ශ්රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේනගේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳ නිශ්චිතව සොයාගැනීම සඳහා ඔහුගේ සිරුරු කොටස් රජයේ රසපරීක්ෂක වෙත යොමුකර තිබේ.
කපිල චන්ද්රසේනගේ මළ සිරුර කොල්ලුපිටිය ප්රදේශයේ නිවසක තිබියදී හමුවූයේ පෙරේදා (08) උදෑසන ය. ඔහු ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි සැකකෙරෙන අතර ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්ය හා විෂවේද ආයතනයේදී ඊයේ (09) පෙරවරුවේ සිදු කෙරිණි. ඒ, කොළඹ ප්රධාන විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරී ශ්රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්ය කමිටුවක් විසිනි.
එහිදී ඔහුගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා ලබාගෙන ඇති අතර එම වාර්තා ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවත් මෙම මරණයට හේතුව කුමක්ද යන්න ඉන් අනතුරුව නිශ්චිතව ප්රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
2013 වසරේ ප්රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චන්ද්රසේන මහතා ඉකුත් මැයි 05 වනදා අධිකරණය විසින් මුදාහැරුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමිනි. එහෙත් ළඟම ඥාතීන් යැයි ව්යාජ ලෙස හඟවමින් පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු ඇප තැබීම සඳහා ඉදිරිපත් කර ඇතැයි පසුව අනාවරණය වූ අතර ඒ හේතුවෙන් ඔහුව යළි අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මැයි 07 වනදා නියම කර තිබිණි. කපිල චන්ද්රසේන මියගොස් සිටියදී හමුවුණේ ඊට පසුදින උදෑසන ය.


