2021 – 2023 වකවානුවේ ඩොලර් හිඟවී සියලු ප්‍රශ්න ඇතිවුණේ එවකට සිටි පාලකයින් මහාභාණ්ඩාගාරයේ ධනය කොල්ලකෑම නිසා බවත් වර්තමාන රජය කිසිසේත්ම මහාභාණ්ඩාගාරයේ ඇති රුපියල්වත් ඩොලර්වත් කිසිදු ආකාරයෙන් හොරකම් කිරීමක් හෝ නාස්ති කිරීමක් සිදු නොකරන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
“අද ලංකාව විදියට අපිට මුහුණ පාන්න වෙලා තියෙන ප්‍රශ්නය තමයි අපි නිර්මාණය නොකරපු යුද්ධයක් ලෝකයේ ඇතිවෙලා තියෙනවා, අපිට අල්ලලා නවත්තන්න හරි කියලා නවත්තන්න හරි බැරි තත්වයේ යුද්ධයක් තියෙනවා රටවල් ගණනාවක් එක්ක. ඒ නිසා වෙළඳපොලට අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යද්දී ඒක ඉහළ යන්නේ ඩොලර්වලින්. එතකොට අපි ඉන්ධන 100%ක් ආනයනය කරන රටක්, පොහොර ආනයනය කරන රටක්, සියලු දේවල් ආනයනය කරන රටක්. ඉතින් ලෝක යුද්ධමය තත්වය ඇතුළේ ලෝක වෙළඳපොලේ භාණ්ඩවල මිල ඩොලර්වලින් ඉහළ යද්දී අපිට ලංකාව විදියට ඒ භාණ්ඩ ලංකාවට ගේන්න වෙනදාට වඩා ඩොලර් සපයන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ශ්‍රී ලංකාවට විතරක් ඇතිවෙච්ච අර්බුදයක් නෙවෙයි. මෙතන තියෙන වැදගත්ම දේ තමයි අපි ආණ්ඩුවක් හැටියට මේ ඇතිවෙච්ච තත්වයන් පුළුවන් තරම් කළමනාකරණය කරන්න උත්සාහ කරනවා. එකම දේ 2021 – 20222 – 2023 වැනි වකවානුවල ඩොලර් එක ඉහළ ගියේ, ජීවන වියදම ඉහළ ගියේ, ඔක්කොම ප්‍රශ්න වුණේ, තෙල් නැවක් ගේන්න භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 20ක් හොයාගන්න නැතිවුණේ එදා හිටපු පාලකයෝ හොරකම් කරපු නිසා, නාස්ති කරපු නිසා, භාණ්ඩාගාරයේ සල්ලි ටික විවිධ විදියට කොල්ලකාපු නිසා. අපට එක සහතිකයක් තියෙනවා ජනාධිපති ගරු අනුර දිසානායක මැතිතුමා ඇතුළු රජය කිසිදු ආකාරයකින්වත් මේ රටේ ඩොලර්වත් රුපියල්වත් හොරකම් කරන්නෙ විනාශ කරන්නෙ නාස්ති කරන්නෙ නෑ. ඒ නිසා ලැබෙන ඩොලර් සහ රුපියල් ආදායම් ජනතා අභිලාෂයන් සහ වුවමනාවන් වෙනුවෙන් කළමනාකරණය කරනවා”
චන්දන සූරිය ආරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.


