල් ක්‍රමයන් බිහි විය. 
  • ආරම්භයේ දී නිල මුදල් නෝට්ටු නිකුත් කරන ලද්දේ ද, ඒවා නිශ්චිත රන් ප්‍රමාණයකට හුවමාරු කිරීමේ පදනම මත ය. එනම්, මහ බැංකු විසින් මුදල් නෝට්ටු නිකුත් කරනු ලැබුවේ, ඔවුන් විසින් වෙළෙඳපොළෙන් මිල දී ගන්නා රන් ප්‍රමාණයට අනුපාතිකව පමණි. 
  • ඒ අනුව, මහ බැංකුව විසින් ඕනෑම අවස්ථාවක තම ගනුදෙනු කරුවන් වන බැංකු විසින් ඉදිරිපත් කරන මහ බැංකු මුදල් නෝට්ටු සඳහා නියමිත රන් ප්‍රමාණය සැපයීමට බැඳී සිටින ලදි. එබැවින්, මහ බැංකු විසින් රන් මිල දී ගන්නා විට, සංසරණයේ පවතින මුදල් නෝට්ටු ප්‍රමාණය ඉහළ ගිය අතර ඊට ප්‍රතිවිරුද්ධව මහ බැංකු විසින් රන් අළෙවි කරන විට සංසරණයේ පවතින මුදල් නෝට්ටු ප්‍රමාණය පහළ යන ලදි. 
  • ඒ අනුව, සංසරණයේ පවතින මුදල් නෝට්ටු ප්‍රමාණය හුදෙක් මහ බැංකුවේ රන් සංචිතය සහ මහ බැංකුවේ රන්-මුදල් නෝට්ටු හුවමාරු අනුපාතය මත තීරණය විය.
  • සිවුවැනි අවධිය වූයේ, 1944 දී රටවල් විසින් බ්‍රෙටන්වූඩ්ස් මුදල් ක්‍රමය පිහිටු වීම යි.
  • මෙහි දී, ඇමෙරිකානු රජය විසින් තම මුදල් වූ ඩොලරය, රන් අවුන්සයක් ඩොලර් 35 ක ස්ථාවර මිලකට හුවමාරු කිරීමටත්, අනෙක් රටවල මුදල් ඊට සමානුපාතිකව ස්ථාවර මිල ගණන්වලට ඩොලර් සමඟ හුවමාරු කිරීමටත්, රටවල් අතර මුදල් හුවමාරුව ඒ අනුව එකඟ වූ ස්ථාවරමිල ගණන් මත කිරීමටත් එකඟ විය. 
  • ඒ අනුව, ඇමෙරිකානු ඩොලරය සෘජුව රන් මත පදනම් වූ අතර අනෙක් රටවල මුදල් ඩොලරය හරහා වක්‍රව රන් මත පදනම් විය.  ඒ අනුව, අනෙක් රටවල මහ බැංකු විසින් තම ඩොලර් සංචිතය මෙන්ම රන් සංචිතය මත දේශීය මුදල් නිකුත් කරන ලදි. එබැවින්, ලෝකය පුරා රටවල මුදල් නෝට්ටු නිකුත් කිරීම සමස්තයක් වශයෙන් රන් සැපයුම මත පදනම් විය. එනම්, මුදල්වල දැක්වෙන මුහුණත වටිනාකම භෞතික වත්කමක් වන යම් රන් ප්‍රමාණයකින් ආවරණය වීම යි.
  • පස්වැනි අවධිය වූයේ, ඇමෙරිකාව විසින් 1973 අගෝස්තු 15 දින තම ඩොලර්-රන් හුවමාරුව අත්හිටුවීම සහ ඊට පසු මේ දක්වා කාලය යි. ඒ අනුව, රටවල මහ බැංකු විසින් තම අභිමතය පරිදි රන් වැනි කිසිම භෞතික වත්කමකින් ආවරණය නොවන නාමික මුදල් නෝට්ටු නිකුත් කිරීම ආරම්භ විය. වත්මන් ලෝකයේ පවතින සියළුම මුදල් මෙවැනි නාමමාත්‍ර මුදල් ය. එබැවින්, එම මුදල්වල මුහුණත දැක්වෙන වටිනාකම යම් කිසි වත්කමකින් ආපසු ගෙවීමට මහ බැංකුවලට කිසිම නීතිමය බැඳීමක් නොමැත. 

එබැවින්, මහජනයා විසින් වත්මන් මහ බැංකු මුදල් නෝට්ටු භාවිතා කෙරෙන්නේ, එමගින් මුදල්වල කාර්යයන් ඉටු කිරීම සඳහා ගනුදෙනු කළ හැකි බවට ඇති විශ්වාසය නිසා ය. මුදල්වල කාර්යයන් යනු වටිනාකම මැනීම, වටිනාකම රැස්කිරීම සහ වටිනාකම අත්පිට හෝ ණයට හුවමාරු කිරීම යනාදිය යි.  එහෙත්, සමහර රටවල එසේ නිල මුදල් පැවතිය ද, මහජනයා විසින් ඒවා මුදල්වල කාර්යයන් ඉටු කිරීම සඳහා නොපිළිගැනීම හේතු කොට, වඩා විශ්වාසී ඩොලර් වැනි විදේශ මුදල් භාවිතා කිරීමට පෙළඹී ඇත.

නූතන මුදල් වර්ගයන්/මෙවලම්

ඉහත දැක්වූ ලෙස විකාශය වූ මුදල් වර්තමානයේ රටවල නාමමාත්‍ර නිල මුදල් ඒකකයක් සහ එමගින් ගනුදෙනු කළ හැකි මුදල් මෙවලම් රාශියක් හරහා භාවිතා වෙයි. නිල මුදල් ඒකකය යනු ගනුදෙනුවල වටිනාකම මැනීමේ පොදු මිනුම හෝ මාධ්‍යය යි. උදාහරණ ලෙස ඇමෙරිකාවේ නිල මුදල් ඒකකය ඩොලර් ය. ඒ අනුව, ගනුදෙනු හෝ වෙළෙඳ ගිවිසුම් නිල මුදල් ඒකකය මගින් ප්‍රකාශ කෙරෙන වටිනාකම් සඳහා එකඟ වනු ඇත. 

එහෙත්, එම ඩොලර් මුදලින් ගනුදෙනු කිරීම හෝ මුදල්වල කාර්යයන් ඉටු කිරීම සඳහා පුද්ගලයන් අතැති මහ බැංකු කාසි සහ නෝට්ටු, බැංකු තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් වැනි මුදල් මෙවලම් හෝ මුදල් ආදේශකයන් භාවිතා කළ හැකිය. එබැවින්, සංසරණය වන මුදල් යනු මෙම සියළුම මුදල් මෙවලම්වල වටිනාකමේ එකතුව යි. එය රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය ලෙස සැලකෙයි.

එහෙත්, මෙම මුදල් නිෂ්පාදනය හෝ නිකුත් කිරීමට මහජනයාට නිදහස හෝ හැකියාව නැත. ඒවා නිකුත් කළ හැක්කේ, ඒ සඳහා නෛතික අධිකාරිය ලැබී ඇති ආයතනයන්ට පමණි. එනම්, රජය, මහ බැංකුව සහ බැංකු ය. මොවුන් විසින් එසේ මුදල් නිකුත් කිරීම මුදල් මැවීම ලෙස දැක්වෙයි. එය නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව සිදු වෙයි. එබැවින්, නූතන මුදල් යනු කිසිම භෞතික වත්කමකින් ගෙවීමක් නොකෙරෙන නාමමාත්‍ර මුදල් බැවින් නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව සීමාවක් නැතිව මුදල් මැවීම හෝ නිෂ්පාදනය කළ හැකිය.

නූතන මුදල් මැවෙන ආකාරය

ඉහත දැක්වූ පරිදි ආර්ථිකයෙහි සංසරණය වන මුදල් ප්‍රමාණය රජය, මහ බැංකුව සහ බැංකු විසින් සිදු කරන ව්‍යාපාරික ණය ගනුදෙනු මත තීරණය වනු ඇත. නූතන මුදල් මෙවලම් වන රාජ්‍ය සුරැකුම්පත්, මහ බැංකු මුදල් (එනම්, කාසි සහ නෝට්ටු සහ මහ බැංකු තැන්පතු) සහ බැංකු තැන්පතු හෙවත් බැංකු මුදල් යනු එම ණයවල අතුරු ප්‍රතිඵලයකි. ඒ බව, පහත දැක්වෙන උදාහරණයන් මගින් පැහැදිළි කළ හැකිය.

රාජ්‍ය සුරැකුම්පත් 

රජය විසින් තම ආදායමට වඩා වියදම් කරන විට අයවැය හිඟයක් හට ගනී. එය පියවීම සඳහා ණය ගැනීමේ දී, රාජ්‍ය සුරැකුම්පත් හෙවත් පොරොන්දු නෝට්ටු නිකුත් කෙරේ. එවිට, මහජනයා සහ බැංකු විසින් ඒවා මිල දී ගෙන රජයට මුදල් ලබා දෙයි. එම මුදල් රජයේ බැංකු ගිණුම්වලට තැන්පතු ලෙස එකතු වනු ඇත. ඒ සඳහා රජය විසින් සුරැකුම්පත් ආයෝජකයන්ගේ ගිණුම්වලට අදාළ සුරැකුම්පත් ප්‍රමාණයන් නිකුත් කෙරේ. ඒවා ඔවුන්ට මුදල් වත්කමකි. ඊට හේතුව, අවශ්‍ය අවස්ථාවල මුදල් නෝට්ටු හෝ බැංකු තැන්පතු සමඟ රාජ්‍ය සුරැකුම්පත් හුවමාරු කොට, එම මුදල් මුදලේ කාර්යයන් සඳහා භාවිතා කළ හැකි බැවිනි. ඒ සඳහා ඉතා විශ්වාසී සහ ක්‍රියාකාරී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළක් පවතී. එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් ද මුදල් ලෙස සැලකෙයි.

රජයේ අයවැය හිඟය අඛණ්ඩව ඉහළ යාම හෝ ඉහළ මට්ටමක පැවතීම ආර්ථිකයට හිතකර නොවන බවට විවේචනය කෙරෙන්නේ, මෙසේ රාජ්‍ය ණය හෝ සුරැකුම්පත් නිකුතුව ඉහළ යාම හරහා ආර්ථිකයෙහි සංසරණය වන මුදල් ප්‍රමාණය ඉහළ යන බැවිනි.

මහ බැංකු මුදල් 

මහ බැංකු මුදල් යනු මහ බැංකුව විසින් තම ගනුදෙනුවල දී නිකුත් කරන මුදල් ය. සංචිත මුදල් ලෙස ද හැඳින් වෙන මෙම මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරය රජය විසින් නීතිය මගින් මහ බැංකුවට ලබා දී ඇත. මහ බැංකුව විසින් මුදල් ගනුදෙනු කරන්නේ, රජය සහ වාණිජ බැංකු සමඟ ය. ඔවුන් විසින් එම ගනුදෙනු මහ බැංකුවේ පවත්වා ගෙන යන ජංගම ගිණුම් හෙවත් සංචිත ගිණුම් හරහා සිදු කෙරේ.  එම ගනුදෙනු දෙවර්ගයකි. එනම්, ණය සහ විදේශ විනිමය යි. මහ බැංකුව විසින් මුදල් නිකුත් කරන්නේ, එසේ ණය දීම සහ විදේශ විනිමය මිල දී ගැනීම හරහා ය.

  • රජය හෝ වාණිජ බැංකුවක් මහ බැංකුවෙන් ණය ලබා ගැනීමේ දී, එම මුදල් වටිනාකම මහ බැංකුව විසින් අදාළ සංචිත ගිණුමට නව තැන්පතුවක් ලෙස එකතු කෙරේ. එය නව මුදල් නිකුතුවකි. ඊට හේතුව, රජයට හෝ වාණිජ බැංකුවට එම මුදල් තම ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි බැවිනි. ඊට ප්‍රතිවිරුද්ධව, ඔවුන් විසින් මහ බැංකුවට තම ණය ණය ආපසු ගෙවන විට, මහ බැංකුව විසින් අදාළ සංචිත ගිණුම්වල ශේෂය එම ප්‍රමාණයෙන් අඩු කෙරේ. එය මුදල් නිකුතුව පහළ යාමකි. මෙම ණය මහ බැංකුවේ වත්කමකි. 
  • රජය සහ වාණිජ බැංකුවලට මහ බැංකුව සමඟ විදේශ මුදල් වෙළෙඳාම කළ හැකිය. ඔවුන් මහ බැංකුවට විදේශ මුදල් අළෙවි කිරීමේ දී, මහ බැංකුව විසින් ඊට සමාන රුපියල් වටිනාකම අදාළ සංචිත ගිණුම්වලට නව තැන්පතු ලෙස එකතු කෙරේ. එය නව මුදල් නිකුතුවකි. ඊට ප්‍රතිවිරුද්ධව, ඔවුන් විසින් මහ බැංකුවෙන් විදේශ මුදල් මිල දී ගැනීමේ දී, ඊට අදාළ රුපියල් වටිනාකම ඔවුන්ගේ සංචිත ගිණුම්වල තැන්පතු ශේෂයෙන් අඩු කෙරේ. එය මුදල් නිකුතුව පහළ යාමකි. මෙම විදේශ මුදල් මහ බැංකුවේ වත්කමකි. 
  • මෙසේ මහ බැංකුව සතු විදේශ සංචිතය විදේශ මුදල් ඇපය මත දී ඇති ණයවලට සමානය. ඊට හේතුව, මහ බැංකුව විසින් රජයෙන් සහ වාණිජ බැංකුවලින් විදේශ මුදල් මිල ගැනීමට අමතරව ඔවුන්ට අවශ්‍ය වෙලාවට විදේශ මුදල් අළෙවි කිරීම ද කරන බැවිනි. එබැවින්, මෙම විදේශ මුදල් වෙළෙඳ ගනුදෙනු හුදෙක් ණය ගනුදෙනුවලට සමානය. කෙසේ වෙතත් මහ බැංකු විදේශ සංචිතයේ බහුතරය රජයේ විදේශ ණය මුදල්වලින් ගොඩ නැගී ඇත. ඊට හේතුව, මූර්ත විදේශ වෙළෙඳ ගනුදෙනුවලින් මහ බැංකුවට මිල දී ගැනීමට තරම් විදේශ මුදල් අතිරික්තයක් ශ්‍රී ලංකාවට නොමැති බැවිනි.

රජයට සහ වාණිජ බැංකුවලට මහ බැංකුවේ ඇති තම සංචිත ගිණුම්වල පවතින තැන්පතු ශේෂය හරහා සිදු කළ හැකි මුදල් ගනුදෙනු දෙවර්ගයකි.

  • පළමුව, රජය, වාණිජ බැංකු සහ මහ බැංකුව අතර මුදල් ගනුදෙනු කිරීම. ඒ සඳහා මහ බැංකුව විසින් විද්‍යුත් ගෙවුම් සහ පියවුම් පද්ධතියක් පවත්වා ගෙන යයි. එබැවින්, මෙම සංචිත ගිණුම් යනු හුදෙක් ඉලක්කම් හෙවත් ඩිජිටල් මුදල් ය. එම ගිණුම්වලින් කෙරෙන මුදල් ගනුදෙනු හුදෙක් ගිණුම් අතර මුදල් සටහන් මාරු කිරීම මගින් සිදු කෙරේ.
  • දෙවනුව, සංචිත ගිණුම්වලින් කාසි සහ නෝට්ටු ලෙස මුදල් ආපසු ගැනීම සහ තැන්පත් කිරීම. රජය සහ වාණිජ බැංකු විසින් මහජනයා සමඟ කෙරෙන සමහර මුදල් ගනුදෙනු සඳහා කාසි සහ නෝට්ටු අවශ්‍ය වෙයි. ඒ සඳහා අවශ්‍ය කාසි සහ නෝට්ටු ප්‍රමාණය තම සංචිත ගිණුම්වල තැන්පතු ආපසු ගැනීමෙන් ලබා ගන්නා අතර ඔවුන් විසින් මහජනයා සමඟ කෙරෙන ගනුදෙනුවල දී ලැබෙන අතිරික්ත කාසි සහ නෝට්ටු ප්‍රමාණය තම සංචිත ගිණුම්වල තැන්පත් කළ හැකිය. එබැවින්, මහජනයාට මහ බැංකු කාසි සහ නෝට්ටු ලැබෙන්නේ, මෙසේ රජය සහ වාණිජ බැංකු හරහා ය.

ඒ අනුව, මහ බැංකු මුදල් යනු රජය සහ වාණිජ බැංකු සතු සංචිත ගිණුම්වල ශේෂයන් සහ සංසරණයෙහි පවතින කාසි සහ නෝට්ටු වටිනාකම යනාදියේ එකතුව යි. මුදල් මුද්‍රණය යනු මහ බැංකු මුදල් ප්‍රමාණයේ ඉහළ යාම යි. එනම්, නව මහ බැංකු මුදල් නිකුත් කිරීම යි.

ඒ අනුව, ආර්ථිකයෙහි සංසරණය වන මහ බැංකු මුදල් ප්‍රමාණය යනු මහ බැංකුව විසින් සැපයෙන ණය සහ මිල දී ගන්නා විදේශ මුදල් සහ වෙනත් වත්කම් තුළින් මැවී හෝ නිකුත් වී ඇති මුදල් ප්‍රමාණය යි. එබැවින්, එය මහ බැංකු ණය ඉල්ලුම සහ මහ බැංකුවට විදේශ මුදල් සැපයුම මත තීරණය වෙයි. එනම්, මහ බැංකු මුදල් සඳහා ඇති ඉල්ලුම මත තීරණය වෙයි.

මෙහි මහ බැංකුවට සෘජු පාලනයක් නොමැති සාධකය වන්නේ, විදේශ මුදල් සැපයුම යි. එහෙත්, මහ බැංකු ණය ප්‍රසාරණය කිසිම සීමාවක් නොමැතිව කළ හැකිය. එබැවින්, මහ බැංකු මුදල් ප්‍රමාණය හුදෙක් අදාළ මහ බැංකු නිලධාරීන්ගේ අභිමතය පරිදි ප්‍රසාරණය කළ හැකිය.

බැංකු තැන්පතු

බැංකු තැන්පතු යනු ගනුදෙනු කරුවන් විසින් වාණිජ බැංකුවල පවත්වා ගෙන යන තැන්පතු ගිණුම්වල තබා ගන්නා මුදල් ය. ඒවා, ජංගම, ඉතුරුම් සහ ස්ථිර තැන්පතු ලෙස තෙවර්ගයකි. මෙම තැන්පතු මුදල් ද හුදෙක් ගිණුම්වල සටහන් වී ඇති ඉලක්කම් හෝ ඩිජිටල් මුදල් ය. ඒවා තැන්පතු හිමියන්ට ගනුදෙනු සඳහා බැංකු අතර මෙන්ම කාසි සහ නෝට්ටු ලෙස ද ගනුදෙනු කළ හැකිය. 

එහෙත්, සමස්ත තැන්පතු ප්‍රමාණයට සමාන කාසි සහ නෝට්ටු ප්‍රමාණයක් වාණිජ බැංකු සතුව නොමැත. එසේම, ගනුදෙනු කරුවන් විසින් තම තැන්පතුවලින් ආපසු ගන්නා මුදල් ප්‍රමාණය ද සුළු ප්‍රතිශතයකි. එබැවින්, ඕනෑම අවස්ථාවක බැංකු සතුව පවතින කාසි සහ නෝට්ටු ප්‍රමාණය තම තැන්පතුවලට සාපේක්ෂව සුළු ප්‍රතිශතයකි. බැංකුවලට තැන්පතු සහ ණය ව්‍යාපාරික කටයුතු කිරීමට හැකියාව ලැබී ඇත්තේ මේ නිසා ය.

එබැවින්, බැංකුවල ඇති කාසි සහ නෝට්ටු ප්‍රමාණයට වඩා මෙතරම් තැන්පතු ප්‍රමාණයක් ගිණුම්වල සටහන් වී ඇත්තේ ඇයි ද? යන්න ගැටළුවකි. එනම්, මෙම තැන්පතු යනු බැංකු විසින් තම ගිණුම් හරහා මවා ඇති මුදල් ප්‍රමාණයකි. ඒ අනුව, තැන්පතු යනු බැංකු විසින් ගනුදෙනු කරුවන්ට ණය දීමේ දී මැවී ඇති මුදල් ය. එය හේතු කිහිපයක ප්‍රතිඵලයකි.

  • පළමුව, වාණිජ බැංකු විසින් ගනුදෙනු කරුවන්ට ණය දීමේ දී සිදු කෙරෙන්නේ, ඔවුන්ගේ ජංගම හෝ ඉතුරුම් ගිණුම්වලට එම ණය මුදල් ප්‍රමාණය එකතු කිරීම යි. එනම්, ණය ප්‍රමාණයෙන් තැන්පතු ප්‍රමාණය ඉහළ යාම යි. මහජනයා විසින් වාණිජ බැංකුවලට විදේශ මුදල් අළෙවි කිරීමේ දී සිදු වන්නේ ද එසේ තැන්පතු ඉහළ යාම යි.
  • දෙවනුව, එම ණය ගනුදෙනු කරුවන්ට තම බැංකු ගිණුම හරහා එම මුදල් වෙනත් බැංකු ගිණුම් හිමියන් වෙත ගෙවීම් කළ හැකිය. එවිට, එම තැන්පතු ප්‍රමාණය වෙනත් බැංකුවල තැන්පතු බවට පත් වනු ඇත. එනම්, සමස්ත බැංකු තැන්පතු ප්‍රමාණය නොවෙනස්ව පැවතීම යි.
  • තෙවනුව, යම් ණය ගනුදෙනු කරුවන් විසින් තම තැන්පතු ගිණුම්වලින් කාසි සහ නෝට්ටු ලෙස මුදල් ඉවත් කර ගෙන වියදම් කළ හොත්, එම මුදල් නැවත බැංකුවලට තැන්පතු ලෙස ලැබෙනු ඇත. ඊට හේතුව, මහජනයා විසින් කාසි සහ නෝට්ටු ලෙස තබා ගන්නා මුදල් ප්‍රමාණය සීමිත බැවිනි.

එබැවින්, වාණිජ බැංකු විසින් ගනුදෙනු කරුවන්ගෙන් තැන්පතු ලෙස ඒකරාශි කර ගන්නා මුදල්වලින් ණය දෙන බව පැවසීම අසත්‍ය ය. ඊට හේතුව, ඉහත දැක්වූ පරිදි වාණිජ බැංකුවලට මුදල් නොමැතිව ගිණුම් සටහන් මගින් ණය දිය හැකි බැවිනි. එබැවින්, තැන්පතු යනු බැංකු ණය හරහා මැවී ඇති මුදල් ය. තැන්පතු මුදල් හිමියන්ට එම තැන්පතු ගිණුම් හරහා මුදල්වල කාර්යයන් ඉටු කර ගත හැකි බැවින් බැංකු තැන්පතු යනු මුදල් මෙවලමකි.

