Thursday, June 30, 2022
spot_img
spot_img

Latest Posts

ලෙයට ලෙයක් ඇති මෙහෙම ලෙයක් නැති සෙලෙන්ස්කි වන්නම..

යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහ හතරබීරි කතාවක් මේ ළඟදී කිව්වා. ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, රුසියාව අපහසුතාවයට පත්කිරීමට තම රාජ්‍යය සූදානම් නැති බවට ප්‍රකාශ කිරීමත් සමඟ සෙලෙන්ස්කි මැක්රෝන් ව තදබල ලෙස විවේචනය කරමින් කියා සිටියේ මෙන්න මෙහෙම දෙයක්.

“සමහරුන්ට අවශ්‍ය නායකයෝ වෙන්න. නායකයෙකු වීමට නම්, ඔබ නායකයකු යැයි ඔබ විසින්ම සිතනවාට වඩා හැසිරීමෙන් එය පෙන්විය යුතුයි. රටේ ස්ථාවරයට ඇහුම්කම් නොදී, රටේ නායකයාගේ තනතුරට ඇහුම්කම් නොදී අපි යුක්රේන භූමිය තුළ සටන් විරාමයක් ඇතිකරගන්නේ කෙසේද? මෙය නම් ඉතාම පුදුම සහගතයි!”

සෙලෙන්ස්කිට මේ ඩෝං ගිහිං තියෙන්නේ, මැක්රෝන් ප්‍රංශ ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ මෑතකදී පැවති දුරකතන සංවාදයක දී සටන් විරාමයක් සඳහා යෝජනා කිරීම නිසා. සෙලෙන්ස්කි ගේ මේ ප්‍රකාශයත් එක්ක තමයි මට මේ ගැන ලියන්න හිතුනේ.

රුසියානු – යුක්රේන යුධමය වාතාවරණයට මේ ඊයේ පෙරේදා වෙනකොට දින 110ක් පිරුනා. එය ආරම්භ වුනේ පෙබරවාරි 24 නේ. ඇතැමුන්ට මේක ලොකුවට නොදැනුනත් මේ යුද්ධය ලෝකයේ බරපතල අසමතුලිතතාවයක් ඇතිකිරීමට මේ වන විට සමත්ව තිබෙනවා. විශාල ආර්ථික පරිහානියකට මෙම යුද්ධය මුලපුරනු ලැබුවා, ආහාර හිඟයකට හේතුවුනා. වැඩි ඈතක නෙමෙයි, ඩොලර් හැටගානකට තිබ්බ බොරතෙල් බැරලයේ අද මිල ඩොලර් 180 ත් පැනලා නේද?

මේ රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භ වීම දේශපාලනික වශයෙන් විවිධ අන්දමින් විග්‍රහ කෙරුනු අයුරු ඔබ දකින්නට ඇති. එක් පිරිසක් යුක්රේනයට සහාය වෙද්දී, තව පිරිසක් රුසියාවට සහාය දැක්වූවා. කපටිකමට ද මන්දා නිර්පාක්ෂිකයි කියපු උදවිය මුකුත් නොකියා නිහඬව බලාගෙන හිටියා. වොලොදිමිර් සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඇතුළු යුක්රේනය ඇමරිකාවේ දේශපාලන රූකඩයක් කියන තර්කය මත පුටින්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය පිරිසක් සාධාරණීකරණය කරද්දී, මානුෂීය හා අවිහිංසාවාදී චින්තනය අගයන වුන් එක එල්ලේ පුටින්ගේ ක්‍රියා කලාපය විවේචනය කළා.

යුක්රේනය ගැන විවේචන තිබුණා, නැතුව නෙමෙයි. කෙසේවෙතත්, මේ යුද්ධය ආරම්භ වෙන්නේ අන් කවරක් නිසාවත් නොවෙයි, රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් ගේ ඊගෝ-සෙන්ට්‍රික් චින්තනය නිසා. එක් සෝවියට් දේශයක් යටතේ තිබුනු යුක්රේනය සෝවියට් දේශය කඩා වැටුනාට පස්සේ වෙනම මඟක යන එකට පුටින් ට ඌයියා වුනු නිසා.

මේ හින්දාම, දේශපාලන ස්වාධීනත්වය සහ රටේ ස්වෛරීභාවය පිළිබඳ විවේචන එල්ලවුනු සෙලෙන්ස්කි වීරයෙක් වුනා. යුරෝපීය ඇතුළු ලොව බොහෝ රාජ්‍ය සෙලෙන්ස්කි ගේ පැත්තේ හිටගත්තා. පුටින් යුධ අපරාදකරුවකු වෙද්දී සෙලෙන්ස්කි යුධ වීරයකු වුනා.

හැබැයි දැන් තත්ත්වේ ගත්තාම නම් මේක මේනියාවක් වෙලා තිබෙන බවක් තමයි දක්නට ලැබෙන්නේ. රුසියාව ලෙය ඉල්ලුවා. ඊට ප්‍රතිචාර ලෙස ලෙයට ලෙයක් දෙන්නට සෙලෙන්ස්කිටත් සිදුවුනා.. හැබැයි දැන් නම් මේ ලෙයට ලෙය නාඩගම පාලනයෙන් තොර වන්නමක් බවට පත්වෙලා ඇති සැටියක් පෙනෙන්නට තිබෙනවා. දැන් ඌයියා වෙලා තියෙන්නේ පුටින්ටත් වඩා සෙලෙන්ස්කිට බව පෙනෙන්නට තිබෙනවා.

ඒ ඇයි? ඒ වෙන මොකවත් නිසා නෙමෙයි, දැන් මේ යුද්ධයට ආධාර නොකරන රාජ්‍ය වෙත යුක්රේන ජනපති සෙලෙන්ස්කි අර මම ඉහත සඳහන් කළා වගේ ගරහන්න පටන් අරන් තියන නිසා. සෙලෙන්ස්කි යුධ උන්මත්තකයකු වෙලා. යුද්ධය ජයගන්න හතර අතින් උදව් ඉල්ලනවා. උදව් දෙන්න ඉදිරිපත් නොවුනම අපවාද නඟනවා. යම් රාජ්‍යයක් යුක්රේනයට උදව් නොකර සිටිනවා නම්, ඒක ඒ රාජ්‍යයේ කැමැත්ත සහ ස්වෛරී තීරණය. යුද්ධයෙන් විනාශයක් මිස කවදාවත් අත්වූ සෙතක් තිබෙනවා ද?

රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භය හමුවේ මානුෂීය ව්‍යාපාරත් ඉතාම සංයමයකින් ආරම්භ වුනා. අවිහිංසාවාදී ව්‍යාපාර වල සහාය හිමිවුනා. හැබැයි දැන් දැන් මේ රුසියානු-යුක්රේන යුද්ධය අර මුහුදු මහල්ලාගේ කතාව බවට පත්වෙලා. දැන් සෙලෙන්ස්කිට බිමට බැහැගන්න බැහැ වගේ; යුධ උන්මත්තකයකු බවට පත්වෙලා. යුද්ධය ෆැෂන් එකක් කරගෙන.

දැන් දැන් අර යුක්රේනය ඇමරිකාවේ හස්තයක් කියන එක මනාව පසක් කරමින් ඇමරිකානු ජනපති ජෝ බයිඩනුත් අමුතුම රංගනයක නියැලෙනවා. යුක්රේනයට යුධ ආධාර කරන්න පුදුම උනන්දුවක් බයිඩන්ට තියෙන්නේ. මේ ළඟදීත් බයිඩන් ජනාධිපතිවරයා යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 40 ක යුධ-ආධාර පැකේජයක් යවනවා.

බයිඩන් ට ඇත්තටම පිස්සුද?

ඔය මුදල් ටික ලංකාවට එව්වා නම්, කන්න බොන්න නැතුව, ඩීසල් පෙට්‍රල් ටික නැතුව මහපාරෙ ඇදගෙන වැටිලා මිනිස්සු මැරෙන අපේ මේ පුංචි රට එක රැයින් මේ අගාධයෙන් ගොඩ නේද? අර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබෙන සහන පැකේජයෙන් යන්තම් ජීවිතේ ගැටගහගන්න, නන්නත්තාරයෙන් නන්නත්තාරයටම වැටිලා ඉන්න දකුණු සුඩානයට ඔය මුදල් ටික යැව්වා නම් ඒ රට ගොඩේ ගොඩ නේද?

දිලිසෙන්න මිනිස්සු ආසයි. ග්ලිටර් වලින් ඇඟ වහගෙන ජන අවධානය දිනාගන්න මිනිස්සු ආසයි. රටක ක්‍රියාත්මක වන්නේ ධනේෂ්වර පාලනයක් වූවත්, සමාජවාදී පාලනයක් වූවත්, දක්ෂිණාංශයක් වූවත්, වාමාංශයක් වූවත්, මුලු මහත් ලෝකයක් ම ජනප්‍රියතාවාදය (පොපියුලරිසම්) නැමති රකුසාගේ කුස පතුලටම කිඳා බැහැලා ඉවරයි. ජනප්‍රිය මතයට උඩට එන්න දෙන එක ඕනෑම තැනක සිදුවනවා.

රුසියානු-යුක්රේන යුද්ධයට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. යුක්රේනයට අසාධාරණයක් වුනා, ඇත්ත. ඒකට ලොව නන් දෙසින් සහාය ලැබුනා, ඒකත් ඇත්ත. හැබැයි දැන් යුද්ධයත් ජනප්‍රියතාවාදයට නතුවෙලා ඉවරයි. තිබුණු ලේ විල ලේ මුහුදක් කරන තරමටම මේ යුධ උමතුව උඩ ගිහින් තිබෙන්නේ.

අපේ ගෝල්ෆේස් බිමේ අරගලය කරන තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හඬට පොඩ්ඩක් කන්දීලා බලන්න. උන් ඉල්ලන්නේ මොකද්ද? මේ පිල් මාරු කරපු නාකි පප්පලා ගේ මජර දේශපාලන ක්‍රමය නැතිකරලා දාලා අලුත්ම සිස්ටම් එකක් නේද ඒ ගොල්ලෝ ඉල්ලන්නේ? හැබැයි මේ ‘මජර’ සිස්ටම් එකම නේද මේ ගෝලීය දේශපාලනය ඇතුළෙත් අපිට තවමත් පෙනෙන්නට තිබෙන්නේ? දියුණුයි, ප්‍රජාතන්ත්‍රවාදීයි කියන රටවලත් තාම උඩපුටු වල සිද්ධවෙන්නේ මේ පප්පලා ටිකක් කරන ගේම් එකක් නේද? එක් පැත්තකින් එංගලන්තේ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා’ යන විරුදාවලිය ලත් බොරිස් ජොන්සන් තම නම සුද්ධ කරගන්න යුක්රේනයට සහාය දක්වනවා. තව පැත්තකින් මෙච්චර රටවල් සාගතේ කන්න නැතුව ඉඳිද්දී ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් යුධ-අධාර පැකේජ බයිඩන් යුක්රේනයට යවනවා. තව පැත්තකින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් රුසියානු-යුක්රේන යුද්ධය ගැන දාර්ශනික ටෝක් දි දී ඉන්නවා. ඒ අස්සේ අර ‘අනුන්ගේ පහනින් එළිය බලනවා’ වගේ බ්‍රසීලයේ ජනපති ජෙයර් බොල්සනාරෝ යුක්රේන යුද්ධයට ආධාර කරන මුවාවෙන් එරට ආදීවාසීන්ගේ භූමි අත්පත් කරගන්නවා.

ජනප්‍රියතාවාදයට නතුවුනු ලෝකයේ උඩපුටු වල නායකයෝ මේ විදියට වන්නම් නටද්දී බිම්මට්ටමේ මිනිස්සු දවසින් දවස පිරිහීමට පත්වෙනවා නේද?

මිනිසා ගේ අස්වාභාවික ආක්‍රමණයට ස්වභාවධර්මයා ලෝකයාට ඉතාම දරුණු පාඩමක් ඉගැන්වූවා. ඒ තමයි කොවිඩ් වසංගතය. ඒකෙන් මුළු ලෝකයක් දුක් වින්දා, ලක්ෂ ගණනින් මිනිසුන්ගේ ජීවිත අහිමි වූවා. වසර දෙකකට ආසන්න කාලයක් වසංගතයකින් පීඩා විඳලා යන්තම් ඔලුව ඔසවා ගන්න හදනකොටම නේද මේ රුසියානු-යුක්රේන යුද්ධය පටන් ගත්තේ? දැන් ඒකෙන් සිද්ධ වෙලා තිබෙන්නේ යහපත් දෙයක් ද? දැන් ලෝකය ඇදී යන්නේ තනිකර විකෘතියක් දෙසට නොවේද? යුධ පීඩාව නිසා අවධානය දිනා ගත්තු සෙලෙන්ස්කි දැන් අවධාන වෛශ්‍යාවක් බවට පත්වෙලා නේද? තමන්ගේ තිබෙන ආන්තික උමතුව දෙසට මුලුමහත් ලෝකයක් ඇදගෙන යාමේ වෑයමක් නොවේද මේ සෙලෙන්ස්කි – පුටින් ඩබල දක්වන්නේ? ප්‍රංශ ජනපති මැක්රෝන් සටන් විරාමයක් ඉල්ලද්දී සෙලෙන්ස්කි ඔහොම ඇඟට ගොඩවෙන්නේ ඒක නේද?

ඉතිං අපි මේ සිටින්නේ ඇත්තටම තුන්වෙනි ලෝක යුද්ධයකට මැදිවෙලා නොවේද? සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය හොඳයි කියලා කෙනෙක්ට හිතෙන එකට බනින්න බෑ නේද?

ප්‍රමෝද් චින්තක පීරිස්

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.