Monday, August 8, 2022
spot_img
spot_img

Latest Posts

නැඟීසිටිමු අපි…එක්සත් වී…..

මේ අතිශය අවදානම් කාලයයි..බොරු කීවිට ඉපදෙන්නේ ගැහැණුද,සද්ධර්මයේ එය සඳහන්වීද නැද්ද යනුවෙන් trending ධර්මදේශනා ගැන තර්ක කරමින් පිල්බෙදී වාද කරනවාට වඩා මේ අවස්ථාවේ කළයුතු බොහෝ දේවල් තිබේ..

එය මනාකොට එළඹසිහියෙන් අවබෝධ කරගතයුතුය..නොවලහා පිළිපැදිය යුතුය

මේ අවස්ථාවේ දී අපි සියළුම දෙනාට තිබියයුත්තේ එකම එක ප්‍රශ්ණයයි..එනම්

” රටට ඩොලර් ගෙනැවිත් රට මේ ආර්ථික අවපාතයෙන් මුදවාගන්නේ කෙසේද ? ” යන ප්‍රශ්ණයයි..

” අපට ඔය දේශපාලනයෙන් වැඩක් නෑ..අපට පෙට්‍රල් ටික, ගෑස් ටික, කෑම ටික තිබුණොත් ඇති” කියාද යමෙකු කීමට හැක.

නමුත් ඒ සියළුම දෙනාට කියන්න තිබෙන්නේ ඔබේ ප්‍රශ්ණය ඇත්තේ එතන නම් ඒ කිසිවක් ඔබට සම්පූර්ණයෙන්ම නැතිව යන දවස වැඩි ඈතක නොවේ යන්නයි..

මෙතෙක් කල් දේශපාලඥයින් ලඟ දණගසා වන්දනාමාන කළ යුගය අවසන් කොට ඔවුන්ගේ සෑම ක්‍රියාකාරකමක් පිළිබඳවම අවදියෙන් සිට වැරදි නිවැරදි කළයුතු කාලය එළඹී තිබේ.

එබැවින් මේ මොහොතේ සිටම ඩොලර් රටට රැගෙන එන ක්‍රමවේද හා ඒ ඩොලර් අරපිරිමැස්මෙන් ඉතුරුකරගන්නා ක්‍රමවේද පිළිබඳව අපි සියළුම දෙනා දැනුවත්ව සිටියයුතු වේ..එහි ප්‍රධාන සමීකරණය වනුයේ

අපනයන >ආනයන = විදේශ සංචිත ඉහළයාම යන්නයි..

1) ආනයනය අඩුකිරීමට නම් මේ රටට ආනයනය කළයුතු අත්‍යාවශ්‍යම දේ මොනවාද අනවශ්‍ය දේ මොනවාද යන්න අපට අවබෝධයක් තිබිය යුතුය..

උදාහරණයක් ලෙස මේ තරම් කුඹුරු ප්‍රමාණයක් තිබෙද්දී අපට සහල් ආනයනය කුමකටද.??..එසේම පැලවත්ත, හයිලන්ඩ්, කොත්මලේ වැනි ආයතන තිබෙද්දී , රටේ කිරිගොවියන් සිටිද්දී අපට පිටරටින් කිරි ආනයනය කුමකටද..??

හිඟුරාන, පැල්වත්ත වැනි සීනි කම්හල් විනාශකොට පිටරටින් සීනි ගේන්නේ කුමකටද?? අල, ළූණු වවන භූමියකට ආනයනික අල සහ ළූණු කුමකටද…?? පිටරටින් ආනයනය කලයුත්තේ රටට අත්‍යාවශ්‍යම නමුත් මේ රටේ නිපදවීමට නොහැකි දේ පමණක් නොවේද

ගැටළුව තිබෙන්නේ රටේ ඉල්ලුමට සරිලන පරිදි කිරිපිටි, දියර කිරි එම සමාගම් විසින් නිපද නොවීමයි..ඉල්ලුම තබා ඇහැට දකින්නවත් නැත..රජය විසින් එවැනි දෑ පිළිබඳව සොයා බලා එවැනි දේශීය කිරි නිෂ්පාදකයින් දිරිගැන්විය යුතුය..

වී වගාවට අවශ්‍ය සියළුම දෑ මෙන්ම නවීන තාක්ෂණය ද හඳුන්වා දී අතරමැදියන්ගේ ගසාකෑමකින් තොරව කෙලින්ම සහල් පාරිභෝගිකයාට ලැබෙන වැඩ පිළිවෙලක් සැකසීම අත්‍යාවශ්‍යම වේ. රටේ වී නිෂ්පාදනයට ප්‍රමාණවත් තරම් වී ගබඩා රජය සතුව තිබේද යන්න ගැටළුවකි.

අපේ රටේ සහල් හිඟයක් ඇතිවීමට බලපාන තවත් හේතුවක් තමයි මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් ගබඩාකොට තබාගෙන ඒවා කලට වේලාවට වෙළඳපොලට නිකුත් නොකිරීම.එය මාෆියාවකි.

මේ නිසා අස්වැන්න වැඩිකරගැනීම පමණක් නොව එම අස්වැන්න ගබඩාකිරීම , ප්‍රවාහනය, තොග හා සිල්ලර වෙළඳාම, අපනයනය යන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකළයුතු වේ..

