*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අවුරුදු 15 දී වසන්තය දකින ගිම්හානි

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 12, කොළඹ (LNW): එළැඹෙන අප්‍රේල් 25 සිට මැයි 7 දක්වා අඉුඩාබි හී දී පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සෘජු සුදුසුකම් ලැබීමේ වටයේ දී චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට අවුරුදු 15 ක ක්‍රීඩිකාවක් ද කැඳවා ඇත.ශෂිනි ගිම්හානි විජයරත්න නම් වූ මේ සුවිශේෂි ක්‍රීඩිකාව සමග LNW කළ සාකච්ඡාවක් ඇසුරෙන් තබන සටහනකි.
නදීශ් ක්‍රිශාන්ත විජයරත්නට සයුර දුර නොවිණි.ඒ සයුරෙන් එපිට සිට ඇසෙන දකින ලාංකේය වූ ක්‍රිකට් ප්‍රවෘත්ති සමඟ ඔහු අනේක වාරයක් සිහින දකින්න ඇත.ඒ ගෙදර බඳු සයුරෙන් එතෙරව ක්‍රිකට් ක්‍රීඩා කරන්නටය.රත්ගම දේවපතිරාජයේ මුහුදත් එක්ක හැප්පෙන දිරිමත් මිනිස්සුන්ගේ කුලකයෙන් බිහිවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස රට නියෝජනය කරන්නට තිබුණ හීනය අන්තිමට මුහුදේ ගිලී ගියේය.ඒත් ඔහු සයුර මත පවෙමින් දිය ගොඩ දිවා රෑ යා කරමින් ධිවර රස්සාවේ යෙදිණ.ඔහුගේ පියඹ වූ තුෂාරි ලක්ෂිකා ඔහුගේ ලෙයින් උපන් පුතුත්,දුවලා තිදෙනෙකුත් සමඟ නිවසේ කල් ගෙවමින් තම සැමියාගේ ක්‍රීඩා කුසලතාවලින් මෙන්ම තම ක්‍රීඩා කුසලතාවලින් ද යා නොහැකි දුර සිය පුතුත් දූවරු තිදෙනාත් යනු ඇතැයි සිහින දකිමින් ඔවුන් සිව් දෙනාගෙ ක්‍රියාකාරකම් ඉවසුවාය.ඇය ද එල්ලේ ක්‍රීඩාව.නෙට්බෝල් වැනි ඉසව් සමඟ පාසල් වියේ හොඳින් හැප්පුණාය.නදීශ් ද ඒ සිහිනයම හදවත පත්ලේ ගැඹුරේම රඳවා ගෙන සිය දරුවන් දෙස බලා සිහින දකින්නට ඇත.


තමා අකුරු කළ රත්ගම දේවපතිරාජයම තම දරුවන්ගෙත් නැණස පාදන විඳුබිම විය.දැනට 19 වැනි වියේ සිටින ලොකු පුතා ජනිඳු ගිම්හාන නදීශ්ගේ බලාපොරොත්තු සපල කිරීමේ මඟේ පළමු සටහන තැබුවේ 2023 වසරේ දී ය.ඒ ක්‍රිකට්වලින් නොවේය.ඒ රගර් ක්‍රීඩාවෙන්ය.අද වන විට රගර් පරිපාලනයේ ප්‍රාදේශීය ලීග වෙත ඇති බලය කප්පාදු කිරීමේ උවමනාවකින් ඇතැම් හූ කටයුතු කළ ද,ජනිදු වැන්නන් රගර් ක්‍රීඩාවෙන් ඉහළට යන්නට පාර තනා ගත්නේ එවැනි ප්‍රාදේශීය වශයෙන් වැඩි ඉඩක් ලබා දෙන්නට පරිපාලනය දියත් කළ වැඩ පිළිවෙල නිසාය.
දෙවැන්නී වන්නේ ශෂිනි ගිම්හානි මේ වන විට 15 විය පිරෙද්දීම ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමට පිවිස සිටින්නීය.නදිශ් සහ තුෂාරිගේ කැදල්ලේ ඉහළම සිහිනය යථාර්තයක් කරන්නට මේ වන විට ශෂිනි සමත්ව සිටින්නීය.එසේම දේවපතිරාජය ලංකාවේ කාන්තා ක්‍රීකට් ක්‍රීඩාවේ ආධිපත්‍යය තහවුරු කරමින් කණ්ඩායමේ සිටින සිව්වන දේවපතිරාජ නියෝජනය බවට ශෂිනි පත් වන්නීය.


