නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ දේශපාලන වශයෙන් රට ස්ථාවර කිරීමේ ගමන ආරම්භ කර ඇති බවත් සියලු දේශපාලන පක්ෂ අතර ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
ජපානයේ ටෝකියෝ නගරයේ මේ වනවිට පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව අන්තර්ජාලය හරහා අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ජපානයේ නික්කෙයි පුවත්පත සංවිධානය කරන මෙම සමුළුව 1995 වසරේ සිට වාර්ෂිකව පැවැත්වේ. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ මෙවර තේමාව ‘බෙදී ගිය ලෝකයක ආසියාවේ භූමිකාව නැවත අර්ථ දැක්වීම’ යන්නයි.
කොවිඩ් වසංගත තත්වයත් සමග මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ ජනාධිපතිවරයා, සමුළුව සහභාගි වී සිටින මිත්‍ර රටවල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිත්‍ර රටවලින් ලබාදෙන සහාය අතිශය වැදගත් බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ඉතිහාසය පුරා ජපානය විසින් ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය පිළිබඳව සිහිපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අර්බුදකාරී අවස්ථාවේදීද ජපානය ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සුදුසු වැඩසටහනක් වෙත යොමුවන අතරම ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සහ සංවිධාන සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යූහගත කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ජනාධිපතිවරයා පවසනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල දුෂ්කරතා, කොවිඩ් වසංගතයේ දිගුකාලීන බලපෑම් පිළිබඳ පූර්ණ ඇඟවීමක් ලෙස සමස්ත ලෝකයම අවබෝධ කරගත යුතු බවත් ලොවපුරා තවත් රටවල් ගණනාවකට ඉදිරියේදී මෙවැනි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවිය හැකි බවත් පෙන්වා දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ එවැනි අවදානමට ලක්විය හැකි රටවලට සහාය ලබාදීම සමස්ත ලෝකයේම වගකීමක් බවයි.
UN