Saturday, October 1, 2022
spot_img
spot_img

Latest Posts

සාහිත්‍යයේත්, සිනමාවේත් ඒකාත්මය – ආචාර්ය තිස්ස අබේසේකර

සිංහල සිනමාවේ අනුශංගික අංශ මුල් පෙළට ගෙන ඒමට නිර්මාණ ශක්තිය වැය කළ නිර්මාණකරුවන් අතර තිස්ස අබේසේකරයන්ට ලැබෙන්නේ ප්‍රමුඛ වැදගත්කමකි. 2009 අප්‍රේල් මස 18 අද වැනි දිනෙක ඔහුගේ අභාවය සිදු විය. එවකට ඔහු 69වන වියේ පසු විය.

ඔහු සිනමාව තුළ බහුවිධ ක්ෂේත්‍ර අරඹයා ප්‍රාමාණිකයෙකු විය. ඔහු සාහිත්‍යමය තිර රචනයේ විශිෂ්ටයකු විය. එමෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂණය තුළ කෘතහස්ත නිර්මාණවේදියකු විය. එමෙන් ම රංගනය තුළ ප්‍රතිභාසම්පන්න රංගවේදියෙකු විය. මෙකී විවිධ ක්ෂේත්‍රයන් අළලා ඔහු ප්‍රදර්ශනය කරනු ලැබුවේ වෘත්තීමය නිපුණත්වයකි. එය එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ නිර්මාණකරුවකුගෙන් හඳුනාගත නොහැකි තත්වයකි.

1939 මැයි 07 වැනිදා උපන් තිස්ස ආනන්ද ද ෆොන්සේකා හෙවත් තිස්ස අබේසේකර වයස අවුරුදු 11 පමණ වන තෙක්ම කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් නිවසේ ම සිටීමට සිදු විය. එම අවධියේ ඔහුගේ පියා ආතර් සොලමන් ද ෆොන්සේකා ගෙදරට ගුරුවරුන් ගෙන්වීමෙන්ද, නුගේගොඩ පෞද්ගලික ඇකඩමියක් මඟින් ද තිස්සට අකුරු කරවූ බව කියැවේ. පසුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලත් තිස්ස අබේසේකරයන් ඉතා ව්‍යක්ත ලෙස සිංහල හා ඉංග්‍රිසි භාෂාවන් වැසිරවීමට දක්ෂ විය. පසුකාලීනව කොළඹ විශ්වවිද්‍යාලය මගින් ඔහු වෙත සාහිත්‍යසූරී ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමිණ. එතැන් පටන් ඔහු ආචාර්ය තිස්ස අබේසේකර වූයේය.
“මා ලද දැනුම විශ්වවිද්‍යාලයක විධිමත් ලෙස ලබාගත් දැනුමක් නෙමෙයි. විධිමත් ලෙස ලබාගත් දැනුම වටිනවා” යන්න ඔහුගේ අදහස විය.

තිර රචනය සැබැවින්ම සුවිශේෂ සාහිත්‍යමය කලාවකි. එය හුදෙක් සිනමා කරුවෙකුට සපයන රූප කලාවක් පමණක් ම නොවේ. තිර රචනය සාර්ථක වීමට නම් සිතිවිලි රුප ඔහු විසින් රූපමය ආකෘතියකට ගොනු කළ යුතුය. එය යාන්ත්‍රික ක්‍රියාවක් නොවිය යුතුවා මෙන්ම . ඒ සඳහා සිනමා රූප බස හා සෞන්දර්යාත්මක හැඩතල පිළිබඳ අවබෝධයට අමතරව පුළුල් ජීවිත පරිඥානයක් ද දයාර්ද්‍ර දැක්මක් ද බුහුටි අයුරින් කතා කලාව හැසිරවීමේ ශක්‍යතාවක් ද අත්‍යවශ්‍යයි. එකී බහුවිධ ශක්‍යතාවයකින් යුක්ත තිස්ස අබේසේකරයන්ගේ සිනමා ආගමනය සිදු වන්නේ ආචාරිය ලෙස්ටර් ‌ජේමිස් පීරිස්ගේ ගම්පෙරළය සිනමා නිර්මාණයේ අමතර තිර පිටපත් රචකයෙකු වශයෙනි.

ආචාර්ය ලෙස්ටර් සමඟ එදා ඇරඹී ගමන සිය 20 වන සිනමා නිර්මාණය වන අම්මාවරුණේ දක්වා දිව යයි.

ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා වරක් ප්‍රකාශ කළේ, තිස්ස නමැති තීක්ෂණ සිසුවා ‘සන්දේශය’සිනමාපටය පිළිබඳව එඩිතරව කළ නිර්දය විචාරය නොවන්නට ලෝකසිනමා සංකේතයක්වූ ‘නිධානය’බිහිනොවන බවය. නිධානය(1972) සිනමා නිර්මාණයෙහි ද තිර නාටකය රචනා කරනු ලැබුවේ තිස්ස අබේසේකරයි. ඔහු ප්‍රරශස්ත රචකයකුගේ විලාසය ප්‍රකට කරන්නේ මුල් අදියරේ සිටම ආචාර්ය ලෙස්ටර්ගේ මතයයි. විවිධ දේශීය, විදේශීය සාහිත්‍ය ධාරාවන් ඇසුරිනේ ලත් පෝෂණය, විවිධ කලාවන් ඇසුරේ ලත් දැනුම හා ශික්ෂණය, ඔහුට ප්‍රශස්ත නිර්මාණ බිහි කිරීමට හේතු වූවා විය හැකිය.

චරිතවල රූප ඥානයට අමතරව චරිතවල මනෝභාවයන් හා හැසිරීම් රටාවන් හඳුනා ගැනීමේ හැකියාවෙන් ඔහු සිනමාවේ කිසිවෙකුට දෙවන වූයේ නැත. සිය පරිකල්පනීය ශක්‍යතාවය හේතුවෙන් ඔහුගේ නිර්මාණ අදටත් සිනමා වංශය තුළ අමරණීය නිර්මාණ ලෙස හඳුනාගත හැකිය. තිර රචනයෙන් තොර තිස්ස අබේසේකර කෙනෙකු නැතුවා මෙන්ම ඔහුගෙන් තොර තිර රචනයක් ද සාකච්ජා කළ නොහැක. එතරම්ම තිස්ස අබේසේකරයන් සමඟ තිර රචනය අත්‍යන්තයෙන් බැඳී පවතියි.

ඔහු විසින් තිර රචනයෙන් සම්බන්ධ නිර්මාණ අතර ගම්පෙරළිය (1963) දෙලොවක් අතර ( 1966) බිනරමලී (1969) අක්කර පහ(1970) වීර පුරන් අප්පු (1978) පොඩි මල්ලී(1979) ගඟ අද්දර (1980) මායා (1984) කුලගෙය (1982) ගුරුගෙදර (1993) ලොකු දුව (1996) උප්පලවන්නා (2007) කුසපබා (2012) අතිශයින්ම ප්‍රේක්ෂක සම්භාවනාවට පාත්‍ර විය.

මීට අමතරව ඔහු විසින් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ නිර්මාණ ත්‍රිත්වයකි. එනම් කරුමක්කාරයෝ (1980) මහගෙදර(1982) විරාගය (1987) අතිශය වැදගත්ය.

සිංහල සිනමා වංශාවලිය තුළ විරාගය යනු මෙරට සිහිවටනාත්මක චිත්‍රපටය විය.

”සිනමා අධ්‍යක්ෂණය වනාහි බොහෝ සෙයින් සිතටත් කයටත් මනසටත් එක සේ වද දෙමින් කළ යුතු දුෂ්කර ක්‍රියාවකි. එවැනි දුෂ්කර ව්‍යායාමයකට ඔරොත්තු දීමට තරම් දැඩි වූ හිතක් හා කයක් බොහෝ කලාකරුවන්ට නොපිහිටයි. සිනමා අධ්‍යක්ෂණය සඳහා කවියකුගේ මෙන් සියුම් වූ සිතකුත් නිර්ධන පාලකයකුගේ මෙන් දරඳඩු පැවැත්මකුත් පතල් කම්කරුවකුගේ මෙන් බොහෝ අපදාවන්ට ඔරොත්තු දිය හැකි දැඩි කයකුත් අවශ්‍යය. සිංහල සිනමාවේ ගුණාත්මක ප්‍රගතියට ඇතිවන මහම බාධක වලින් එකක් වනුයේ වෘත්තීය මට්ටමේ තිර රචකයන් හිඟ වීමය. තිර රචනය පිළිබඳ නිවැරදි ශිල්ප සම්ප්‍රදායක් අප රට බහු ව්‍යාප්ත නොවුයේ රූප ඥානය යනු කැමරා කෝණ හා රූප නිර්මාණ පමණකැයි සිතූ කාර්මික ශිල්පීන් සිංහල සිනමාවේ පරමේශ්වරත්වයට පත්වීමත් රූප ඥානයෙන් තොර ලේඛකයන් තිර රචනයට ප්‍රවිශ්ට වීමත් නිසාය.”
—-විරාගය තිර රචනයේ පෙරවදන- තිස්ස අබේසේකර

තිර රචකයෙකු අධ්‍යක්ෂකවරයෙකුට අමතරව තිස්ස අබේසේකරයන් තුළ ගැබ්ව පැවැතියේ මහා රංග පෞරුෂයකි.

ඔහු විසින් රංගනයෙන් දායක වන ලද නිර්මාණ සංඛ්‍යාව අතළොස්සක් වුදව ඒතුළ ඔහු අවස්ථා ගණාවකදී සම්මානයට පවා පාත්‍ර වීමට කුසලතා සම්පන්න විය. ආචාර්ය ලෙස්ටර ජේමිස් පීරිස් ශූරීන්ගේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ කුඩහපොළ හාමුදුරුවන්ගේ චරිතය මිනිත්තු පහක් තුළ රංගනය යෙදීම හේතුවෙන් 1978 වසරේ හොදම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානය හිමිකර ගැනීමට ඔහු සමත් විය.

“තිස්ස අබේසේකර අතිදක්ෂ නළුවෙක් වෙයි. එහිදී සුවිශේෂ වන්නේ රූපණවේදයෙහි අසාමාන්‍ය පරිචයක් සහ ශාස්ත්‍රීය උගත්කමක් ඇති නළුවකු වීම නිසා ය. ඔහුගේ කට හඬත්, කථනයත් වශ්‍යමවෝතාවයෙන් ඔහු විසින් ම හදා වඩා ගන්නා ලද සුජාත පුත්‍රයන් වැන්න. ඔහුගේ ගම්භීර භාවපූර්ණ කටහඬ සහ කථනය බොහෝ නිර්මාණ සඳහා අනල්ප ආලෝකයක් විය. ඔහුගේ හඬ එහි වෛචිත්‍රයය. කිසිවකුටත් අනුකරණය කළ නොහැකි ය.”
( ලංකාදීප – 2007.06.19)මහාචාර්ය සමන්ත හේරත්

1984 වසරේ එස්.ඒ. ප්‍රේමරත්න නිර්මාණය කළ පරසතුරෝ සිනමාකෘතියට තිස්ස රූපණයෙන් දායක විය. එමෙන් ම 1985 වසරේ තිරගත වූ සරත් ගුණරත්නගේ ‘වත්සලා අක්කා’ සිනමාකෘතියේ ධනුක සේනාරත්න‌ගේ චරිතයද මෙහිලා සඳහන් කරණු වටියි.

‘වත්සලා අක්කා’ හි එන ධනුක සේනාරත්න සරසවි ඇදුරු තුමෙකි. හෙතෙම සිය බිරියගේ අකල් මරණයෙන් පසුව කුඩා දියණිය සමඟ දිවි ගෙවයි. ඉක්බිති ධනුක තිලකා කැමැති කාන්තාවක් යළි කැඳවාගෙන එන්නේ දියණියගේ හෙට දවස ගැන ද සිතමිනි. එහෙත් එමඟින් නිවසේ සාමය බිදී යයි. තිලකා ද හදිසි අනතුරකින් මිය යයි. ඉක්බිති ධනුක බලාපොරොත්තු නොවූ පරිදි වත්සලා නැමැති ළාබාල තරුණියක් කෙරෙහි ආදර හැඟීමක් ලියලද්දී යොවුන් වියට පිවිසෙන දියණිය ඊට එරෙහි වෙයි. තිස්ස අබේසේකරයන් විසින් එකී චරිතයට අවේශව කරන රංගනයන නම් පුදුම සහගතය.

“චරිතයට අවශ්‍ය බාහිර පෙනුමක් ඔහු සතු ඉංග්‍රීසි දැනුමත් නිසා මේ චරිතයට පිවිසෙන්න ඔහුට ඒ හැටි අපහසු නොවන්න ඇති. මා හිතුවාටත් වඩා ඉහළින් ඔහු ධනුකව ග්‍රහණය කරගත්තා. තිස්සත් මාත් අතර දිගු කලෙක සිට පවතින මිත්‍රත්වයත් අපට මේ චරිතය නිසි පරිදි පිහිටුවා ගන්න අනියම් ලෙස බලපාන්නට ඇත.”
සිනමාවේදී සරත් ගුණරත්න

යලිත් වරක් 2006 වසරේ තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අම්මාවරුනේ’ සිනමාකෘතියේ කාරුණික, වියපත්, ශික්ෂාකාමී උතුම් නායක යතිවරයන් වහන්සේ නමකගේ චරිතයකින් තිස්ස අබේසේකරයන් අපට හමුවෙයි. මීට අමතරව බූඩි විශ්වනාත් කීර්තිසේන 2008 වසරේ දී නිෂ්පාදන කටයුතු අරඹා 2017 වසරේදී තිරගත කළ ‘නිම්නයක හුදකලාව’ සුදත් රෝහණයන්ගේ ම ‘යුග විලක්කුව’ රොඩ්නි විදානපතිරණගේ ‘හතේ වසම’, සුමිත් රෝහණගේ ‘බෙරහඬ ඇසෙන මානය’ ඇතුළු තවත් ටෙලිසිත්තම් කිහිපයක තිස්ස අබේසේකරයන්ගේ රංග පෞරුෂය දක්නට ලැබේ.

සිංහල සිනමාවේ බොහෝ විචාරක බුද්ධිමතුන් සිංහල සිනමාවේ විශ්මය තිස්ස අබේසේකර බව හඳුන්වයි.

සිය නිර්මාණ ජීවිතය තුළ ඔහු අවස්ථා ගණනාවක දී ජනාධිපති හා සරසවි සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් දිනා ගන්නා ලද ජනාධිපති සම්මාන 1978 වසරේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ හොඳම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානය හිමි විය. මීට අමතරව හොඳම තිර රචනය වෙනුවෙන් 1978 අහසින් පොළවට චිත්‍රපටය සඳහා ද 1980 ගඟ අද්දර චිත්‍රපටය සඳහා ද1982 මහ ගෙදර චිත්‍රපටය සඳහා ද 1996 ලොකු දුව චිත්‍රපටය සඳහා ද හිමිකර ගන්නා ලදි.

මීට අමතරව හෙතෙම අවස්ථා රැසකදී සරසවි සම්මානයට පාත්‍ර විය. එනම් 1970 වසරේ හොඳම තිර රචනය වෙනුවෙන් බිනරමලී චිත්‍රපටය සඳහා ද 1983 වසරේ මහ ගෙදර චිත්‍රපටයේ හොඳම අධීක්ෂණය වෙනුවෙන් ද 1988 වසරේ විරාගය චිත්‍රපටයේ හොඳම අධ්‍යක්ෂණය හා තිර රචනය වෙනුවෙන් ද 1993 වසරේ කුලගෙදර චිත්‍රපටයේ හොඳම තිර රචනය වෙනුවෙන් ද 1994 වසරේ ගුරු ගෙදර චිත්‍රපටයේ හොඳම තිර රචනය වෙනුවෙන් ද තිස්ස අබේසේකරයන් සරසවි සම්මානයට පාත්‍ර විය.

මොහු විසින් රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් අධ්‍යක්ෂණය කර ඇති වෘත්තාන්ත චිත්‍රපට සංඛාව 40 පමණ වන බව කියැවේ. මීට අමතරව 1999 සිට 2001 දක්වා ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතීත්වය ද දැරීය.

තිස්ස අබේසේකරයන්ගේ නිර්මාණ කෞෂල්‍යයේ ශේෂ නාට්‍ය ක්ෂේත්‍රය තුළද දක්නට ලැබේ. ”පිටගංකාරයෝ ”නාට්‍ය නිර්මාණය කර අධීක්ෂණය කරන්නට යෙදුනේ තිස්ස අබේසේකරයි. පොදු සම්මතය තුළ ඇති පිළිගත් මත තිස්ස අබේසේකරයන් සිය බාල වියේ අත්දැකීම් සහ විවිධ විමර්ශන ඔස්සේ කල්පනාව මෙහෙයවීමෙන් තියුණු ලෙස ප්‍රශ්න කෙරෙන අවස්ථා මෙහි බහුලය. ඔහු ඇවිද ගිය මඟ දෙපස ජීවිතයේ විවිධ අවස්ථාවන් අතැඹුලක් සේ එහි රූප තල හරහා ප්‍රේක්ෂකයාට සමීප කිරීමට ඔහු සමත් වේ.

කවියකුගේ ආත්මීය හඩ කියවීම පහසු නැත. එමෙන් ම තිස්ස අබේසේකරයන්ගේ ගේය පද රචනාවන් පිළිබඳ විවරණ කිරීමද පහසු නැත. ඔුහුගේ හැඟීම්වල දැනීම්වල අකුරු ඇත්තේ එහිය. ආදරයේද, ප්‍රේමයේද, ශෘංගාරයේද කම්පන ඇත්තේ එහිය. ”වත්සලා අක්කා” චිත්‍රපටය 1985 වෙනුවෙන් තිස්ස අබේසේකරයන්ගේ ගේය පද රචනාව ”සඳ මෝරා උඩු ගුවනට” මාලනී බුලත්සිංහල විසින් ගයන විට අපද ඒ හා ඒකාත්මික වන්නෙමු. එය වේදනාවක්ද, ශෝකයක් ද, ශෘංගාරයක් ද බෙදා වෙන්කර ගත නොහැකි මුත් භාවයන් කම්පනය කරන එකී රස අප විඳින්නෙමු.

‘ඉකිලන හදින් තනි යහනේ ඉන්න විට
හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට…..’

තිස්ස අබේසේකරයන් විසින් ‘අයාලේ ගිය සිතක සටහන්’නමැති තීරු ලිපි පෙල රචනාකරමින් මෙතෙක් පැවැති තීරු ලිපි සම්ප්‍රදාය නව ආරකට ගෙන ඒමට සමත් විය. ‘ඉපනැල්ල’තිස්සගේ අබේසේකරයන්ගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහයවිය. bringing tony home කෘතිය රචනා කරමින් ග්‍රේෂන් සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය. ‘වීරපුරන්අප්පු’, ‘කළුදියදහර’, ‘ගුරුගෙදර’ ආදී ඓතිහාසික කතාවන් කාලයට ගැළපෙනපරිද්දෙන් ප්‍රතිනිර්මාණයකිරමින් ඓතිහාසික තිරකතා රචනා ශෛලිය දුහුණන්ට අත් පොත් තැබීය.

විචාර බුද්ධියක් නැති නිකමුන් මහා කලා නිධාන බවට පත් වූ රටක තිස්ස අබේසේකර වැන්නවුන් මහා සම්පත්ය. බහුවිධ ක්ෂේත්‍ර අළලා පැවැති අප්‍රමාණඥන නිර්මාණ කෞෂළ්‍යය පුදුම සහගතය. ඔහු පිළිබඳ කියවීම දසත සුවඳ විහිදවන සඳුන් ගසක් කැපීමක් වැන්න. එතුමා සිය භෞතික කාය අතහැරියමුත් ලාංකීය සිනමා වංශාවලිය තුළ ශේෂ කරන ලද නිර්මාණ තුළ සදාතනිකව ජීවත් වනු ඇත.

~ සශිකලා මධුෂාණී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.