එකෝමත් එක කාලයක සුනිල් සෙනවි, ලියනගේ අමරකීර්ති, නිර්මාල් දේවසිරි කියලා යාළුවො තුන්දෙනෙක් හිටියා. මේ තුන්දෙනා අමුඩයයි පශ්චාත් භාගයයි වගේ සමීප මිත්‍රයෝ. ඉතින් කාලෙකදී මේගොල්ලො දේශපාලන සෙල්ලමක් කළා. නිර්මාලුයි අමරකීර්තියි එකතුවෙලා “මචං උඹ තමයි මේ පුනරුදේ සංස්කෘතික විප්ලවයට හරියන නියමුවා. උඹ නැත්තං මේ ඉල්ලංකාවට සංස්කෘතියකුත් නෑ” කියලා සුනිල් සෙනවිව කරත්තේ නග්ගලා දියවන්නාවට යැව්වා. හැබැයි මේ දෙන්නා ඕකට ගියේ නෑ. මේ දෙන්නා ඔය මාධ්‍ය හමුවක් දෙකක් තියලා, ස්ටේජ් එක්කට දෙක්කට ගොඩවෙලා, පොඩි කැන්වසින් පාරකුත් දාලා පස්සෙ හෙමීට ලොකු සහෝදරයාට කියලා එයාලාගෙ පඩියට ගහන ටැක්ස් එකත් අඩු කරගෙන, පඩියත් වෙනම වැඩි කරගත්තා.
හොඳකට තියෙන්නෙ ඉතින් නිර්මාලුයි, අමරකීර්තියි එතනින් තමන්ගෙ දේශපාලන සෙල්ලම නැවැත්තුවෙ නෑ. නිර්මාල් ඔය විදර්ශන කන්නන්ගර, කළ්‍යානන්ද පෙරේරා වගේ සහාය නළුබට්ටෝ ටික්කුත් අහුලාගෙන “ජන පැතුමට ලෙසටම වගකියන ජනබලේ” කියලා වේදිකා නාට්ටියක් පටන් ගත්තා. අමරකීර්ති කියන්නෙ ඉතින් නිර්මාල්ට වඩා ඇඟ පුරාම කලාව තියෙන කලා රිටක් නිසා එයා ඒක පුද්ගල නාට්‍ය සංදර්ශනයක් පටන් ගත්තා “මගේ පඩියත් වැඩිවෙලා” කියලා.
කොහොමින් කොහොමින් හරි කාලය ගතවෙද්දී ඔය තුන්දෙනා දවසක් සෙට් වෙලා කැලයක් මැදින් ගමනක් ගියා. මේක ඔය කොටි වලස්සු එහෙම ඉන්න භයානක කැලෑවක්. කැලේ මැදට එද්දී ඈතින් මහා විශාල කළුම කළු වලහෙක් මතුවුණා. තුන්දෙනාම පණ බේරාගන්න දුවන්නට පටන් ගත්තා. දුවන ගමන් නිර්මාලුයි අමරකීර්තියි දෙන්නා ගහකට නැග්ගා. ඒ වුණාට සුනිල් සෙනවි ගස් නගින්න දන්නෙ නෑ. ඉතින් යාළුවො දෙන්නාත් නැතිව අසරණ වෙච්චි සුනිල් සෙනවි වලහාගෙන් බේරෙන්න මැරුණා වගේ බිම දිගාවෙලා හෙල්ලෙන්නෙ නැතිව හිටියා.
වලහා ඉතින් සුනිල් සෙනවි ළඟට ඇවිල්ලා දෙපැත්ත පෙරළලා බැලුවා. සුනිල් සෙනවිත් මර බයේ ඇස් දෙක පියාගෙන ඉතිපිසෝ ගාථාව හිතෙන් කිය කියා හුස්ම ගන්නෙත් නැතිව මළා වගේ හිටියා. වලහා ඊළඟට සුනිල් සෙනවිගේ සාක්කුවට අත දාලා පර්ස් එක අරන් බැලුවා. අනේ සත පහක් නෑ ! ඒකෙ තිබ්බෙ ලියුමක් විතරයි. “ඔබගේ සම්පූර්ණ වැටුප පක්ෂ අරමුදලට බැර කළ බව සතුටින් දැනුම් දෙමි” කියලා ලියලා ආධ්‍යාත්මික නායකතුමා ඒ ලියුමේ අත්සන් කරලා තිබ්බා. මේ අවුරුදු කටේ වලහට අම්බානෙක දුක හිතුණා. ඌ එහෙන් මෙහෙන් තමන්ගෙ ඉන අතගාලා කොහෙදෝ රෝල් කරලා හංගන් ඉඳපු දාහෙ කොළ දෙකක් අරන් සුනිල් සෙනවිතුමාගෙ පර්ස් එකට දාලා ඒක ආපහු සාක්කුවට දැම්මා.
ඒ කරලා වලහා සුනිල් සෙනවිතුමාගෙ කන ළඟටම පාත්වෙලා “ඔය හැට අට ලක්ෂෙට දාන මරිසි අපට දාන්න එපා. ඔය මරිසි අපට හොඳට තේරෙනවා. ඒකෙන් කමක් නෑ, ඒක වෙනයි. රට වෙනුවෙන් පඩි නැතිව වැඩකරමු කියලා කරට අතදාගෙන මගට ඇවිත් තමුන්ගෙ පඩිය වැඩිකරන් මාරුවෙන අර වගේ පෙත්තලා ආශ්‍රය කරන්න එපා පෙත්තෝ” කියලා ඌ යන්න ගියා.
සෙනවිතුමා තවත් ටික වෙලාවක් බිමටම ඇලවිලා ඉඳලා ෂේප් එකේ නැගිටලා බලද්දී නිර්මාලුයි අමරකීර්තියි ගහේ නෑ. “ඇරඹුණු පරිවර්තනය ඉදිරියටම යන්න නම් ප්‍රාදේශීය සභා ටිකත් මාලිගාවටම දෙන්න ඕනෑ. මාලිගාවට ජයවේවා” කියලා කෑගගහා ඒ ඩබල ඈත වංගුවකින් හැරිලා දුවනවා සෙනවිතුමාට පෙනුනා ….