එබැවින්, බැංකුවල ඇති තැන්පතු මුදල් ප්‍රමාණය බැංකුවල ණය ඉල්ලුම සහ සැපයුම මගින් තීරණය වනු ඇත. හොඳ ණය ඉල්ලුම් කරුවන් සිටී නම්, බැංකු විසින් ණය සැපයීමේ ගැටළුවක් නොමැත. එහෙත්, එසේ ණය සැපයීමේ දී බැංකු විසින් විවිධාකාර ණය සීමා ප්‍රතිපත්ති මෙන්ම මහ බැංකුව විසින් පනවන විවිධාකාර ණය සීමා නියාමනයන් පවතින බැවින් ණය සැපයුම සීමා වී ඇත. එහෙත්, එම ණය සීමාවන් ස්වාභාවික සීමාවන් නොවන බැවින් අවශ්‍ය අවස්ථාවල දී ඒවා ඉවත් කොට ණය ප්‍රසාරණය කළ හැකිය. එවිට, ආර්ථිකයෙහි සංසරණය වන මුදල් හෙවත් තැන්පතු ද ප්‍රසාරණය වනු ඇත.

මීට අමතරව, බැංකු නොවන මූල්‍ය සමාගම් වැනි ආයතනවල ඇති මහජනයාගේ තැන්පතු ද මුදල් මෙවලමක් ලෙස සැලකේ. එහි පදනම ලෙස එම තැන්පතු මගින් පහසුවෙන් මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව සලකා බැලේ. සංවර්ධිත රටවල මුදල් වෙළෙඳපොළ ආයෝජන ගිණුම්වල ඇති මුදල් ද මුදල් මෙවලමක් ලෙස සැලකේ. එහෙත්, ව්‍යාපාරික කොටස් සහ සමාගම් බැඳුම්කර වැනි ආයෝජනයන් මුදල් මෙවලම් ලෙස නොව සමපේක්ෂණකාරී ආයෝජන මෙවලම් ලෙස සැලකෙයි. එහෙත්, ක්‍රියාකාරී වෙළෙඳපොළක් සහ ස්ථායිතාවයක් පවතින විට, ඒවා ද මුදල් ලෙස සැලකීමේ දෝෂයක් නොමැත. මෙහි දී, විමසිය යුත්තේ, එම ආයෝජනයන් කෙතරම් ඉක්මණින් අලාභයක් රහිතව මුදල් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි ද? යන්න යි.

මෙහි දී, බිට් කොයින් වැනි ක්‍රිප්ටෝ මුදල් වර්ගයන් තවමත් නිල මුදල් ක්‍රමයට අයත් මුදල් මෙවලම් ලෙස නොසැලකේ. ඊට හේතුව, ඒවා හුදෙක් පෞද්ගලික ඩිජිටල් ආයෝජන වත්කම් වීම යි. ඒවා විවිධාකාර සමපේක්ෂණයන් මත කෙරෙන අවදානම්කාරී ගනුදෙනු වෙයි. ලෝකයේ මහ බැංකු සහ බැංකු විසින් ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳාම සහ නිකුත් කිරීම හරහා ණය සැපයිය හැකි නියාමන පද්ධතියක් ක්‍රියාත්මක වුවහොත් ක්‍රිප්ටෝ මුදල් ද තැන්පතු මෙන් අනාගතයේ දී නිල මුදල් ක්‍රමයෙහි මුදල් මෙවලමක් බවට පත් වනු ඇත. දැනට ඇමෙරිකාව එවැනි ප්‍රතිපත්තියක් දෙසට යොමු වී ඇත.

මුදල් ක්‍රමය රාජ්‍ය ණය මත රැඳීම

ඉහත දැක්වූ පරිදි රජය මෙන්ම පෞද්ගලික අංශය විසින් ලබා ගන්නා ණය තුළින් මුදල් මැවෙනු ඇත. ආර්ථිකයෙහි සංසරණය වන්නේ එම මුදල් ය. එහෙත්, නූතන මුදල් ආර්ථිකයන්හි මුදල් සහ මුදල් ගනුදෙනු ක්‍රමය මූලික වශයෙන් රාජ්‍ය ණය මත ගොඩ නැගී ඇත. එබැවින්, පෞද්ගලික ණය ද රාජ්‍ය ණය තුළින් පැන නගිනු ඇත. රාජ්‍ය ණය මත රටක මුදල් ක්‍රමය ගොඩ නැගී ක්‍රියාත්මක වන ආකාරය උදාහරණ කිහිපයක් මගින් පැහැදිළි කළ හැකිය.

  • පළමුව, රාජ්‍ය ණය තුළින් කිහිප ආකාරයකට මුදල් මැවෙනු ඇත. එනම්, රාජ්‍ය සුරැකුම්පත් නිකුතුව, රජයට දෙන සෘජු බැංකු ණය සහ රජය විසින් ලබා ගන්නා විදේශ මුදල් ණයවල විදේශ මුදල් මහ බැංකුවට අළෙවි කිරීම යනාදිය යි.
  • දෙවනුව, රජයට භාණ්ඩ හා සේවා සැපයීමේ ගිවිසුම් හිමි මහජනයා විසින් එම ගිවිසුම් ආදායම මත පදනම් වී බැංකුවලින් ණය ගැනීම තුළින් මුදල් මැවෙනු ඇත. එබැවින්, අයවැය හිඟය ඉහළ යන විට, එම ගිවිසුම් ප්‍රමාණය ඉහළ යන බැවින් පෞද්ගලික අංශයේ ණය සහ මුදල් ප්‍රසාරණය වනු ඇත.
  • තෙවනුව, මහ බැංකුව සහ වාණිජ බැංකු විසින් රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත හෝ ද්විතීය වෙළෙඳපොළෙහි වෙළෙඳාම් කිරීම තුළින් ණය ගනුදෙනු කිරීම හරහා මුදල් මැවෙනු ඇත. ඊට හේතුව, රාජ්‍ය සුරැකුම්පත් යනු ඉතාම ඉහළ විශ්වාසයක් සහ ද්‍රවශිලතාවයක් සහිත ණය වීම යි.
  • සිවුවනුව, රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කළ පසු ඒ සඳහා මුදල් පියවීම මහ බැංකුවේ ගෙවුම් පද්ධතිය සහ සංචිත ගිණුම් හරහා සිදු වන බැවින්, ඊට ප්‍රමාණවත් සංචිත ගිණුම් ශේෂයන් නොමැති වාණිජ බැංකු සහ ප්‍රාථමික සුරැකුම්පත් වෙළෙඳුන්ට මහ බැංකුවෙන් ණය ප්‍රදානය කිරීම තුළින් මුදල් මැවෙනු ඇත. එනම්, මුදල් මුද්‍රණය කිරීම යි. ඊට හේතුව, නිකුත් කෙරෙන රාජ්‍ය සුරැකුම්පත් මුළු වටිනාකම සංචිත මුදලින් රජයට පියවිය යුතු බැවිනි. එසේම, බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් අතර මෙන්ම ඔවුන් සහ පෞද්ගලික ආයෝජකයන් අතර සිදු වන රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ ගනුදෙනු පියවීම සඳහා අවශ්‍ය සංචිත ණය සැපයීම ද මහ බැංකුව විසින් සිදු කරනු ඇත. එසේ නොවේ නම්, මහ බැංකු ගෙවුම් පද්ධතිය බිඳ වැටෙනු ඇත. එබැවින්, මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් සෘජුව වෙන්දේසිවලින් මිල දී ගැනීමක් සිදු නොකළ ද, රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේ දී සහ වෙළෙඳාමේ දී වක්‍රව මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට සිදු වනු ඇත.