“කවීශා අක්කලා එහෙම ඉන්න එක හොඳයි ඉතිං”
ජාතික කණ්ඩායමට පැමිණිය ද ඒ ව්‍යහුය ඇතුළේ තවත් රත්ගම දේවපතිරාජ නියෝජනයින් සිටීම ඇයට කණ්ඩායම ඇතුළේ සිටින්නට ලොකු පහසුවක් බව ශෂිනි විශ්වාස කරන්නීය.


ශෂිනි තරග පිටියේ කෙතරම් ක්‍රියාශීලී වුව ද,ඇය ලැජ්ජාශීලී දැරියකය.සෙල්ලම් කරන්න ගියාම එහෙම නැහැ නේද ? යනුවෙන් මං අසන ප්‍රශ්නයට හූ මිටි තබමින් සිනාසෙන්නීය. ඇයව අවුරුදු 19 න් පහළ තරගාවලිය තුළ දැක් වූ දස්කම්වලදී පිටියේ ක්‍රීයාකාරීව හැසිරෙණු අප දුටුවේ එවැනි ලැජ්ජාශීලී ක්‍රීඩිකාවක වෙනුවට ක්‍රියාශීලීව හැසිරෙන්නියක්ය.වමතින් පන්දුව දඟ කැවීමේ හැතියාව වගේම ඇයගේ ඉරියව්වේ ඇති අසාමාන්‍ය අපූර්වත්වයද ඇය කෙරෙහි අවධානය රඳවන්නට හේතුවක්ය.කලකට ඉහත දකුණු අප්‍රිකාව නියෝජනය කළ පෝල් ඇඩිම්ස් ගේ ඉරියව්වට බොහෝ සමාන ලෙස පන්දු යවන ශෂිනි මෙතරම් කුඩා වයසේ දී තමන්ගේ ජාතික කණ්ඩායමේ සිහිනයට පාර කියන්නට වෙහෙසුණු තැන හැටියට සළකන්නනේ තම විදු මව දේවපතිරාජය ය.


“මහේෂ් සඳරුවන් සර් තමයි අපිට කෝච් කරන්නෙ.මහන්සි වෙලා කෝච් කරනවා.ඒ වගෙම අපේ පිරිමි කණ්ඩායමකුත් තියෙන නිසා අපි දෙගොල්ලො එකට වැඩ කරන එකත් හොද හේතුවක්” ශෂිනි පවසන්නීය.
දේවපතිරාජය මිශ්‍ර පාසලකි.ඒ මිශ්‍රකම ගැන ශෂිනි පවසන පුහුණුවේ මුසුව නිසා විය හැකි දක්ෂකමක් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එකතු වි තිබිය හැකි බව සිතන්නේ ශෂිනි පවසන පරිදි ඇය තේරී සිටින ජාතික සංචිතයේ හතරක්ම දේවපතිරාජයෙන් ආ අය විම නිසාය.ඒ ආකාරයට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියෙන්ම සිටින දේවපතිරාජය ක්‍රිඩිකාවන්ම පමණක් නොව්, සීකුගේ ප්‍රසන්න,තරිඳු කෞශාල් වැනි ටෙස්ට් ක්‍රීඩකයන් රටට දායාද කළ පාසලය.එසේම ලසිත් මාලිංග ගේ ක්‍රිකට් ජීවිතයේ ද ආරම්භක නවාතැන දේවපතිරාජයය.
“නැෂනල් ස්කෝඩ් එකට ආවම මහේෂ් වීරසිංහ සර් යටතෙ ලැබුණු පුහුණුවත් හරි වැදගත්.ගොඩක් දේවල් එතනදි ඉගෙන ගත්තා.පුහුණුව වගේම තරගකාරීත්වයකුත් තියෙනවනෙ.ලංකාවේ හොඳම කට්ටිය යටතෙ කණ්ඩායමේ 11 ට එන්න මහන්සි වෙන්නත් ඕනිනෙ.”


ශෂිනි පවසන්නේ අවුරුදු 19 න් පහළ බංගලාදේශ සංචාරය නියෝජනය කිරීම ගැනය.එසේම ලංකාවේ පැවති එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගි වූ තුන්කොන් තරගාවලිය ගැනය.
අවුරුදු 15 යි ඔයාට.ගොඩක් අය 15 – 16 අය.බට්ටිට 14 යි.අනිත් කණ්ඩායම් දෙක වයසින් වගෙම ඇඟ පතිනුත් විශාලයි.බය හිතුණෙ නැද්ද?


