*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජනපතිවරණයේ සංවාද තේමාව

රට මැතිවරණ කාලයකට ගමන් කිරීම මේ වනවිටත් ආරම්භ වී ඇත. මැතිවරණ කොමිෂන් සභාව මේ පිළිබඳව ප්‍රකාශයක් කර තිබුණි. ව්‍යවස්ථාව ප්‍රකාරව මේ වර්ෂයේ ජූලි මස 17 වැනිදා සිට ආරම්භ වන මාස 03ක් තුළ ජනාධිපතිවරණයක් සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය විය යුතුයි. ඔක්තෝබර් 17 වැනි දිනට පෙර නව ජනාධිපතිවරයා පත්කර ගත යුතුය.

මෙවර ජනාධිතිවරණය අනෙක් කාලයක පවත්වන මැතිවරණයක් මෙන් සාමාන්‍ය එකක් නොවන බව ඉතාමත් පැහැදිලි ය. රටේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණය වෙන කවරදාටත් වඩා වෙනස් එකක් බවට පත්වී ඇත. ඒ නිසාම ඒ ගැන සාකච්ඡා කිරීම තවදුරටත් අවශ්‍ය ය.

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ රටේ ආර්ථිකය සම්බන්ධ කරුණු කීපයක් ය. ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රකාශ තුළ ආමන්ත්‍රණය කළ යුතු කරුණු කීපයක් පිළිබඳව ය.

විදේශ මුල්‍ය ගැටලුව

මෙහිදී මුලින්ම අවධානය කළ යුතු කාරණය වන්නේ රට හමුවේ තිබෙන ප්‍රශ්නයේ ස්වභාවය පිළිබඳවය. 2022 සිදුවූ දේශපාලන වෙනස්කම් හෙවත් අරගලය යැයි කියන්නේ ප්‍රශ්නයේ එක පුපුරායාමක් මිස රට හමුවේ තිබෙන ප්‍රශ්නය නොවේ.

රටේ ප්‍රශ්නය ආකාර කීපයකින් තේරුම් ගත හැකිය. පළමුව රටේ ආර්ථික ක්ෂේත්‍රයේ බරපතළ කඩා වැටීමකට අපි මුහුණ දී සිටින්නෙමු. නිදහසින් පසු ගෙවුණු වසර 76ක කාලය තුළ ක්‍රියාත්මක කළ සමහර ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකයේ බරපතළ කඩා වැටීමක් සිදුවී තිබේ. මේ වසර 76ක කාලයෙන් අපේ සැලකිල්ලට භාජන විය යුතු වැදගත්ම කාලය වන්නේ 1977 න් පසුව ක්‍රියාත්මක කරන විවෘත වෙළඳපොළ ක්‍රමය සම්බන්ධයෙන් ය. මේ වසර 47ක විවෘත ආර්ථික යුගයේදී ඒ ඒ ආණ්ඩු සමහර තීරණ ගත්තේ තමන්ගේ වසර 05ක ආණ්ඩු කාලය අවුලකින් තොරව තල්ලු කර ගැනීමට ය. ඒ නිසා මේ වසර 47ක කාලයේ විදේශ මූල්‍ය වර්ධනය, රාජ්‍යයේ ආදායම් වර්ධනය, ආනයන පාලනය, අපනයන ක්ෂේත්‍ර වර්ධනය වැනි දේවල් ගැන සිතුවේ ‘එදා වේල සරිකර ගන්න’ සිතනවා වගේය.