දේශීය අලවර්ග, දේශීය සහල් , බඩ ඉරිඟු, දේශීය ධාන්‍යවර්ග, කොස්, දෙල්, එළවළු, පළතුරු ආශ්‍රිතව සකස්කළ කෑම මෙරට මෙන්ම අපනයනය සඳහාද යැවීමට හැකිවන පරිදි වැඩ පිළිවෙලක් දියත් කිරීමට හැකිවිය යුතුය.මේවා ඇති කිරීමට රජයේ වැඩපිලිවෙලක් නොමැති නම් ගෘහස්ථ වශයෙන් හෝ සමූහ වශයෙන් තම තමන්ගේ ප්‍රයෝජනය සඳහා හෝ එවැනි ක්‍රම සකසාගතයුතුය .

මේ සඳහා උපදෙස් ප්‍රධාන සූපවේදී ආචාර්‍ය පබිලිස් සිල්වා වැනි අයගෙන් ලබාගැනීමට හැකිවේ. එසේම ග්‍රාමීයව ජීවත්වන පැරැන්නන්, දේශීය වෛද්‍යවරුන් මෙවැනි සෞඛ්‍යමත් ආහාර සැකසීමේ ක්‍රමවේද හොඳින් දනී..එම පාරම්පරික දැනුම උකහාගෙන මෙන්ම නවීන තාක්ෂණික දැනුම සහිත ආහාර තත්වපාලන විශේෂඥයින්ගේ සහාය ලබාගෙන ආහාර අපනයනය සඳහා වුව ක්‍රමවේද සැකසියහැකි වේ..

මීට අමතරව අන්තර්ජාලය ඔස්සේද ආහාර සැකසීම, කල්තබාගැනීම ආදී දේ ගැන දැනුවත් වියහැක.අවශ්‍ය ඒ පිළිබඳව ඇති උනන්දුවයි.

මෙරට නිෂ්පාදනය කළහැකි දේශීය ආහාර ආනයනයනයට බොහෝ විට හේතුවන්නේ සමහර පුද්ගලයින් එයින් නීතිවිරෝධීව උපයන මුදලයි..පසුගිය දිනවල කෝප්කමිටුවෙන් අනාවරණය වූ පරිදි සීනි බදු වංචාවෙන් පමණක් අපරටට අහිමිවූ මුදල් ප්‍රමාණය ගැන සිතූ විට මෙරට ආනයන තුල ඇති මාෆියාව හඳුනාගැනීමට පිළිවන.

2) රටේ කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා පැහැදිලි සැලසුමක් තිබිය යුතුය..ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සකස්කොට රටේ ජනතාව ඒ සඳහා දිරිගැන්වීම අනීවාර්‍යය කරුණකි. වගාවට අවශ්‍ය උපදෙස්, අතිරික්ත බෝග අලෙවිකරගැනීමේ පහසුකම්, ආහාර කල්තබා ගැනීමේ ක්‍රම, ආනයනය සඳහා ආහාර සකස්කිරීමේ විද්‍යානුකූල ක්‍රමවේද මහජනතාවට නොවලහා හඳුන්වා දියයුතුය.

කාබනික වගාවටද අද ලෝකයේ විශාල ඉල්ලුමක් ඇත..නමුත් එය ක්‍රමාණුකූලව ආරම්භකලයුතු වගාක්‍රමයක් මිස කඩිනමින් හඳුන්වාදිය හැකි ක්‍රමයක් නොවේ..

වගාව කියපු ගමන් අපට මුලින්ම මතක්වන්නේ සරු පසක් සහිත භූමියයි..එසේ පස් භාවිතා නොකොට වගා කිරීමේ අතිනවීන ක්‍රම වන Aeroponics and hydroponics වැනි වගාක්‍රම වගාකරුවන්ට හඳුන්වා දීමෙන් බොහෝ වාසි අත්පත් කරගත හැක.

බොහෝ විට බෝග වගාවේදී සැලකියයුතු ප්‍රධානම දේ ඵලදාව වල ප්‍රමිතිය අඩුවීම හා අපතේ යාමයි..ඒ නිසා වගාව මෙන්ම ඉහළ ප්‍රමිතියකින් යුත් ඵලදාව ලබාගැනීම, ඒවා ගබඩාකරණය ,ප්‍රවාහනය, අපතේ යාමකින් තොරව එය පරිභෝජනයට ගැනීම යන මේ සියළුම කරුණු විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ හඳුන්වා දීම අත්‍යාවශ්‍යම කාරණාවකි.

අදටත් එළවළු පළතුරු තොගවෙළඳාමේදී නිසි ක්‍රමවේද නොමැතිකමින් විශාල වශයෙන් එළවළු පළතුරු තැලී පොඩිවී කුණු වී, විසිකොට දමයි..නමුත් වෙළඳපොලෙන් මිලදී ගැනීමට යාමේදී පාරිභෝගිකයා දැරිය නොහැකි තරම් මිලක් ගෙවයි.

අප රටේ තරම් ආහාර නාස්ති කරන වෙනත් කිසිම රටක් නොමැතියයි සිතේ..නිවසක හෝ හෝටලයක හෝ උත්සවශාලාවක හෝ පාර්ලිමේන්තුවේ හෝ කිසිවකු නොකා ඉවත දමන ආහාර ප්‍රමාණය තක්සේරු කර බැළුවහොත් මෙහි සත්‍යාසත්‍යතාව තහවුරු කරගතහැක..

එබැවින් ආහාර නිෂ්පාදනය මෙන්ම ආහාර නාස්තිවීම වැලැක්වීම පිළිබඳවද සියළුම දෙනා අවධානය යොමුකළ යුතුය.

අවදානම ගැන උදම් අනනවාට වඩා ඒ සඳහා සූදානම් වීම ණුවනට හුරුය ……

Sponsored Article
රෂිකා සඳමාලි හෙන්නායක
2022.05.28

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.