මං අසන ප්‍රශ්නය ඇයට විකාර සේ සිතෙන්නට ඇත.ඒ පුංචි කෙල්ලන්ට ඒවා ගැන හාංකවිසියක් සිතී නැත.
“එහෙම කවුරුත් හිතුවෙනම් නැහැ.අපි හැමෝම හැම වෙලේම කතා වුණේ චැම්පියන්ස් වෙන්නමයි.මහේෂ් සර්ලයි ස්ටාෆ් එකේ හැමෝමයි අපිට කිව්වෙත් එහෙම වෙන්න පුළුවන් කියලා” ඒ ශෂිනිගේ පිළිතුරු බැදීමය.
සූරත්වය යනු ශරීරය හෝ වෙනත් පෙණුමට අදාළ කාරණයක් නොවන්නේය.හැකියාව ක්‍රියාත්මක කිරීමේ වැඩ සටහනේ සාර්ථකත්වය ය.නොපස්බස්නා වීර්ය සහිතව දරා ගැනීමට ඇති හැකියාවය.


කණ්ඩායම තුළ ශෂිනි ට විශේෂ මිත්‍රයන් නැත.එහෙත් හැමෝම විශේෂ මිත්‍රයෝය.හමෝගෙම උපකාරය ආශිර්වාදය නො’අඩුව ලැබීම කණ්ඩායම තුළ සාර්ථක වන්නට හේතුවකි.
අන්තිමට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි ජාතික කණ්ඩායමට එන එක.දැන් ඒක ඔයාට අවුරුදු 15 දි ම ලැබිලා…..


මගේ ප්‍රශ්නය අතරමැද ඇය “දිගටම ඉන්න ඕනි ඉතිං ටිම් එකෙ.ඒකට තමයි මහන්සි වෙන්න ඕනි.මට වැඩිය අත්දැකීම් තියෙන අයගෙන් ඉගෙනගෙන තව තවත් දියුණු වෙලා දිගටම ජාතික කණ්ඩායමේ ඉන්න එකට මහන්සි වෙනවා” ප්‍රශ්නය අවසානයේ දිය යුතු පිළිතුර දී අවසන්ය.
“ගොඩක් සතුටෙන් ඉන්නෙ.පාසලේ හැමෝටමයි.මට උදව් වෙලා තියෙන හැමෝටමයි මේ තැනට එන්න පුළුවන් වීම ගැන ස්තූතියි.”


ඇය සිටින්නේ වචනයෙන් වචනය කියා නමින් නම පෙළ ගස්සන්නට හැකි මානසික මට්ටමක නොවේය.වයස 15 ක පුංචි කෙල්ලෙක් හැටියට මේ අපූර්ව තේරීමේ සතුට විඳිමින්ය.


“ගෙදරින් ඉතිං පුළුවන් හැටියට උපරිමය කරනවා.අම්මයි තාත්තයි දෙන්නම ක්‍රීඩාවට හරි කැමතියි.දැන් නංගිලා දෙන්නගෙන් අවුරුදු 12 කෙනා සෙල්ලම් කරනවා.පොඩි එක්කෙනා තවම නැහැ.එයාට 8 යි තවම.”
ශෂිනි පවසන “පුළුවන් හැටිය” පහසු නැති බව බව පැහැදිළිය.ධිවරයෙකුට පවුලක දරුවන් හතර දෙනෙක් නඩත්තු කරන අතරේ වියදම් වැඩි ක්‍රීඩාවන් දෙකක දෙන්නෙක් නඩත්තු කිරීම පහසු නැත.ඇති එකම පහසුකම ඡිවරයෙක් බැවින් හොඳ මාළු කෑලි කිහිපයක් නොවැරදී කන වේලට එකතු කරන්නට ඇති හැකියාවය.මේ තත්ත්වය තුළ විටින් විට ඊට උපකාර කරපු තැන් සහ පුද්ගලයෝ සිටියත් පුංචි ශෂීනි ඉන්නේ ඒවා හරියට මතක් කරගන්න පුළුවන් තරම් තත්ත්වයක නොවේය.සතුටෙන්ය.ඒ සතුට බෙදා ගන්නන් සමඟ වන ඇසුරේ කාර්ය බහුලත්වයෙන්ය.


