සදාකාලික තරුණිය

හබුරු කොළයක රටා විසුරුණ
බෙලෙක්මය ‘රන් තැටිය’ කෙළවර
පෙළට බයියං ගුලි තානාගෙන
පුතුව කපුටෙක් බවට පත්කළ

පුතුන් හැංඟෙනකොට තැනින් තැන
‘කාක්’ කිය කිය ළඟට කැඳවන
කොළඹ කපුටන් කොළඹ ඇ හැටි
බයි කටින් කට කියා පහදන
තරුණියට අද වයස කීයද?

දඟබවේ කටු ඔටුණු පැළඳුව
බොකුටු කොන්ඩය පතුළ සැඟවුණ
කරඬු හොය හොය රැඳෙන මොහොතක
උකුනුවන්ටත් තටු පළන්දන

කතා නැතිකොට ඔලුව පද්දන
දුෂ්ට වසවර්ති ම ආත්මය
ශුද්ධවරභාවයට ඔසවන
තරම් ඉවසීමක් වගාකළ
තරුණියට අද වයස කීයද?

වතුර දැක්කම පණ කඩාගෙන
දුවන ඌරිත්තකු හොයා යන
කොහිල ගාලෙන් මඩ විමානෙන්
ඌ හොයාගෙන ළිඳට දක්කන

වතුර ඇද ඇද චරිත මව මව
පෙඟුණ අතපය කුණු අතුල්ලන
අලුත උපදින කතන්දරයට
සන්ලයිට් ගා යළිඳු නාවන
තරුණියට අද වයස කීයද?

හස්ති රජවුණු භීම සමයෙක
ගෙදර ඉදිකර මොන්ටිසෝරිය
අතිනි අල්ලා අකුරු හැඩකර
පළමු ගුරුවර චරිතයට බට

අකුරු වචනව කතා ලියැවෙන
අතීතයකට කතා කර කර
අනාගතයට කතා මැවුමට
කතා දහසක් හද නිධන් කළ
තරුණියට අද වයස කීයද?

වයිබරේ අත්තටු මවාගෙන
කතා අහුරක් තුඩින් අරගෙන
පියාඹාවිත් ළඟින් ඉඳගෙන
කතා මැද අඬ අඬ හිනාවෙන

යොහන්නස් ඒ සොඳුරු තෙලිතුඩ
සකල හැඟුමන් ඇහේ දියකර
මුතු කරාබුව ගෙන පැළැන්දුව
තරුණි රුවටත් වඩා ලස්සන
තරුණියට අද වයස කීයද?

~ මංජුල වෙඩිවර්ධන
2017 ජූනි 23

සිතුවම : Girl with a Pearl Earring by Johannes Vermeer

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයට AI සමග ලංකාවේ පළමුවරට Blue Yonder තාක්ෂණය

Hayleys Retail Holdings Ltd සිය නව සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරය...

රන්ජන් ජයලාල් එහෙම තෑගි බෝග එකතු කරන කෙනෙක් නෙවෙයි – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල දෙසැම්බර් මාසයේ වෙනදාට ලැබෙන තෑගි පාර්සල්...

මළ විකාර ලේඛකයකුගේ මළ විකාර ප්‍රබන්ධයක්; නෝ නේම් කැෆේ හෙවත් සොන් නෝම් සෝන්….

කාලයකට පසු සිංහල ස්වතන්ත්‍ර නවකතාවක් නිමාව දක්වාම කියවීමි.. සමහර...

‘බස් ලලිත්’ගේ යැයි සැක කෙරෙන ගිනි අවි කිහිපයක් සොයා ගැනේ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: "බස් ලලිත්" යන අන්වර්ථ...