මහ බැංකු මුදල් හෝ සංචිත මුදල් රාජ්‍ය ණය මත රැඳීම 

සියළු මහජනයා විසින් විවිධ බැංකු ගිණුම් සහ වෙළෙඳ ගිවිසුම් හරහා මුදල් ගනුදෙනු කරනුයේ, එම මුදල් අවශ්‍ය විටක මහ බැංකු කාසි සහ නෝට්ටුවලින් ලබා ගත හැකි බවට ඇති විශ්වාසය මත ය. වාණිජ බැංකු විසින් බැංකු අතර බැංකු ගිණුම් හරහා ගනුදෙනු කරනුයේ (අන්තර් බැංකු ගනුදෙනු), එම මුදල් සංචිත මුදල්වලින් ලබා ගත හැකි බවට ඇති විශ්වාසය මත ය. රජය විසින් බැංකු ගිණුම් හරහා බදු අයකිරීම සහ ණය ගැනීම කරනුයේ, එම මුදල් සංචිත මුදල්වලින් ලැබෙන බවට ඇති විශ්වාසය මත ය. එබැවින්, සමස්තයක් ලෙස ආර්ථිකයෙහි මුදල් ගනුදෙනු සිදු වනුයේ, ඒවා සංචිත මුදල්වලින් (මහ බැංකු මුදල් හෝ කාසි සහ නෝට්ටු සහ සංචිත ගිණුම් තැන්පතු) පියවිය හැකි බවට ඇති විශ්වාසය මත ය. 

එහෙත්, සංසරණයේ පවතින සංචිත මුදල් හෝ මහ බැංකු මුදල් ප්‍රමාණය සම්පුර්ණයෙන් පාහේ රාජ්‍ය ණය මත මුද්‍රණය වී ඇත. එනම්, මහ බැංකුව විසින් රජයට සෘජු ණය සැපයීම, රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම සහ රාජ්‍ය විදේශ ණයවල විදේශ මුදල් මිල දී ගැනීම යි. මහ බැංකුව විසින් වාණිජ බැංකුවලින් මිල දී ගන්නා විදේශ මුදල් මත කෙරෙන මුදල් මුද්‍රණය ඉතා සුළු ප්‍රමාණයකි. 

එසේම, ශ්‍රී ලංකාව වැනි බොහෝ දියුණු වන රටවල මහ බැංකු විසින් තම මුදල් මුද්‍රණයෙන් බහුතරය රජයෙන් මිල දී ගන්නා විදේශ මුදල් හෝ ඩොලර් වත්කම් සංචිතය මත සිදු කිරීම සාමාන්‍ය පුරුද්දක් වී ඇත. එනම්, සංචිත මුදල් ක්‍රමය හුදෙක් රාජ්‍ය විදේශ ණය හෝ ඩොලර් සංචිතය මත ක්‍රියාත්මක වීම යි. මෙය ඉහත දැක්වූ බ්‍රෙටන්වූඩ්ස් ක්‍රමය නිල නොවන ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වීම යි. මෙම රටවල් කලින් කලට විදේශ මුදල් අර්බුදයන්ට මුහුණ දීමට හේතුව මෙම ඩොලර් මත පදනම් වූ සංචිත මුදල් ක්‍රමය යි. පසුගිය අප්‍රේල් මස 02 දින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරු බදු ඉහළ දැමීමේ ප්‍රතිපත්තිය තුළින්  ශ්‍රී ලංකාවේ මුදල් ක්‍රමය සහ මූර්ත අංශය කෙරෙහි බලපෑම මෙම ඩොලර් සංචිතය හරහා හඳුනා ගත හැකිය.

එබැවින්, දේශීය මුදල් ක්‍රමය රාජ්‍ය ණය මත ගොඩ නැගී ක්‍රියාත්මක වෙයි. එනම්, රාජ්‍ය ණය මගින් මුදල් ක්‍රමය ක්‍රියාත්මක වන බව යි. රාජ්‍ය ණය ආපසු ගෙවීම පිළිබඳ ව මහජනයා අතර අවිශ්වාසයක් නොමැති බැවින් හෝ දේශීය රාජ්‍ය ණය පැහැර හැරීමක් සිදු නොවන බැවින් මුදල් ක්‍රමය සුමට ලෙස ක්‍රියාත්මක වනු ඇත.

එහෙත්, යම්කිසි බැංකු තැන්පතු පිළිබඳ මහජන විශ්වාසය පළුදු වූ විට, තැන්පතු හිමියන් විසින් තම බැංකු තැන්පතු මුදල් කාසි සහ නෝට්ටු ලෙස ආපසු ගැනීමට උත්සාහ කිරීමේ දී බැංකු චකිත හට ගෙන මුදල් ක්‍රමය අර්බුදයකට මුහුණ දෙනු ඇත. ආරම්භයේ දී මහ බැංකුව විසින් අර්බුදයට මුහුණ දෙන බැංකුවලට මුදල් මුද්‍රණය හරහා හදිසි ණය සැපයීම මගින් අර්බුදය පාලනය කිරීමට උත්සාහ කරනු ඇත. එහෙත්, මෙවැනි මුදල් සහ බැංකු අර්බුදයන් අවසානයේ දී විසඳීම කෙරෙනුයේ, රජය විසින් එම බැංකුවලට අරමුදල් සැපයිමෙනි. ඒ සඳහා අවශ්‍ය අරමුදල් රජය විසින් රැස් කරනුයේ, අයවැය හිඟය සහ නව ණය ගැනීම මගිනි. එනම්, මුදල් ක්‍රමයේ අර්බුදයන් විසඳීම ද රාජ්‍ය ණය මත පදනම් වනු ඇත.

රාජ්‍ය අයවැය මගින් ආර්ථික අංශයන්හි මුදල් ව්‍යාප්තිය

ඉහතින් දැක්වූයේ රාජ්‍ය ණය හරහා සෘජුව සහ වක්‍රව මුදල් මැවෙන බවත්, මුදල් ක්‍රමය රාජ්‍ය ණය මත ගොඩ නැගී ක්‍රියාත්මක වන බවත් ය. ඊට අමතරව, ආර්ථිකයෙහි මැවෙන මුදල් විවිධ නිෂ්පාදන සහ පාරිභෝගික අංශ අතර ව්‍යාප්ත කිරීම සඳහා ද මෙවලම් රැසක් රාජ්‍ය අයවැයෙහි ක්‍රියාත්මක වෙයි. ඒවා මූලික වශයෙන් බදු සහ වියදම් ලෙස කාණ්ඩ දෙකකි. මීට උදාහරණ කිහිපයක් දැක්විය හැකිය.