ඒවා මතක් කරන්නට ඇය වෙහෙසෙද්දී කුමන හෝ අඩුවක් වුවහොත් යන සැකයෙන් ඇයට පීඩා විය හැකි බැවින් “උදව් කරපු ඔක්කොම කියලා දාන්න ද” යැයි මම ඇසුවෙමි.ඇය ඊට එක පයින් එකඟ වූවාය.
“එහෙම විශේෂ කෙනෙක් කියලා නැහැ.හොඳට සෙල්ලම් කරන හැමෝටම කැමතියි.ඒවා බලනවා.මට පුළුවන් දේ මගෙ උපරිමයෙන් කරන්න තමයි මං බලන්නෙ.”
පෝල් ඇඩම්ස්ගේ ඉරියව් හඹා යාමක් ගැන දුටු විට සිතුණ ද ශෂිනි එසේ විශේෂයෙන් බැදුණු කෙනෙක් නැති බව කියන්නීය.ඇයට අවශ්‍යය ශෂිනි කෙනෙක් වන්නටය.එහෙත් ඇයගේ ඇයට ආවේනික හැකියාව විසින් දැනටත් ශෂිනි යනු පෝල් ඇඩම්ස් කෙනෙක් කර අවසන්ය.එහෙත් ඉදිරයේ දී ඇයගේ කැපවීම මත ශෂිනිගේ හැකියාව ඇය ශෂිනි ලෙස ලෝකය ඉදිරියේ වෙනම අනන්‍යතාවයක් සහිත ක්‍රීඩිකාවක් කරනු ඇත.
නංගිලා දෙන්නගෙ නම් මොනවද?


අයියාගේ සහ අම්මා සහ තාත්තාගේ නම් දැනගත් පසුව ශෂිනිගෙන් විමසුවෙමි.
අනුකි ඉමන්දියි, යෙනුකි දහම්සා යි.


ශෂිනි දන්නා අය මේ වන විට ඇයට සුබ පතන්නට හොයා එන වෙලාව වගේම දුරකතනයෙන් කතා කරන වෙලාවය.ඒ නිසා අවුරුද්ද එන්නට පෙරම ශෂිනිලාගේ ගෙදරට අවුරුද්ද හමු වී ඇත.සියල්ලෝ සතුටිනි.සිනහ සපිරි සැබෑ නව වසරක සිරිය මේ අවුරුද්දේ තරම් වෙන අවුරුදුවල මේ ගෙදරට එබී නැති බව සහතිකය.රටක් නියෝජනය කරන්නට අවුරුදු 15 දී ලෝකයම ගරු කරන නම දන්න චමරි අතපත්තු වැනි ක්‍රීඩිකාවක් යටතේ ක්‍රීඩා කරන්නට ශෂිනි තේරීම පහසු නැත.මේ වන විට චමරි පමණක් නොව,හර්ෂිතා,කවීශා,නිලක්ෂි,හසිනි වැනි ක්‍රීඩිකාවන් ගැන ද,ඊටත් පෙර ඉනෝකා වැන්නියන් ගැන ද ලෝකය දන්නේය.


අපූරු ඉරියව්ව ගැන නොව ඇයගේ හැකියාව මත ප්‍රතිවාදීන් පසුබසින හැටි ගැන කතා කරන හෙටක් නිර්මාණය කරන්නට මේ පුංචි කෙල්ලට දිගු කාලයක් ඉතිරිව ඇත.
“හොඳට සෙල්ලම් කරලා ලෝකෙම දන්න ක්‍රිඩිකාවක් වෙන්න ආසයි.”


ශෂිනි ඒ දිගු කාලය තුළ කැපවීමෙන් ළඟා වෙන්නට අවශ්‍යය කරන ඉලක්කය ගැන සෙමින් මුමුණන්නීය.නදීශ් හැමදාම හැප්පෙන සාගරයෙන් එපිට ට ගොස් ලෝකයට අභියෝග කරන්නට සූදානම් වන තමන්ගේ ලොකු දුව ගැන මින් පසුව මහ සයුරේ මාළුන් සමඟ පොර බඳන සෑම රාත්‍රියකම සිතනු ඇත.හතර වටින් වට කළ දූපතක සාගර ජල කඳින් හුදෙකලා කර තැබිය නොහැකි දක්ෂතා ඇති දියණියක් ලොවට දායාද කරන්නට තමන්ගේ කුස ට තිබූ හැකියාව ගැන තුෂාරී නිරන්තරයෙන් කල්පනා කරනු ඇත.

අයියා ජනිඳු රගර් ක්‍රීඩාවේ නියැලෙමින්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan