රනිලුත් අලුත් වැඩකට සැරසෙයි!

0
712

කොළඹ LNW:මේ වන විට අලුත් සමාජයකට ගමන් අක්රමින් සිටින අතර විනයක් සහිතව සෙසු පක්ෂවල අයද එක්කරගනිමින් නව පක්ෂයක් ගොඩනැගිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (29) කොළඹදී පළාත් පාලන ආයතනවලට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ සභිකයන් ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අමතමිනි.

”දැන් අප අලුත් සමාජයකට ගමන් කරමින් ඉන්නවා. අප නැවත වැඩිම ඡන්ද ගන්න පුළුවන් ලෙස ගොඩනැගිය යුතුයි. අප විනයක් ඇතිව අනෙක් පක්ෂවල අයත් මෙතැනට එකතු කරගෙන අලුත් පක්ෂයක් ගොඩනගමු” යනුවෙන් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ලදී.

ඒ අනුව එහි වගකීම අදාළ කොමිටියකට භාර දී තිබෙන බවයි වික්‍රමසිංහ මහතා පැවසුවේ.

”මේ සැරේ දාලා තියෙන්නේ අලුත් මුහුණු. ගිය පාර්ලිමේන්තු ඡන්දෙදි සම්ප්‍රදායික අය ප්‍රතික්ෂේප කළා. පළපුරුදු අය ප්‍රතික්ෂේප කළා. එල්බෝඩ් ඉදිරියට එව්වා. නමුත් තාම ඔවුන් ලයිෂන් අරගෙන නැහැ. ඒ සඳහා අලුත් මුහුණු අවශ්‍ය වුණා. හැම තැනම එය සිදුවෙනවා. අලුත් මුහුණු පමණක් නොව අලුත් ක්‍රමවේදයකුත් ක්‍රියාත්මක කළ යුතුයි.අප පක්ෂය ගොඩ නගද්දී සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ අදාළ වැඩ කටයුතු කළ යුතුයි. ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද වැඩිකර ගත්තේ මම නොවේ. මා එය කොමිටියකට බාර දුන්නා. ඔවුන් විසින් එය කරනු ලැබුවා. පක්ෂයේ නියෝජ්‍ය නායක, මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක, උපසභාපති, උපනායක මෙන්ම හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර වැනි අය කැපවී කටයුතු කළා. ඔවුන් බෙදාගෙන ඒ කටයුතු කර මේ ප්‍රතිඵලය ගත්තා. මට අවශ්‍ය වුණේ ඒ වගකීම වෙන අයට බාර දීමටයි. දැන් ඒ ප්‍රතිඵල උඩ අප අලුත් පක්ෂයක් සැදිය යුතුයි. ඒක කරන්නෙත් මම නොවේ. මම මේ කොමිටියට එය බාර දෙනවා. එය කළ හැකිද නැද්ද කියා බලන්න අප කාල සීමාවක් දිය යුතුයි. එතකොට වැඩි වැඩියෙන් අලුත් මූනුත් දාන්න වෙනවා.මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. පනස් හයේදී අප එහෙම අලුත් පක්ෂයක් හැදුවා. හැත්ත හතේදී අප එහෙම හැදුවා. නැවත 2001 ඡන්දෙට අප අලුත් වුණා. ඉදිරියට යා යුත්තේ ඒ අනුවයි.

මේ රට අසීරු අවස්ථාවේ ගොඩ ගත්තේ අපි. අනෙක් පක්ෂ සමග එකතු වී අප එය කළා. ඒ දර්ශනය අනුව ඉදිරියට යා යුතුයි. පක්ෂ ගොඩනැගීමේදී අපේ මූලික ඒකකය වන්නේ ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද කොට්ඨාසයි. නීතිඥයින්, වෘත්තිකයන්, රජයේ සේවකයන් පත් වී ඉන්නවා. ප්‍රතිශතය අනුව සභිකයන් පත් කරන්න අප තීරණය කළා. ඔක්කොම ඉදිරිපත් කරන්නේ කොට්ඨාසයක් දිනන්න. වැඩිම කොට්ඨාස දිනන්න බැරි වුණා නම් අප ප්‍රමුඛත්වය දෙන්න ඕන වැඩිම ප්‍රතිශතය ගත්ත අයටයි. ප්‍රතිශතය අඩු වුණානම් ආපහු දිනන්න බෑ. ප්‍රතිශතය අඩු නොතේරුණු අයත් සංවිධාන කටයුතුවලට ගන්න අප තීරණය කර තිබෙනවා. ඒ වගේම ඡන්ද වැඩි වුන අයත් ඉන්නවා. සමහර පරණ අයට මීට ඇතුළු වෙන්න බැරි වුණා. පක්ෂය අලුතින් ගොඩ නගද්දී ඒ පරණ අයගේ උපදෙස් අප ලබා ගත යුතුයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