මේ නිසා රටේ විදේශ මූල්‍ය වත්කම් හෙවත් ඩොලර් ආදායම වැඩිකර ගැනීමට ස්ථාවර ප්‍රතිපත්ති රාමුවකට ගියේම නැත. අපනයන ක්ෂේත්‍රයේ විවිධාංගිකරණය සිදුකළේම නැත. නව අපනයන ආයෝජන ක්ෂේත්‍ර හඳුනාගත්තේම නැත. ඒ සඳහා නව දැනුම හෝ නව ආයෝජන දිරිමත් කළේම නැත. ඒ නිසා ඒ ඒ ආණ්ඩු තමන්ගේ කාලයේ පැවැත්මට අවශ්‍ය ප්‍රමාණයට විදේශ සංචිත ටිකක් සොයා ගැනීමෙන් එහාට විදේශ මූල්‍ය වත්කම් ගොඩනැගුවේ නැත.

මේ තත්වය තුළ සමහර ආණ්ඩු කෙරුවේ හැකි හැම පැත්තෙන්ම විදේශ ණය ලබාගෙන ඒ ඒ කාලවල රටේ විදේශ මූල්‍ය සංචිත ‘අල්ලාගෙන’ යන්නටය. ඒ නිසා මෑත ඉතිහාසයේ කවදාවත් ඩොලර් බිලියන 10කින් එහාට විදේශ සංචිත ගොඩනගා ගන්නට ඒ කිසිම ආණ්ඩුවක් උත්සාහ කළේ නැත. ඊට අමතරව 2009 න් පසුව ආණ්ඩු (2010-15 මහින්ද රාජපක්ෂ සහ 2015-19 මෛත්‍රීපාල/ වික්‍රමසිංහ ආණ්ඩු) දෙකම විදේශ මූල්‍ය වෙළඳපොළට වැඩි පොලියක් ගෙවන්නට සිදුවන පරිදි ස්වෛරී බැඳුම්කර නිකුත් කළේය.

ඒවා හරහා බලාපොරොත්තු වූයේ විදේශ මූල්‍ය සංචිත ටිකක් හොයාගෙන තමන්ගේ ආණ්ඩු කාලය ගෙවා දමමින් ප්‍රශ්නය ඉදිරියට තල්ලු කිරීම ය. මේ වැඩේට ඉතිරි මදිපාඩුව ඒ ඒ ආණ්ඩු සපුරා ගත්තේ සමහර රාජ්‍ය ආයතන විකුණා දැමීමෙන් ය. හම්බන්තොට වරාය විකුණුවේ එසේ මූල්‍ය සංචිත තර කර ගැනීම සඳහා යැයි 2015 පත්වූ යහපාලන ආණ්ඩුව උජාරුවෙන් කී ආකාරය අපට තවමත් මතක ය.

මහින්දගේ සහ මෛත්‍රී/ රනිල්ගේ ආණ්ඩු දෙක (2010-15 සහ 2015-19) මෙසේ ඉතාමත් අපරිණත ආකාරයෙන් ස්වෛරී බැඳුම්කර විකුණමින් සහ රාජ්‍ය ආයතන විකුණමින් විදේශ මූල්‍ය ශක්තියක් පවත්වාගෙන ආ අතර ගෝඨාභයගේ ආණ්ඩු කාලය වනවිට ඒ උපක්‍රම දෙකම භාවිතා කළ නොහැකි තත්වයට රටේ ආර්ථිකය ගමන් කර තිබුණේය. මේ තත්වයට ශක්තිමත් පිළිතුරක් නිර්මාණය කරන්නට ගෝඨාභය රාජපක්ෂයට තිබූ අවස්ථාව ඔහුගේ දුර්වලකම් රාශියක් හේතුවෙන් ඔහු වෙතින් ගිලිහී ගියේ ය.

ඒ අනුව රටේ විදේශ මූල්‍ය ශක්තිය බිංදුවට කඩා වැටුණු අතර, එය හමුවේ 2022 වර්ෂයේ එක් පැත්තකින් ආනයනික භාණ්ඩ (ඉන්ධන/ගෑස්/ගල්අඟුරු) නොමැතිවීමෙන් රාජ්‍යය බංකොලොත් වූ අතර 2022 අප්‍රේල් මාසයේ ණය වාරිකයක් ගෙවන්නට නොහැකිවීම මත ආර්ථිකය බංකොලොත් වූ බවට පත්විය.

ඒ අනුව ප්‍රශ්නයේ ස්වභාවය තේරුම් ගැනීමේදී රටේ විදේශ මූල්‍ය සම්පත් ශක්තිමත් කරන්නේ කෙසේ ද යන කාරණයට සෘජුවම පිළිතුරක් මේ ජනාධිපතිවරණයේ ඒ ඒ අපේක්ෂකයන් විසින් ලබාදිය යුතුව ඇත.

රාජ්‍ය මූල්‍ය ගැටලුව

ඉහතින් සඳහන් කළ විදේශ මූල්‍ය ශක්තිය වර්ධනය කිරීම සම්බන්ධව මීළඟ ජනාධිපතිරණයේ දී කළ යුතු මැදිහත්වීමට අමතරව ඊළඟ වැදගත් කාරණය වන්නේ ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීමයි. ඒ කියන්නේ ආණ්ඩුවේ සේවා සඳහා අවශ්‍ය මුදල රටේ ක්‍රමානුකූලව බදු ප්‍රතිපත්තියක් හරහා ලබාගන්නා ක්‍රමය සහ ඒ ඒ ක්ෂේත්‍රවලට නිසි පරිදි ආයෝජනය කිරීමේ ක්‍රියාදාමය ශක්තිමත් කිරීමය.

පසුය ආණ්ඩු කීපයම (2005 සිට අද දක්වා) එක පැත්තකින් ආණ්ඩුවේ වියදම් සිදු කරන්නේ කිසිදු විවෘත හා කළමනාකරණමය පදනමකින් නොවේ. ඒ ඒ ජනාධිපතිවරුන් හෝ ආණ්ඩු තමන්ගේ ‘හිතේ සෝදිසියට’ නව ව්‍යාපෘති හඳුන්වා දෙමින් රාජ්‍ය මුදල් කාබාසිනියා කරන්නේ තරගයක මෙන් ය.

අනෙක් අතට රාජ්‍ය සේවය යැයි කියා බඳවා ගැනීම් කරන්නේ කිසිදු වගවිභාගයකට හෝ විද්‍යාත්මක පදනමකට අනුව නොවේ. මේ වනවිට රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට අධික වී ඇති අතර එම රාජ්‍ය සේවයට ඵලදායි පුහුණුවක් ලබාදීමට කිසිදු උත්සාහයක් නොගෙන ඉතාමත් අකාර්යක්ෂම යාන්ත්‍රණයක් බවට පත්කර ඇත.

තවත් පැත්තකින් යටිතල පහසුකම් වර්ධනය පැත්තෙන් ආණ්ඩුවේ මුදල් දූෂණයට හා සොරකමට විවෘත කර ඇත. යටිතල පහසුකම් කාණ්ඩ කීපයක් යටතේ රජයක් යටතේ සංවිධානය වේ. එක පැත්තකින් සමාජ යටිතල පහසුකම් ලෙසින් අධ්‍යාපනය, සෞඛ්‍යය, මාර්ග සංවර්ධනය, වාරිමාර්ග වැනි දේවල් තිබේ.

IMF ආයතනය කියන පරිදි රටේ මූල්‍ය නීතිය වෙනස් කිරීමට යාමෙන් බරපතළ අර්බුද රාශියක් ඇතිවීමට නියමිතය. (ඒ පිළිබඳව වෙනම ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි).

ආණ්ඩුවේ ආදායම විධිමත් හා විද්‍යානුකූලව ලබාගැනීමේ විවෘත හා සමාන ලෙස ක්‍රියාත්මක වන බදු ක්‍රමයක් හඳුන්වාදීම මේ ප්‍රශ්නයේ දී අංක එකේ අවශ්‍යතාවක් ය. අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවය, යටිතල පහසුකම් වර්ධනය, සුබසාධනය (අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි) සමාජ ආරක්ෂණ ජාලය (අස්වැසුම, වැඩිහිටි ආධාර වැනි) ක්ෂේත්‍ර දේශපාලනඥයාගේ සිහිනවලට අනුව නොව විද්‍යාත්මක පදනමකට අනුව ක්‍රියත්මක විය යුතු ය. එසේම රාජ්‍ය වියදම කිසිදු තර්කානුකූල පදනමකින් තොරව සිදු කරමින් ණය මත ආණ්ඩුව පවත්වාගෙන යාමේ සම්ප්‍රදායෙන් ඉවත්වීම මේ වනවිට අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත.

මේ කාරණ පිළිබඳව ශක්තිමක් අදහසක් ඒ ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතු ය.

ණය අර්බුදය

ඉහතින් සඳහන් කළ ක්ෂේත්‍ර 02කට අමතරව මේ ජනාධිපතිවරණයේ දී අවධානය යොමු කළ යුතු අංශය වන්නේ රට හමුවේ තිබෙන විදේශීය හා දේශීය ණය ගෙවීමේ ආකෘතියකට ගමන් කිරීමය. වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මහන්සි වෙන බව පෙනෙන්නේ මේ කාරණය පිළිබඳව මිස ඉහතින් සඳහන් කළ අනෙක් අර්බුද දෙක පිළිබඳව නොවේ.

ණය ගැනීම යනු සාමාන්‍යයෙන් අර්බුදයක් නොවන බව ඉතාමත් පැහැදිලි ය. එහෙත් ගත් ණය ගෙවන්නට නොහැකි වන්නේ නම් අර්බුදය ඇති වෙන්නේ එතැනය. අපේ රටට සිදුවී තිබෙන්නේ එවැන්නක්ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව වත්මන් ආණ්ඩුවටත් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවී නැතැයි ඔවුන්ගේ ප්‍රකාශවලින්ම පැහැදිලි වී ඇත. මේ ගැටලුව විසඳන ආකාරය පිළිබඳව බරපතළ මැදිහත්වීමක් අනාගත ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතුය.

තවත් වැදගත් ගැටලු කීපයක්

ඉහත සඳහන් ක්ෂේත්‍ර තුනට අමතරව එම ක්ෂේත්‍ර සමග ගැට ගැසී ඇති තවත් ප්‍රශ්න කීපයක්ම පිළිබඳව මෙවර ජනාධිපතිවරණයේ දී අවධානය යොමු කළ යුතුය. ඒවා අතරින් 1. ධනෝත්පාදන හා නවෝත්පාදන රාජ්‍යයක් බවට පරිවර්තනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවකට එකඟවීම 2. දේශපාලන ප්‍රතිසංස්කරණ පද්ධතියක් හරහා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම 3. ජාතින් අතර ශක්තිමත් එකඟතාවක් ඇතිවන පාලන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, 4. ආර්ථික ක්‍රියාකාරකම් සහ වෙළඳපොළ යාන්ත්‍රණය සඳහා සමාන අවස්ථා ගොඩනැගීම 5. විරැකියාව අවම කිරීමේ යාන්ත්‍රණයක් වෙළඳපොළෙන් ගොඩ නැංවීම. 6. ඵලදායක රාජ්‍ය සේවයක් සහ සමාජ සුබසාධන යාන්ත්‍රණයක් සඳහා රාජ්‍ය ආයෝජනය විධිමත් කිරීම සහ 7. සමාජයේ පරිධියේ සිටින කණ්ඩායම් වෙ​ෙළඳපොළ යාන්ත්‍රණයට ඇතුලත් වන පරිදි සැලසුම් කළ සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම වැදගත් ය.

මෙවැනි සංවාදයක් මෙවර ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාව තුළට ගෙන ආ යුතු බව මගේ මේ සතියේ කිවිදා දැක්ම ය

මහාචාර්ය චරිත හේරත්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan