ඔබ තවම අල්ලගෙන ඉන්නවද ?

නෙළුම් කුළුණට ඉහල,
සිහින නගරය, කොළඹ අහසේ,
මැවී ඇති අර දිදුලනා තරු පොකුර,
දකින්නේ මම විතර ද ?
පෙනෙන්නේ මට විතර ද ?

කාටවත් නොතේරෙන සිහිනයක්,
ආදරෙන් දිලිසෙනා ඇස් දෙකක්,
ගෙයක්, රියක් සහ
ඔය සියලු දේ අතර පැය අටක වත් නින්දක් !

බොහෝ දුර සිට,
මේ මහා නගරය වඳින්නට එන,
බැතිමතුන් කී දෙනෙක් මේ අහස දකිනව ද ?
ඔය තරු දෙස බලා ගෙන කොයිතරම් දුර ඇදෙනව ද ?
හති වැටී, පිපාසෙන්, කී දෙනෙක් මියෙනව ද ?

මිතුර,

ඔබ තවම ඉතුරු වී ඉන්නව ද ?
එහෙම නම් එක වරක් මා බදා ගන්නව ද ?

මේ විසල් එක රෑක,

දුර ඈත මහ ගෙදර තනි මකන,
පුතු කොළඹ රජ කරනවා යැයි හිතන,
අම්මාව අමතලා, කී දෙනෙක් නම් අඬනව ද ?

මොකක් හෝ වචනයක් වැරදියට ගෙන,
දුරකතනයෙන් තාත්තලාට සැර වුණ කී දෙනෙක්,
අඳුරු මුලු වලට වී වේදනාවෙන් පෙලෙනව ද ?

මිතුර,

ඔබ තවම අල්ලගෙන ඉන්නව ද ?
එහෙම නම් එක වරක් මා බදා ගන්නව ද ?

අද රෑට..,

නොඉවසිය හැකි, මේ මහා දුර නිසා,
හදවත තුන හතරට පැලෙන තුරු ඉවසා දරා සිටි,
ආදර කතා කීයක් බිඳෙනව ද ?

දුරකතන තිර මතින්, විඩාබර ඇස් කොණෙන්,
වීඩියෝ ඇමතුම් අතර, නිදාගත්තැයි කියා,
කී දෙනෙක් හෙට උදේ මුදු බැණුම් අහනව ද ?

මිතුර,

ඔබ තවම ආදරෙන් ඉන්නව ද ?
එහෙම නම් එක වරක් මා බදා ගන්නව ද ?


සෙනග පිරි, මේ මහා සිහින නගරයෙහි,
දහසක් ජනයා පිරුණු තැන් වල පවා,
දරුණු තනියක් දැනීම සාමාන්‍ය ද ?

නැතිනම් එය, බොහෝ දුර සිට,
මේ මහා නගරය වඳින්නට ආ,
බැතිමතුන්ගේ පමණක් උරුමයක් ද ?

මිතුර,

මොකුත් නොකියා,
එක වරක් මා බදාගන්නව ද ?

~ මහේල හෙට්ටිආරච්චි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...