ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ;
ඉන්දුනීසියාවේ මාස ගණනාවක් පුරා පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් ඇති වූ විෂ සහිත දුමාරය නිසා පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් පුද්ගලයන් 3,560 දෙනෙකු මියගොස් ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

හෙල්සින්කිහි පිහිටි බලශක්ති හා පිරිසිදු වාතය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය (CREA) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ලැව්ගිනි හේතුවෙන් ඇති වූ වායු දූෂණය මෙම මරණවලට හේතු වී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

එමෙන්ම සැප්තැම්බර් මාසය තුළ ඉන්දුනීසියාවේ මිලියන 57.8කට අධික ජනතාවක් සෞඛ්‍යයට අහිතකර මට්ටමේ සිට ඉතා අනතුරුදායක මට්ටම දක්වා වූ වායු දූෂණයට නිරාවරණය වී ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.

අදාළ මරණ සංඛ්‍යාව අගෝස්තු මාසයේදී වාර්තා වූ ඇස්තමේන්තුව මෙන් දෙගුණයකට ආසන්න බව සඳහන් වේ.

එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ දිගුකාලීන වියළි කාලගුණය ලැව්ගිනි තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමට බලපා තිබේ. විශේෂයෙන් බෝර්නියෝ දූපතේ කලිමන්තාන් ප්‍රදේශය සහ සුමාත්‍රා දූපත ඇතුළු ප්‍රදේශ රැසක් ලැව්ගිනිවලින් දැඩි බලපෑමට ලක්ව ඇත.

ලැව්ගිනිවලින් නිකුත් වන සියුම් දූවිලි අංශු (PM2.5) පෙනහළුවලට ඇතුළු වී රුධිරයට පවා එක්විය හැකි බැවින් ශ්වසන රෝග ඇතුළු බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම ඉහළ ගොස් තිබේ. එමෙන්ම රට පුරා උග්‍ර ශ්වසන ආසාදන රෝගීන් 330,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද සඳහන් වේ.

මෙම දුමාරය ඉන්දුනීසියාවට පමණක් සීමා නොවී මැලේසියාව, සිංගප්පූරුව, පිලිපීනය සහ නැගෙනහිර ටිමෝරය වැනි අසල්වැසි රටවලටද පැතිර ගොස් ඇති අතර ඉන්දුනීසියාවේ බ්‍රෝමෝ ටෙන්ගර් සෙමෙරු ජාතික වනෝද්‍යානයේ ලැව්ගින්නක් පාලනය කිරීමට ගිය සිව්දෙනෙකුද ඔක්තෝබර් 15 වැනිදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබේ.

ලැව්ගිනි පාලනය සඳහා පුද්ගලයන් 72,000කට අධික පිරිසක් යොදවා ඇති බවත්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් 2,100කට අධික පිරිසක් බලපෑමට ලක්වූ ප්‍රදේශවල සේවයට යොදවා ඇති බවත් ඉන්දුනීසියානු රජය ප්‍රකාශ කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ වනාන්තර විනාශය, පරිසර දූෂණය සහ ලැව්ගිනි පාලනය සම්බන්ධයෙන් කලාපීය රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...