ඉෆ්තාර් උත්සවයකදී අලි සබ්‍රි – රනිල් හමුවක්. ආර්ථිකය, IMF ගැන සාකච්ඡා. අගෝස්තුව අවදානම් …

Date:

ඊයේ (29) පස්වරුවේ කොළඹ, පාසල් පටුමගේ නිවසක පැවති ඉෆ්තාර් උත්සවයකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වත්මන් මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා හමුවී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි පාසල් පටුමගේම අංක 80 දරණ නිවසේ මෙම ඉෆ්තාර් උත්සවය පැවැත්වී තිබුණු අතර එහි ප්‍රධාන අමුත්තා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබිණි. මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසර් කාසීම්, ෆයිසර් මුස්තාෆා, එස්. එම්. මරික්කාර්. සුසිල් ප්‍රේම්ජයන්ත යන අයත් ඌව ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ සාගල රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

The Forum 5th විසින් සංවිධානය කර තිබුණු මෙම ඉෆ්තාර් උත්සවයේදී නිරායාසයෙන්ම එහි දේශපාලන තරුව බවට පත්ව තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්වය සහ ඉදිරියේදී උද්ගත විය හැකි තත්වයන් සම්බන්ධයෙන් බොහෝ දෙනා වික්‍රමසිංහ මහතාගෙන් විමසා තිබුණු අතර ඒ මහතා ද කරුණු පැහැදිලි කර තිබිණි.

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ද වික්‍රමසිංහ මහතා හමුවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම සහ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන්.

ආරංචිමාර්ග අනුව එහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේදී මුලින්ම කළයුතුව ඇත්තේ සියලුම දේශපාලන පක්ෂවල ආර්ථික විෂයය සම්බන්ධ ප්‍රාමාණිකයින් වන දේශපාලනඥයින් එක් තැනකට එකතුවී රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් සෙවීම බවයි.

එසේම රුසියා – යුක්‍රේන යුද්ධමය තත්වය නිසා එළඹෙන අගෝස්තු මාසය වනවිට ලෝක ආහාර අර්බුදයක් ද අනිවාර්යයෙන්ම ඇතිවන හෙයින් ඒ මොහොත වනවිට ශ්‍රී ලංකාවේ තත්වය අතිශයින්ම භයානක විය හැකි බවට වික්‍රමසිංහ මහතා අනතුරු හැඟවීමක් ද සිදුකර ඇත.

පවතින විදේශ විනිමය ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ඒ මහතා ජපාන රජය ලබාදුන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කළයුතු බවත් පෙන්වා දී ඇති බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. ජපාන රජය විසින් මූල්‍ය ප්‍රතිපාදන සපයමින් ආරම්භ කිරීමට නියමිතව තිබුණු මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වත්මන් රජය බලයට පත්වූ වහාම අත්හිටවූ අතර එය ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට පවා අයහපත් අන්දමින් බලපෑමක් කළේය. එවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් යළි මේ මොහොතේ මෙරටට ලබාගත හැකි නම් එයින් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 2500 රටේ ආර්ථිකයට අතිමහත් ශක්තියක් වනු ඇති බවත් වික්‍රමසිංහ මහතා අලි සබ්‍රි මහතාට පෙන්වා දී ඇති බව සඳහන්.

ඊට ප්‍රතිචාර දක්වමින් අලි සබ්‍රි මහතා වත්මන් කැබිනට් මණ්ඩලයේ කිසිවෙකුටත් මේ අර්බුදයේ සැබෑ ගැඹුරක් නොතේරෙන බව පවසා ඇති බවත් මේ සියලු ප්‍රශ්නවලට වගකිව යුත්තේ හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා බවත් ප්‍රකාශ කර ඇති බවත් දැනට පවතින ප්‍රශ්නවලට කිසිවෙකුත් පිළිතුරු නොදෙන බවත් සියල්ලන්ම බෝලය පාස් කරමින් සිටින බවත් පවසා ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

මීට අමතරව අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ එවැනි ප්‍රයත්නයක් පවා සාර්ථක කරගැනීමට නම් මුලින්ම තමන් පෙර කී පරිදි සියලුම දේශපාලන පක්ෂවල ආර්ථිකය සම්බන්ධ ප්‍රමාණිකයින් එක්ව රටේ වත්මන් ආර්ථික ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තත්වය අවබෝධ කරගත යුතු බවයි. එවැන්නක් සිදු නොවන පසුබිමක් තුළ සර්ව පාක්ෂික ආණ්ඩු බිහිවීමක් ද සිදුවීමට ඉඩක් නොමැති බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව දැනට ඇත්තේ කිසිවක්ම සිදු නොවී සියල්ලන්ම වටේ යන තත්වයක් බව පවසා ඇති හිටපු අග්‍රාමාත්‍යවරයා විපක්ෂයේ දේශපාලන පක්ෂත් දැන් බලා සිටින්නේ මේ තත්වය තවත් උඝ්ර වූ පසුව බලය ලබා ගැනීමෙන් තමන්ට වාසියක් සිදුවනු ඇතැයි යනුවෙන් බවත් එහෙත් අගෝස්තු මාසය දක්වා ප්‍රශ්නය ඇදෙන්නේ නම් ලෝක ආහාර අර්බුදයත් සමග මෙරට කිසිම පාර්ශ්වයකට ආණ්ඩුවක් කිරීමට නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බවටත් අනතුරු හඟවා ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...