  • රජය විසින් ග්‍රාමීය අංශය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට, එම ප්‍රදේශවල වෙසෙන ජනයා අතට නව මුදල් දහරාවක් ලැබෙනු ඇත. එම සංවර්ධන වියදම් ණය මගින් පියවෙන විට, ඉන් ජනිත වන නව මුදල් එම ප්‍රදේශවල ව්‍යාප්ත වනු ඇත. එබැවින්, රාජ්‍ය වියදම් යනු ආර්ථිකයෙහි විවිධ අංශ වෙත මුදල් සැපයෙන වාහකය යි. රාජ්‍ය වියදම් නොමැති විට, එම අංශවලට මුදල් ලැබීමට නම්, ඊට සරිලන ලෙස පෞද්ගලික ණය ප්‍රසාරණය විය යුතුය. එය ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපාරික කටයුතු කරන බැංකුවලින් බලාපොරොත්තු විය නොහැකිය.
  • රජය විසින් විවිධ බදු අනුපාතයන් අය කිරීම හරහා පුද්ගලයන් සහ කර්මාන්තයන් අතර සංසරණය වන මුදල් ප්‍රතිව්‍යාප්ත කෙරේ. බදු අය කිරීමේ දී සිදු වන්නේ, මහජනයා අතර සංසරණය වන මුදල්වලින් කොටසක් රජයට පවරා ගැනීම යි. එම බදු ආදායම රජය විසින් වියදම් කරන ආකාරය අනුව එම මුදල් නැවත වෙනත් මහජන කොටස් අතට ප්‍රතිව්‍යප්ත වනු ඇත. එසේම, බදු සහන හරහා සමහර මහජන කොටස්වල මුදල් සංසරණය ඉහළ දැමිය හැකිය. බොහෝ දුප්පත් පවුල්වලට මුදල් ලැබෙන්නේ රාජ්‍ය සහනාධාර හරහා ය. ඊට ප්‍රතිවිරුද්ධව, ඉහළ බදු අය කිරීම මගින් සමහර මහජන කොටස්වල මුදල් සංසරණය පහළ දැමිය හැකිය. රජය විසින් බදු ආදායම වියදම් නොකොට භාණ්ඩාගාරයේ රැස් කොට තබා ගනී නම්, ආර්ථිකයෙහි සංසරණය වන මුදල් ප්‍රමාණය සංකෝචනය වී, ආර්ථික අවපාතයක් හට ගනු ඇත. අයවැය අතිරික්තය යනු එසේ රජයට අතිරික්ත බදු ආදායමක් ලැබීම යි.
  • අයවැය හිඟය හරහා ප්‍රසාරණය වන රාජ්‍ය ණය යනු මහජනයාට ඉතා ගුණාත්මක මූල්‍ය වත්කමකි. එබැවින්, මහජනයාට තම වත්කම් කළමනාකරණයේ දී රාජ්‍ය ණය ද යම් ප්‍රතිශතයක් තබා ගැනීමෙන් තම වත්කම්වල අවදානම පාලනය කිරීමට උපකාරී වෙයි. එසේ නොවේ නම්, පෞද්ගලික ණය සහ ආයෝජන වත්කම්වල ඉහළ අවදානම් හේතු කොට, කලින් කලට ආර්ථික අර්බුදයන් හට ගනු ඇත. බැංකු අර්බුදයන් මීට හොඳම උදාහරණය යි. එබැවින්, රාජ්‍ය ණය ප්‍රසාරණය තුළින් ආර්ථික අර්බුදයන් නොමැතිව ආර්ථිකයන් ප්‍රසාරණය කිරීමේ අවස්ථාව ලැබී ඇත.

එබැවින්, රාජ්‍ය වියදම් සහ බදු අනුපාතයන් හරහා ආර්ථිකයෙහි පුද්ගලයන්, සමාගම්, කර්මාන්තයන් සහ ප්‍රදේශයන් අතර මුදල් සැපයුම සහ එහි සංයුතිය පාලනය කොට ජීවන තත්ත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ හැකිය. නූතන ලෝකයේ රටවල ජීවන තත්ත්වයේ දියුණුව පිටුපස ඇති ප්‍රධාන සාධකය රාජ්‍ය අයවැය සහ ණය ප්‍රසාරණය සහ එමගින් ආර්ථිකයේ අංශ අතර මුදල් ව්‍යාප්තිය යි. ලෝකයේ නොදියුණු රටවල සහ ගෝත්‍රීය ප්‍රදේශවල ජීවන තත්ත්වය ප්‍රාථමික මට්ටමක පැවතීමට හේතුව රාජ්‍ය අයවැය ප්‍රසාරණය ප්‍රමාණවත් නොවීම යි. 

සමස්තයක් ලෙස ගත් විට, ජීවන තත්ත්වය ඉහළ දැමීම පිණිස නිෂ්පාදන ක්‍රියාකාරකම් ප්‍රසාරණය කළ යුතු අතර ඒ සඳහා මුදල් අවශ්‍ය වෙයි. ඒ සඳහා වඩාත්ම වේගවත් සහ විශ්වාසී මාර්ගය වනුයේ රාජ්‍ය අයවැය සහ ණය ප්‍රසාරණය යි. එසේ නොවේ නම්, අවදානම්කාරී පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය හරහා එය සිදු වන තෙක් බලා සිටිය යුතුය. එසේ වූවා නම්, නූතන නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ ජීවන තත්ත්වය මෙතරම් දියුණු මට්ටමක නොපවතිනු ඇත.

මුදල්  සහ මූර්ත ලෙස ආර්ථිකය බෙදා කළමනාකරණය කිරීමේ
මහා ආර්ථික මිත්‍යාව 

නූතන සාර්ව ආර්ථික කළමනාකරණ මූලධර්මයන් අතර ඉතා ප්‍රචලිත මූලධර්මයක් වන්නේ, ආර්ථිකය මුදල් අංශය සහ මූර්ත අංශය ලෙස කොටස් දෙකකට බෙදීම යි. මුදල් අංශය යනු ඉහළ දැක්වූ මුදල් ගනුදෙනු ය. එනම්, මුදල් මැවීම සහ සංසරණය හෙවත් මුදල් කාර්යයන් ය. මුදල් ගනුදෙනු යනු හුදෙක් නාමමාත්‍ර ඉලක්කම් ගනුදෙනු වෙයි. මූර්ත අංශය යනු භාණ්ඩ, සේවා සහ නිෂ්පාදන සාධක ගනුදෙනු ය. ඒවා, භෞතික ලෙස මනින සම්පත් ප්‍රමාණයන් ආශ්‍රිතව සිදු වෙයි. මෙම විග්‍රහයේ දී, ආර්ථික ක්‍රියාකාරකම් යනු මුදල් අංශය සහ මූර්ත අංශය අතර අන්තර් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය යි.

එබැවින්, මෙම විග්‍රහයේ දී පිළි ගැනෙන මතවාදය වන්නේ, ආර්ථිකයෙහි මුදල් අංශය පාලනය කිරීම හරහා මූර්ත අංශය ඉලක්කයන් කරා මෙහෙය විය හැකි බව යි. එනම්, මුදල් සංසරණය පාලනය කිරීම මගින් ආර්ථිකයෙහි සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම පාලනය කිරීම යි. එනම්, භාණ්ඩ හා සේවා ඉල්ලුම හෝ ගනුදෙනු මුදල් හුවමාරුව මත කෙරෙන බැවින් ආර්ථිකයෙහි සංසරණය වන මුදල් ප්‍රමාණය අඩු හෝ වැඩි කිරීමෙන්, ආර්ථිකයෙහි සමස්ත ඉල්ලුම අඩු හෝ වැඩි කළ හැකි බව යි. ඒ සඳහා, නිෂ්පාදන වර්ධනය, සේවා නියුක්තිය, පොදු මිල මට්ටම වැනි විවිධාකාර මූර්ත අංශ ඉලක්කයන් භාවිතා කිරීම දැකිය හැකිය.

මෙම ආර්ථික කළමනාකරණ මතවාදය අනුගමනය කරන්නන්ගේ නිර්දේශයේ කොටස් කිහිපයකි.

  • පළමුව, ආර්ථිකයෙහි සංසරණය වන මුදල් ප්‍රමාණය පාලනය කිරීමට මහ බැංකුවට හැකි බැවින් මහ බැංකුව රජයෙන් ස්වාධීන කොට, මූර්ත ආර්ථික ඉලක්කයන්ට ගැලපෙන ලෙස මුදල් අංශය පාලනය කිරීමේ බලතල මහ බැංකුවට පැවරිය යුතු බව. මෙහි දී, පොදු මිල මට්ටමේ ස්ථායිතාවය පවතින පරිදි මුදල් සංසරණය පවත්වා ගැනීමේ කාර්යය පැවරීම විශේෂයෙන් දැකිය හැකිය. මෙය උද්ධමනය පාලනය කිරීම ලෙස ද ජනප්‍රිය වී ඇත. එවිට, ආර්ථිකයේ සියළු අගුණ දුරු වන බව කියැවේ.
  • දෙවනුව, රජය යනු පෞද්ගලික අංශය මෙන් තවත් වියදම් ඒකකයක් වන බැවින් මහ බැංකු මුදල් මුද්‍රණය හරහා රජයට විශේෂ ණය නොසැපයිය යුතු බව.
  • තෙවනුව, රාජ්‍ය අයවැය හිඟය හරහා ණය ප්‍රසාරණය වී, ආර්ථිකයෙහි මිල ගණන් ඉහළ යන බැවින් මහ බැංකුවට මුදල් ප්‍රමාණය සහ මිල ගණන් පාලනය කිරීමට හැකි වන ලෙස රජය විසින් අයවැය හිඟය සහ ණය සංකෝචනය කළ යුතු බව.

