කොළඹ LNW:ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ යුතු බව චීනය පවසනවා. එක්සත් ජාතීන්ගේ චීන නිත්ය නියෝජිත Fu Cong මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පැවති ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡාවේදී.
තම රටේ තත්ත්වයන්ට අනුකූලව සමාජීය පද්ධතිය හා සංවර්ධන මාර්ගය ස්වාධීනව තෝරා ගැනීමේ අයිතිය ඒ ඒ රටවලට හිමි වන බව Fu Cong මහතා එහිදී ප්රකාශ කළා. කියුබාවට එරෙහිව කිසිදු රටකට බලහත්කාරයෙන් සම්බාධක පැනවීමේ අයිතියක් නොමැති බවත් චීන පාර්ශ්වය පවසනවා.
යුද තර්ජන එල්ල කිරීමෙන් හා අධිකරණ පියවර අයුතු ලෙස භාවිත කිරීමෙන් කියුබාවට එරෙහිව බලපෑම් එල්ල කිරීමට කිසිදු රටකට අයිතියක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියා.
ඇතැම් රටවල් නිවැරදි මාවතට යොමු කිරීම සඳහා ජගත් ප්රජාව එක්ව කටයුතු කරන ලෙස ද Fu Cong මහතා එහිදී ඉල්ලා සිටියා. කියුබාවට පනවා ඇති විවිධ සම්බාධක හා ඊට අදාළ පියවර වහාම ඉවත් කළ යුතු බවත්, ත්රස්තවාදීන්ට අනුබල දෙන රටවල නම් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කළ යුතු බවත් හෙතෙම ප්රකාශ කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්ර කරගත් ජාත්යන්තර පද්ධතිය හා ජාත්යන්තර නීතිය මත පදනම්ව, ජාත්යන්තර පටිපාටිය එක්ව සුරක්ෂිත කිරීම සඳහා සෑම රටක්ම එක්ව කටයුතු කළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ චීන නිත්ය නියෝජිතවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.
දිනූෂි ධීරසිංහ


