රඹුක්කන වෙඩිතැබීම හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි

0
2803

රඹුක්කන දී වෙඩිතැබීමකින් සිදු කළ ඝාතනය හෙළා දැකීම පිළිබදව සඳහ​න් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර ඇත. එය පහතින් දැක්වේ.

රඹුක්කන දී වෙඩිතැබීමකින් සිදු කළ ඝාතනය හෙළා දකිමු.!

 පසුගිය 19 වන දින රඹුක්කන ප්‍රදේශයේ පැවති නිරායුධ ජනතා උද්ඝෝෂණයකට සිදුකරන ලද වෙඩිතැබීමකින් තරුණයෙක් ඝාතනය කිරීම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප හෙළාදකින්නෙමු. එමෙන්ම ජනතාව වෙනුවෙන් හඬනඟමින් තම ජීවිතය පූජා කරන ලද එම තරුණයාට අපගේ ආචාරය පළකරමු. ඒ සමගම මියගිය තරුණයාගේ පවුලේ සියල්ලන් වෙත අපගේ බලවත් සංවේගය පළකරමු.

මේ රටේ ජනතාව විශාල වශයෙන් අද තම අවංක හැඟීම් හා වේදනාවන් පදනම් කරගනිමින් විරෝධය පළ කරමින් සිටින්නේ  නිරායුධවය. ඔවුන් එසේ කටයුතු කිරීමට සාධාරණ හේතු පවතී. එමෙන්ම ආණ්ඩුවට එරෙහිව නිරායුධව විරෝධය පළකිරීම සඳහා රටේ පුරවැසියන්ට අයිතියක් ද තිබේ. එම අයිතිය මේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද තහවුරු කර ඇත. ඒ අනුව සැළකීමේ දී මෙම වෙඩිතැබීම සිදු කර ඇත්තේ සාධාරණ හේතු පදනම් කරගනිමින් පැවති නිරායුද උද්ඝෝෂණයකටය.  

එබැවින් අප මේ මොහොතේ ඉතාමත්ම අවධාරණයෙන් යුතුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සාහසික ඝාතනයට අණ දී ඇති පුද්ගලයන්ට හා ඒ සඳහා ක්‍රියා කර ඇති පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. එමෙන්ම මේවනවිට රටේ ජනතාව නගමින් සිටින හඬට සාවධානව කන් දෙමින් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට පිළිගත හැකි පිළිතුරක් නොපමාව ලබා දෙන ලෙසය. එමෙන්ම කථා කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමට හා නිරායුධව තම විරෝධයන් පළකිරීමට ජනතාවට ඇති අයිතිය සහතික කරන ලෙසය.
 
කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here