දැනට ලෝකය පුරා ප්‍රචලිත මතවාදය වනුයේ, මෙසේ රාජ්‍ය අයවැය සහ මුදල් සංසරණය පාලනය ලෙස එකිනෙකට ස්වාධීන ප්‍රතිපත්ති දෙකක් මගින් ආර්ථිකය කළමනාකරණය කිරීම යි. රාජ්‍ය අයවැය රාජ්‍ය මූල්‍ය හෝ ෆිස්කල් ප්‍රතිපත්තිය ලෙසත්, මුදල් සංසරණය පාලනය මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ලෙසත් දැක්වෙයි.

එහෙත්, ඉහත දැක්වූ පරිදි රටේ මුදල් ක්‍රමය සහ මුදල් මැවීම හුදෙක් රාජ්‍ය අයවැය සහ ණය මත ක්‍රියාත්මක වෙයි. එසේම, මහ බැංකු මුදල් මුද්‍රණය ද සෘජු සහ වක්‍ර ලෙස රාජ්‍ය ණය මත රැඳී ඇත. එබැවින්, සැබෑ සත්‍යය වන්නේ, ආර්ථිකයෙහි මුදල් අංශය තබා, මහ බැංකු මුදල් ප්‍රමාණය පාලනය කිරීමට ද හැකියාවක් මහ බැංකුවට නොමැති බව යි.

එබැවින්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ලෙස ප්‍රතිපත්ති දෙකක් යටතේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ වත්මන් නිර්දේශය හුදෙක් සාර්ව ආර්ථික ක්‍රියාකාරකම් සහ නූතන මුදල් පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැතිව මිත්‍යා ආකල්පයන් මත පදනම් වී ඇත.

ලෝකය පුරා රටවල ආර්ථික අර්බුදයන්, ආර්ථික උච්ඡාවචනයන් සහ කම්පනයන් හට ගැනීමට ප්‍රධාන හේතුව වනුයේ, ආර්ථික සහ ජීවන තත්ත්ව ඉලක්කයන්ට ගැලපෙන ලෙස ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මුදල් ප්‍රතිපත්තිය අතර ඒකාබද්ධතාවයක් නොමැති වීම යි. එහෙත්, 1970 ගණන් දක්වා රටවල් අනුගමනය කරනු ලැබුවේ, මුදල් ප්‍රසාරණය හරහා අයවැය හිඟය පියවීමේ ප්‍රතිපත්තිය තුළින් ආර්ථික සහ මානව සංවර්ධනය යි. 

එබැවින්, නූතන මුදල්වාදී ආර්ථික ගුරුකුලය විසින් නිර්දේශ කරන්නේ, ආර්ථිකයෙහි මූර්ත නිෂ්පාදනය සහ ධාරිතාවය ප්‍රසාරණය කෙරෙන පරිදි මුදල් මුද්‍රණය තුළින් පියවෙන හිඟ අයවැය ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස යි. ඔවුන්ට අනුව ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් නොමැති අතර මහ බැංකු මුදල් මුද්‍රණය යනු අයවැයේ කොටසකි. 

එහෙත්, IMF ප්‍රමුඛ පැරණි මහ බැංකු මූල්‍ය වාදීන් විසින් එය නිර්දය ලෙස විවේචනය කෙරේ. එනම්, රජයන් විසින් තමන්ට හිතුමතේ මුදල් මුද්‍රණය කිරීම තුළින් සිම්බාබ්වේ සහ වෙනිසියුලාවේ මෙන් උද්ධමනය ඉහළ ගොස් ආර්ථිකය සහ මුදල් ක්‍රමය කඩා වැටෙන බව යි. එහෙත්, එම රටවල අධිඋද්ධමනයට හේතුව භූදේශපාලනික අර්බුදයන් ය. අනෙක් රටවල ද මහ බැංකු බලා සිටිය දී එසේ අධිඋද්ධමන කාලයන් පැවති ඇත. ඊට හොඳම උදාහරණය 2021/24 ගෝලීය අධිඋද්ධමන සමය යි. 

ශ්‍රී ලංකාව දැනට අධිඅවධමනයකට මුහුණ දීම ද එවැනි උදාහරණයකි. පැරණි මුදල් වාදීන්ට අනුව උද්ධමනය මෙන්ම අවධමනය ද මුදල් සංසරණයේ ප්‍රතිඵලයකි. එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, වත්මන් අවධමනයේ වගකීම තමන්ට භාර ගත නොහැකි බව යි. කෙසේ වෙතත්, මහ බැංකු විසින් කිසිදා කිසිවක වගකීම භාර නොගැනීම සාමාන්‍ය දෙයකි. ඔවුන් විසින් ඕනෑම ආර්ථික අර්බුදයක හෝ කම්පනයක වරද පටවන්නේ රජයට සහ මහජනතාවට යි.

සමස්තයක් ලෙස ගත් විට මුදල් අංශය ලෙස ස්වාධීන අංශයක් දැක්විය නොහැකි අතර ආර්ථිකයෙහි සියළු අංශයන් නිෂ්පාදන ක්‍රියාකාරකම් තුළින් අන්තර් සම්බන්ධ වෙයි. එබැවින්, සාර්ව ආර්ථික ඉලක්කයන් සඳහා සියළු අංශයන් අතර තුලනයක් සහ ඒකාබද්ධතාවයක් පවත්වා ගැනීම ආර්ථික කළමනාකරණයේ වගකීම යි.

සමාප්ත සටහනඉහත දැක්වූ විග්‍රහය පහත දැක්වෙන ලෙස සාරාංශ කළ හැකිය.

  • මානව ඉතිහාසයේ ආරම්භක මුදල් වර්ගයන් භාණ්ඩ මුදල් හෝ ලෝහ මුදල් ලෙස මූර්ත වත්කම් මත පදනම් වී නිකුත් කිරීම සහ ගානුදෙනු කිරීම සිදු විය. එහෙත්, රාජ්‍ය කාසි සහ නෝට්ටු පදනම් වන නූතන මුදල් යනු කිසිම නෛසර්ගික වටිනාකමක් නොමැති පිරමීඩාකාර පොන්සි ආයෝජන ක්‍රමයකි. ඊට හේතුව, මෙම නූතන මුදල් ණය මත ජනිත වී, විශ්වාසය මත ගනුදෙනු කෙරෙන බැවිනි. එබැවින්, ණය පැහැර හැරීම ඉහළ යන විට, පිරමීඩාකාර පොන්සි ආයෝජන ක්‍රමවල මෙන්, මුදල් ද පැහැර හැරෙනු ඇත. බැංකු හෝ මූල්‍ය අර්බුදයන් යනු විශ්වාසය බිඳ වැටී, එසේ මුදල් පැහැර හැරෙන අවස්ථාවන් ය. එය, සෘජුව මුදල් අහිමි වීමෙන් හෝ මුදල්වල මිල දී ගැනීමේ හැකියාව කඩා වැටීමෙන් හෝ සිදු විය හැකිය. මෙවැනි අවස්ථාවන් කාලයෙන් කාලයට පතිත වීම වැලැක්විය නොහැකිය.
  • ලෝකයේ සෑම රටකම නූතන නිල මුදල් ක්‍රමයන් ගොඩ නැගී ඇත්තේ රාජ්‍ය අයවැය හිඟය සහ ණය හරහා ය.
  • නූතන මුදල් ප්‍රධාන වශයෙන් රාජ්‍ය සුරැකුම්පත්, මහ බැංකු මුදල් (සංචිත මුදල්) සහ බැංකු තැන්පතු ලෙස සංසරණය වෙයි. නිල කාසි සහ නෝට්ටු යනු ඉන් එක් මුදල් මෙවලමකි.
  • සමස්ත මුදල් ගනුදෙනු ක්‍රමය සංචිත මුදල් අනුපාතයක් මත ගොඩ නැගී ඇත. සංචිත මුදල් යනු සංසරණයේ ඇති කාසි සහ නෝට්ටු සහ රජය සහ බැංකු සතුව මහ බැංකුවේ ඇති තැන්පතු ය. සංචිත මුදල් බහුතරය රාජ්‍ය ණය මත ගොඩ නැගී ඇත. එබැවින්, මුදල් ප්‍රසාරණය සඳහා රාජ්‍ය ණය ප්‍රසාරණය අත්‍යවශ්‍ය වෙයි.
  • ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සංචිත මුදල් සැපයුම බොහෝ සෙයින් රාජ්‍ය විදේශ ණය හරහා ලැබෙන විදේශ මුදල් හෝ ඩොලර් මත රඳා පවතී. එනම්, දේශීය මුදල් ඩොලර්කරණය වීම යි. එබැවින්, රටේ ආර්ථික අවශ්‍යතාවන් අනුව මුදල් ප්‍රසාරණය කිරීම සඳහා රාජ්‍ය විදේශ ණය ප්‍රසාරණය අවශ්‍ය වෙයි.
  • එබැවින්, මහා මිථ්‍යා ආර්ථික මතවාදය වන්නේ, රාජ්‍ය අයවැය සහ මුදල් සංසරණය එකිනෙකට වෙන් කොට (ස්වාධීනව), මූර්ත ආර්ථික ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීමට උත්සාහ කිරීම යි. එනම්, ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ලෙස ආර්ථික කළමනාකරණය වෙන් කිරීම යි. මුදල් යනු ෆිස්කල් ප්‍රතිපත්තියේ අතුරු ඵලයක් වන බැවින් මෙම ආර්ථික කළමනාකරණ මතවාදය හුදු මිථ්‍යාවකි..
  • ඒ අනුව, ආර්ථිකය මූර්ත අංශය සහ මුදල් අංශය ලෙස වෙන් කොට, මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය මගින් මුදල් අංශය හරහා ආර්ථිකය කළමනාකරණය කිරීමේ වත්මන් සම්ප්‍රදාය ද පදනම් විරහිත වෙයි. රටවල් මුහුණ දෙන බොහෝ ආර්ථික සහ මුදල් අර්බුදයන්ට හේතුව මිථ්‍යා මුදල් ප්‍රතිපත්තියේ දෝෂයන් ය.
  • සමස්තයක් ලෙස ගත් විට, මුදල් මැවීම මෙන්ම නිෂ්පාදන සහ පරිභෝජන අංශ අතර මුදල් ව්‍යාප්තිය ද අයවැය මෙවලම් මගින් සිදු වෙයි. එය මහ බැංකුවට කළ නොහැකිය. මහ බැංකුව යනු හුදු ගිණුම් සහ ගෙවුම් පියවුම් කළමනාකරුවෙකු පමණි. එබැවින්, මහ බැංකුව විසින් සිදු කරන එකම කාර්යය වන්නේ, බැංකුවල එදිනෙදා ගෙවුම් පියවීම සඳහා අවශ්‍ය සංචිත මුදල් සැපයීම තුළින් තම අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය පවත්වා ගැනීම යි. උද්ධමනය පාලන කථාව ලෝකයේ සියළුම මහ බැංකුවලට පොදු මිථ්‍යා කථාන්දරයකි.
  • නූතන ආර්ථික කළමනාකරණ සහ ස්ථායිකරණ මතවාදයන් අනුව උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් අයවැය හිඟය සහ ණය කප්පාදු කිරීමත්, මහ බැංකු මුදල් ප්‍රසාරණය සීමා කිරීමත්, මිථ්‍යා මතයන් ය. ඊට හේතුව, එමගින් ආර්ථික අස්ථායිතාවයන් හට ගැනීම සහ ජීවන මට්ටම පහළ යාම යි. උද්ධමනය යනු හුදු මතවාදයක් පමණක් වන අතර අයවැය සහ ණය යනු සාර්ව ආර්ථික මෙහෙයවුම් පදනම යි. එබැවින්, උද්ධමන මතවාදයක් සඳහා සාර්ව ආර්ථික මෙහෙයවුම් පදනම අවහිර කිරීම ව්‍යුහාත්මක ආර්ථික අවදානම් ඇති කරන්නකි.
  • ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මුදල් ප්‍රතිපත්තිය ආර්ථික ඉලක්කයන් මත නිසි ලෙස ඒකාබද්ධ නොවීම හේතුවෙන් හට ගන්නා ප්‍රතිපත්ති ගැටුම් ද ආර්ථික සහ ජීවන අස්ථායිතාවයට හේතු වී ඇත. ඊට හොඳම උදාහරණය වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය යි.
  • එබැවින්, නූතන මුදල් වාදී නිර්දේශය වනුයේ, මානව සංවර්ධනය පිණිස නිෂ්පාදන සහ ධාරිතාවය ප්‍රසාරණය සඳහා මුදල් මුද්‍රණය තුළින් රාජ්‍ය වියදම් ප්‍රසාරණය කරන ලෙස යි.
  • සමස්තයක් ලෙස බලන විට, රටේ මුදල් ක්‍රමය, ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ ව අනුගමනය කෙරෙන ඉහත දැක්වූ මිථ්‍යා මතවාදය හේතු කොට ශ්‍රී ලංකාව සංවර්ධනය කළ නොහැකි රටක් ලෙස වර්ග කළ හැකිය.

මෙම මිථ්‍යා මතවාදයන් හුදෙක් එම මතදාරින්ගේ පෞද්ගලික වාසිය තකා පුද්ගල දාමයන් හරහා ගොඩ නගා ඇති අතර එමගින් පොදුජනයාට ඇති යහපත විමසීමේ දී ඒවා ආර්ථික අපරාධ ලෙස අර්ථකතනය කළ හැකිය. 2022 දී ශ්‍රී ලංකාව විදේශ මුදල් අර්බුදයට මුහුණ දීමට හේතුව මෙම මතවාදය අනුව රාජ්‍ය විදේශ ණය තුළින් ගොඩ නැගූ ඩොලර් සංචිතය මත පදනම් වී ක්‍රියාත්මක වූ මුදල් ක්‍රමය යි. එනම්, ඩොලර් සංචිත අනුපාතික මුදල් ක්‍රමය යි. 

එහෙත්, එම මුදල් ගැටළුව නිරාකරණය නොකොට, ආර්ථිකය නැවත ස්ථායීකරණය කරන බව පවසමින් රජය විසින් නැවත ඩොලර් හෝ විදේශ ණය පසුපස යාම යනු ආර්ථිකය තවදුරටත් ඩොලරයේ හිර කර තැබීම යි. මහ බැංකුව විසින් ඩොලර් සංචිතය වැඩි කිරීම සඳහා මුදල් වෙළෙඳපොළ අවකළමනාකරණය කිරීම එහි එක් අංගයකි. එහි ඊළඟ වටයේ ආදීනව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව දේශීය ආර්ථික ප්‍රතිපත්තිය තුළින් ශ්‍රී ලංකාවට නුදුරේ දී ම විඳීමට සිදු වනු ඇත. එය, නැවත ඩොලර් සංචිතය කඩා වැටීම තුළින් දේශීය මුදල් සංකෝචනය හරහා ආර්ථිකයට පතිත විය හැකිය. එනම්, වත්මන් මුදල් පොන්සි ක්‍රමයේ අවදානම මතු වීම යි. රජය විසින් තම හිත මිතුරු කමිටු 100 ක් පත් කළ ද, එය වැලැක්වීමට හැකි නිර්දේශයන් ඉදිරිපත් නොවනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan