ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: විදෙස් ණය ගෙවිමකදී ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මුදල් අමාත්යාංශය ලේකම්වරයා මුදල් කාරක සභාවට පැමිණිය නොහැකි බවක් ප්රකාශ කර නොමැති අතර ඊට වැරදි අර්ථකථනයක් ලබා දුන් බව මුදල් කාරක සභාවේ සාමාජික, කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ පැවසීය.
මෙම සිද්ධිය පාදක කරගෙන මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා කර තිබුණු ඇතැම් ප්රකාශ කාරක සභාවේ එකඟතාවක් නොවුණු දේවල් බවයි නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ.
”මම මේ මාධ්ය ප්රකාශය කරන්නේ මුදල් කාරක සභාවේ සාමාජිකයෙක් ලෙසයි. මේක සුවිශේෂී කාරක සභාවක්. රාජ්ය ආදායම් වියදම් ගැන මේ කාරක සභාව කටයුතු කරනවා.මුදල් පිලිබදව වගකීමක් මේ කාරක සභාවට වගකීම තිබෙනවා. මේ කාරක සභාවට විපක්ෂයේ මන්ත්රී කෙනෙක් සභාපති කරන්න ඕන කියලා එකක් තියනවා. ඒ අනුවයි හර්ෂ ද සිල්වා සභාපති වුනේ. දැන් භාණ්ඩාගාරයේ ගෙවීමක් ගැන ප්රශ්නයක් ඇවිත් විමර්ශනයක් වෙමින් තිබෙනවා. මේ ගැන විමර්ශනයක් කරන්න මුදල් ලේකම්තුමාගෙන් තොරතුරු විමසන්න අපි තීරණය කලා. ඒ අනුව මුදල් ලේකම්තුමා කිව්වේ අද එන්න බෑ වෙන දවසක එන්නම් කියලයි. මේ වගේ ප්රශ්න විමර්ශනය කරන වගකීමක් මේ කාරක සභාවට නැහැ. මේක ගවේෂණාත්මක කාරණයක් කරන්න මුදල් කාරක සභාවට බැහැ. සමහර ප්රකාශ මුදල් කාරක සභාවේ සභාපති ලෙස ප්රකාශ කරලා තිබුනා. ඒවායේ සමහර කරුණු අපි කාරක සභාවේ එකග එච්ච දේවල්ම නෙවෙයි.”
මුදල් කාරක සභාවට ගවේෂණාත්මක දේවල් කළ නොහැකි අතර මහා භාණ්ඩාගාරයේ සිදුවීම දේශපාලනික ගැටළුවක් කර නොගන්නා ලෙස නියෝජ්ය අමාත්යවරයා පැවසීය.
”අපි ප්රකාශ නිකුත් කරන්න ඕන කමිටුවක් ලෙසයි. මේ කරලා තියෙන්නේ වැරදි අර්ථකථනය කිරීමක්. මුදල් ලේකම්තුමා එන්න බෑ කියලා කිව්වේ නෑ. එතුමා වෙනුවෙන් මීට පෙරත් නිලධාරීන් සහභාගි වෙලා සහය වෙලා තිබෙනවා. මුදල් ලේකම් තුමා එන්න බෑ කියපු එක නිවැරදි නෑ.”
ඒ අනුව මුදල් කාරක සභාවේ සභාපතිවරයා කළ ප්රකාශය මාධ්ය වාර්තා කළ ආකාරය වැරදි බව නියෝජ්ය අමාත්යවරයා තවදුරටත් සදහන් කරන ලදී.
නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (30) අමාත්යාංශයේදීය.


