“එහි පස්සිකෝ” සාම පාගමන දඹුල්ලෙන් ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW:ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන”එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජ මහා විහාරය පරිශ්‍රයෙන් ආරම්භ විය.

ඒ අනුව නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කෙරෙනු ඇති.

අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පෙරහැරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන අතර එහිදී ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ‘ We are the Design’ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි පූර්ණ අනුග්‍රහය යටතේ මෙම සාම පා ගමන සංවිධානය කෙරේ.