තමා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සහකාර ලේකම් සහ විධායක සභිකයෙක් වන නිසා තමන්ව ස්ථානමාරු කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසට වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම අද (මැයි 12) කොළඹ අභියාචනාධිකරණයේදී ඉල්ලා අස්කර ගෙන තිබේ. ඔහු මෙසේ ස්ථානමාරු නොවී වසර 11ක්ම බදුල්ල මහ රෝහලේ රැඳී සිට ඇත.
පසුගිය මැයි 04 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කරුගේ නීතිඥවරයා කියා සිටියේ මැයි 01 වනදා ලිපිය ලැබීමෙන් පසු මැයි 02 වනදාම වෛද්‍යවරයා බදුල්ල රෝහලේ සිට බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට සේවයට වාර්තා කර ඇති බවයි. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අධිකරණය, නඩුව අද (12) දිනට කල් තබා තිබුණි.
අද (12) දින නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයන් විසින් නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන නොයෑමට තීරණය කරමින් එය ඉල්ලා අස්කර ගන්නා ලදී. රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සෞඛ්‍ය අමත්‍යංශයේ ස්ථාන මාරු මණ්ඩලයද නියෝජනය කරයි.


