රෂිකා හෙන්නායක
පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු හේතුවෙන් චීන කුඩා ව්‍යාපාර ඇණහිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.කුඩා ව්‍යාපාරිකයින් පවසන්නේ අමෙරිකාවට යැවීමට තිබූ නිෂ්පාදන බොහොමයක් තවමත් චීනයේ ගබඩාවල ඇති බවයි.
මෙම අර්බුදයට හේතු වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවට එන සියලුම චීන භාණ්ඩ සඳහා සියයට 145ක තීරුබදු පැනවීමත් සමග වන අතර, චීන කුඩා ව්‍යාපාරිකයින් උපුටා දක්වන විදෙස් මාධ්‍ය අද වාර්තාකර තිබුණේ ඇතැම් ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදනවලින් අඩක් පමණ අමෙරිකාවට අපනයනය කරන බවයි.
අමෙරිකාවට යැවීමේ අපේක්ෂාවෙන් නිෂ්පාදනය කරන බොහෝ භාණ්ඩ මේවනවිට නිෂ්පාදනය නොවන බව එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. තීරුබදු පැනවීමත් සමග ලොවපුරා ඇති වූ ආර්ථික නොසන්සුන්තාව හා එහි පීඩනය අමෙරිකාවටද දැනීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේය.
එහෙත් අමෙරිකාවට ගෙන්වන චීන භාණ්ඩ සඳහා පැනවූ බදු වෙනස් වූයේ නැති අතර, විදෙස් මාධ්‍ය දත්තවලට අනුව මෙම තීරුබදු හේතුවෙන් ව්‍යාපාර 30,000කට අධික සංඛ්‍යාවක හිමිකරුවන්ට බලපෑම් එල්ල වී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම බදු හේතුවෙන් චීනයට පමණක් නොව අමෙරිකානුවන්ද දැඩි පීඩනයකට පත්ව ඇති බවයි. ඇතැම් චීන භාණ්ඩවල මිල අසීමිතව ඉහළ යාම ඊට හේතුවයි.
අමෙරිකානුවන් බහුතරයක් සිය මුළුතැන්ගෙයි අවශ්‍යතා චීන භාණ්ඩවලින් සපුරාගෙන තිබූ අතර මිල වැඩිවීමත් සමග ඔවුන්ගේ සුපුරුදු ජන ජීවිතයට බලපෑම් එල්ල වෙමින් පවතින අතර, දැන් අමෙරිකානුවන්ට අවශ්‍ය වන්නේ මුදල් වියදම් කිරීමට නොව ඉතිරි කිරීමට බව විදෙස් වාර්තා දක්වා ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ , සමීක්ෂණ වාර්තාවලට අනුව ලෝකයේ කර්මාන්ත ශාලාව ලෙස නම් දරා සිටින චීනයේ, මිලියන 10 සිට 20 දක්වා ජනතාවක් අමෙරිකාවට යවන භාණ්ඩ නිෂ්පාදනයට පමණක් එක්ව සිටින බවයි.
