Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 29: හොරු අරං ගිය රටක කරූලා දෙන්නෙක්ගේ කතාව

අදත් කතාවට අපි ප්‍රවේශ වෙන්නේ සේකරලා දෙන්නෙක් එක්ක. නොඑසේ නම් කරූලා දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් කරුණාරත්න අබේසේකර. අනෙක් කෙනා කරුණාසේන චන්ද්‍රසේකර. ඔය පළවෙනි එක්කෙනා ඔබ හොඳින් දන්නා බව ලියුම්කරුට විශ්වාසයි. ඔහු ලංකාවේ බිහි වූ අතිදක්ෂ ගීත රචකයෙක්. අතිදක්ෂ සන්නිවේදකයෙක්. සුප්‍රකට මිනිහෙක්. මේ වනවිට ජීවිතයෙන් සමුගෙන ගිහින්.

කරුණාසේන චන්ද්‍රසේකරව ඔබ නොදන්නා බවත් ලියුකම්රුට විශ්වාසයි. ඔහු අතිදක්ෂ ගොවි කම්කරුවෙක්. ගොඩේදීත් මඩේදීත් අසමසම වැඩකරුවෙක්. පුත්තලම දිස්ත්‍රික්කයේ අප්‍රකට මිනිහෙක්. කාලයක් මත්පැනට ඇබ්බැහි වී සිටි කෙනෙක්. මේ වනවිට රෝගාතුරයි. විශේෂම කරුණ තමයි, මේ කරුණාසේන චන්ද්‍රසේකර; කරුණාරත්න අබේසේකරගේ උග්‍ර රසිකයෙක්.

මුළු ලංකාවෙම රසික රසිකාවන් සේ, මේ ගොවි කම්කරු කරූ, ගීත රචක කරූට කිව්වෙ කරු අයියා කියල. මේ ඊයේ පෙරේද දවසක මුණගැහිච්ච වෙලාවෙත් වයෝවෘද්ධ කරුණාසේන කියනව, මට එකම එක දවසක් කරූ අයියව මුණගැහුණා. විල්පත ඉස්කෝලේ තිබ්බ ප්‍රසංගයක නිවේදන කටයුතු කරන්න ආව වෙලාවේ. මම එයාගේ අතින් අල්ලලා තියෙනවා කියල.

මේ සිද්ධිය වෙන්න ඇත්තේ මීට අවුරුදු පනහකට හැටකට කලින්. කරුණාරත්න අබේසේකර සූරීන් ජීවන ගීතය නිමාකරලත් දැන් අවුරුදු හතළිහක් විතර. ඒත් තාමත් මේ කරූට ඒ කරූ ගැන තියෙන්නෙ ආදරණීය මතකයක්. මම එයාගේ අතින් අල්ලලා තියෙනවා කියල කියනකොට මේ වයසක මනුස්සයාගේ ඇස්දෙක දිලිසෙනවා. ඒ දිලිසීම ලංකාවේ රසිකත්වය ගැන ගැඹුරු කතාවක් කියනවා.

ගීතයක සාහිත්‍ය කොටස ගීත රචකයාගේ වික්‍රමයක්. එකල රසිකයන් ඒ වික්‍රමය ගැන හරි දැනුවත්. ඒගොල්ලෝ ජෝතිපාලටත් ආදරෙයි. සුජාතාටත් ආදරෙයි. ලතාටත් ආදරෙයි. ධර්මදාසටත් ආදරෙයි. රොක්සාමිටත් ආදරෙයි. මුත්තුසාමිටත් ආදරෙයි. ඒ වගේම කරුණාරත්න අබේසේකරටත් ආදරෙයි. ගායක ගායිකාවන් විතරක් නෙමෙයි ඒ කාලෙ තරු. සංගීතඥයෝත් තරු. ගීත රචකයොත් අර තරුවලට නොදෙවෙනි තරු. අන්න ඒකයි ලස්සන වැඩේ.

ගීත රචකයන්ට ඒ තරු ගුණය ආරෝපණය වුණේ ගීතයක සාහිත්‍ය කලාපය ගැන දැනුවත් බවක් ගෞරවයක් අසන්නා තුළ තිබ්බ නිසා කියලයි ලියුම්කරු හිතන්නේ. ඒ කාලේ සින්දු ගැන ඒ කාලේ රසිකයෝ එක්ක කතාබහ කරනකොට, නිතර අහන්න පුළුවන් යෙදුමක් තමයි මාර ලිවිල්ලක් කියන එක. මාර ලස්සන තනුවකට මාර කිවිල්ලක් කියනව යන්නට අමතරව, මාර ලිවිල්ලක් කියන එක රසික ප්‍රජාව හඳුනාගෙන තිබ්බා. ඒක මාර නැද්ද ?

ඉතින් අද අපි කතාකරන එක කරූ කෙනෙක් මාතර රත්මලේ ඉපදිලා කොළඹ එනවා. ඊට පස්සේ නාලන්දා කොලීජියට ගිහින් ගැටවර වියේදීම රේඩියෝ සිලෝන් එකට ගොඩ වෙනවා. ඊටත් පස්සේ තමන් සතු සාහිත්‍ය දැනුම අසිරිමත් ලෙස පාවිච්චි කරලා, සින්දු ලියන – රටටම ඇහෙන්න කතාකරන රටම දන්න කරුණාරත්න අබේසේකර බවට පත්වෙනවා. සිංහල චිත්‍රපට ගීතයේ මැවුම්කරුවෙක් වෙනවා.

අනෙක් කරූ ඉපදෙන්නේ මයියාව කියන ගමේ. යන්නෙත් මයියාව ඉස්කෝලෙට. සාහිත්‍යයට ආසයි. ‘රෝහිණී’, ‘විජයබා කොල්ලය’, ‘හිඟන කොල්ලා’ ආදී එවකට ආ සියලු නවකතා අත්නොහැර කියවපු කොල්ලෙක්. රචනා ලියන්නත් දක්ෂයි. මලල ක්‍රීඩාවලටත් දක්ෂයි. මේ වෙනකොට කරුණාසේනගේ අප්පොච්චි දුංගාල් කරනවා. දුංගාල කියන්නේ දුම්කොළ වගාවට.

හත්දෙනකුගෙන් යුත් පවුලේ පිරිමි දරුවන් අතර වැඩිමලා කරුණාසේන. රචනා ලියපු මලල ක්‍රීඩා කරපු කරුණාසේන, අප්පොච්චිගේ දුංගාලේ වැඩකරන්න නමයෙ පන්තියේදී ගෙදර නතර වෙනවා. සාහිත්‍යයට කැමති නවයොවුන් කොල්ලෙක් ඉස්කෝලේ යන එක නතර කරලා පත කළගෙඩි බානකට, ගැඹුරු පතහකින් වතුර පුරවාගෙන ඉක්මන් ගමනින් දුම්කොළ වගාවට වතුර අදින හැටි – වතුර දාන හැටි ලියුම්කරුට මැවිලා පේනවා.

ඒ කරුණාසේන, අප්පොච්චි ගේන අරක්කුවලත් චුට්ට චුට්ට රහ බලන්න පටන් ගන්නවා. ඒ අතරේ නවකතාත් කියවනව. ලිවීම නතරම වෙනවා. ජීවන මහමෙර පාමුල, රහමෙර වැඩිවැඩියෙන් රහ වැටෙනවා. අර කරූ රටම දන්නා වදන් මැවුම්කරු භූමිකාවකට පණ පොවනකොට මේ කරූ කුලියට මලියට වැඩකරන, දෙන වැඩේ හිතනවටත් වඩා හොඳින් කර දෙන ගම පමණක් දන්නා කම්කරු ජීවිතයකට පිවිසෙනවා.

සමාජයක දරුවන්ගේ නිපුණතා හඳුනාගෙන ඔවුන් රිසි මග නිසි මග යවනවා තබා අඩුම තරමේ එවැන්නක් ගැන හාන්කවිසියක්වත් නොදන්නා පාලකයන් සිටි සහ සිටින රටක කරූලා දෙන්නකුගේ ඉරණම් කතා දෙක දෙවිදිහකට ලියැවීම ගැන ලියුම්කරු කල්පනා කරනවා. අහම්බයක් සිදු වුණා නම් අර කරු කවුරුන් වේවිද ? අහම්බයක් සිදු වුණා නම් මේ කරු කවුරුන් නොවේවිද ?

හැදෙන්න ඕන සිස්ටම් එක නෙමෙයි මිනිස්සු කියල සමහරු කියනකොට මුවේ නැගෙන මඳ සිනහවක් එක්ක මෙවැනි කතා සිහියට නැගෙන එක වළක්වන්න අමාරුයි. ඒ කරූ සහ මේ කරූගේ ඉරණම් කතා දෙක ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන නොකී කතාවක් කියනවා. ලියුම්කරු ඇස්දෙක මොහොතකට පියාගන්නවා. මතක මංපෙත් මැදින් සිතක සිතුවිලි පාවෙනවා.

අප පැටි වියේදී කිරිඅම්මලාගේ ගෙදර කල් යැවූ සමයේ, බොහෝ රාත්‍රීන්වල හොඳහැටි සප්පායම් වී එන කරුණාසේන මාමා, කරු අයියා ලියා මුත්තුසාමි මාස්ටර් සංගීතවත් කළ මධුර යාමේ ගීතය වෙරි ස්වරයකින් කියාගෙන එන හැටි ලියුම්කරුට මතක් වෙනවා. ඒ ගීතයේ එක තැනක කියැවෙනවා ඉන්න හොඳ නෑ යන්න ඕනේ කියල. මේ කාලේ ලංකාව ගැනත් සමහරු කියන්නේ එහෙමයි. ඒත්.. ඉන්න ඕනේ ! ඉඳල මේ රට හදාගන්න ඕනේ !!

විමල් කැටිපෙආරච්චි

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.